එජාප නායකත්වය කොවිඩ් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ඉල්ලීමක් කරයි

0
38

 

කොවිඩ් 19 රෝගය බෝවීම පාලනය කිරීම සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත ශ්‍රී ලංකා ජනතාවට ඉක්මනින් ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාගෙන් පෙරේදා (07) ඉල්ලා සිටියේය.

වසංගතය නිසා කලාපයේ රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින මේ අවස්ථාවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු සඳහන් කළේ දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දීය නිල නිවසේදී පෙරේදා (07) පෙරවරුවේ හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලින් පරිබාහිරව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූයේ නිල සංචාරය නිම කර ශ්‍රී ලංකාවෙන් පිටව යෑමට පෙර සිදු කළ අවසන් හමුව ලෙසය.

කොවිඩ් වසංගතය හේතුවෙන් දෙරට මුහුණ දෙන අභියෝග පිළිබඳ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ ඇමැතිවරයා සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබීය.

කොවිඩ් මර්දන එන්නත ශ්‍රී ලංකාවට දීම සම්බන්ධයෙන් මේ වන විටත් රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පැවසූ අතර, එය අගය කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අසීරු කාල සීමාවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

 

ශිරෝමි අබයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here