Home Sports ක්‍රීඩාවේ සල්ලි උල්පත ඡන්ද සටනට සූදානම් ක්‍රිකට් නිලවරණ කමිටුව පත් වෙයි

ක්‍රීඩාවේ සල්ලි උල්පත ඡන්ද සටනට සූදානම් ක්‍රිකට් නිලවරණ කමිටුව පත් වෙයි

0
ක්‍රීඩාවේ සල්ලි උල්පත ඡන්ද සටනට සූදානම් ක්‍රිකට් නිලවරණ කමිටුව පත් වෙයි

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් අතුරින් වැඩිම ධනස්කන්ධයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට අදාළ පළමු පියවර ලෙස නිලවරණ කමිටුව පත් කරයි.

සෑම අවස්ථාවකම වඩාත් උණුසුම් නිලවරණයක් වන මෙහි නිලවරණ කමිටු සභාපති ලෙස විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය පත්කරගත් අතර, විශ්‍රාමික උපරිමාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා මහත්මිය හා හිටපු ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වූ ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මහා සභා රැස්වීමේදී පත් කර ගත්හ.

ඡන්දය පැවැත්වීමේ ක්‍රියාවලිය උදෙසා ඡන්දදායක නාමලේඛනයේ සුදුසුකම් සම්බන්ධයෙන් නිර්ණායක සම්පාදනය කිරීමේ බලය සහ නිලධාරීන් තෝරා ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් ඡන්ද නාමලේඛනය පරීක්ෂා කිරීමට, නාම යෝජනා කැඳවීමට හා නිලවරණ කටයුතු සම්පූර්ණ කිරීමට නිලවරණ කමිටුවට බලය පැවැරී ඇත.

නිලවරණ කමිටුව පත් කළ දින සිට දින 14ක් ඇතුළත නිලවරණ කමිටුව විසින් ඡන්දදායක නාමලේඛනය පිළිබඳ කටයුතු නිම කොට ජාතික ක්‍රීඩා සංගමයේ සියලු සාමාජිකයන්ට දැන්විය යුතු ය. නිලවරණය පැවැත්වීමට යටත් පිරිසෙන් දින 21ට පෙරාතුව නිලධාරීන් වශයෙන් තෝරාපත් කරනු ලැබීමට සුදුසු නිලධාරීන්ගේ නාමලේඛනය පිළිබඳ කටයුතු නිලවරණ කමිටුව විසින් නිම කරනු ඇත.

නිලවරණ කමිටුව පත්කිරීමෙන් අනතුරුව, එහි පත්වීම් දින සිට මාස දෙකකට නොඅඩු කාලයක් තුළ නිලවරණ කමිටුව විසින් නාම යෝජනා කැඳවිය යුතු බව ක්‍රීඩා රෙගුලාසිවල දැක්වේ. ඒ අනුව මාර්තු මාසයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දින තීරණය වනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙයට වසර දෙකකට පෙර පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී එහි සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්ද 27කින් තේරී පත් විය. ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැති එම නිලවරණයේදී ශම්මි සිල්වා මහතා ඡන්ද 83ක් හා ජයන්ත ධර්මදාස මහතා ඡන්ද 56ක් හිමිකරගත් අතර, සභාපති තනතුරට තරග කිරීමට කල් ඇතිව සූදානමින් සිටි මොහාන් ද සිල්වා මහතාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වීමෙන් ශම්මි සිල්වා මහතා නිලවරණයට දින දෙකකට කලින් සභාපති සටනට පිවිස ජය ගැනීම විශේෂත්වයක් විය.

උප සභාපති තනතුරට පත් වූ රවීන් වික්‍රමරත්න මහතාගේ නාම යෝජනාව කලින් ප්‍රතික්ෂේප වී තිබුණු අතර, නිලවරණයට දින දෙකකට පෙර පැවැති නඩු විභාගයකින් තරග කිරීමේ අවස්ථාව උදාකර ජය ලබා ගත්හ. එම අධිකරණ තීන්දුව අනුව ලේකම් තනතුරට තරග කිරීමේ අවස්ථාව අවසන් මොහොතේ උදාකරගත් මොහාන් ද සිල්වා මහතා ඡන්ද 96ක් හා නිශාන්ත රණතුංග මහතා ඡන්ද 43ක් ලබා ගැනීමෙන් වැඩි ඡන්ද 53කින් මොහාන් ද සිල්වා මහතා ලේකම් තනතුරට පත් විය.

එම අවසන් නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අනුබද්ධ ක්‍රීඩා සමාජවල ඡන්ද 142ක් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියද ඡන්දදායකයන් 140ක් නිලවරණයට පැමිණ ඡන්ද ප්‍රකාශ කර තිබිණි.

ප්‍රින්ස් ගුණසේකර

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here