ගාල්ලේ ජනප්‍රිය පාසලකට දරුවා ඇතුළත් කරන්න ලක්‌ෂ හයක්‌ ගත් අය දැලේ!

0
38

ගාල්ල නගරයේ ජනප‍්‍රිය විදුහලක පළමුවැනි ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කරදෙන බව පවසා ගාල්ලේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ හයක් ලබාගෙන වංචාකළ පුද්ගලයකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තොට, මිරිස්වත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පොලිසියට ලැබී ඇති පැමිණිල්ල අනුව ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධානම පරිපාලන කාර්යාලයක සේවය කරන නිලධාරියකු, තම ලොකු පුතා 2020 වසරේ පළමු ශ්‍රේණියට ගාල්ල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලකට ඇතුළත් කරගැනීමට බලාපොරොත්තුව සිටියත් නොහැකි වී ඇත.

මේ අතර 2020 පෙබරවාරි මාසයේ මුල් සතියේ දිනක පැමිණිලිකරු උත්සව ශාලාවක පැවති සාදයකට ගොස් සිටියදී හමුවූ පුද්ගලයකු ඔහු සමග ඉතා සමීපව කතා බස් කරමින් පවසා ඇත්තේ තමා කාල්ටන් නිවස සමග සමීප සම්බන්ධතා ඇති බවයි. එනිසා දරුවා පාසලට ඇතුළත් කරදීමට හැකි බව පවසා අවශ්‍ය ලේඛන රැගෙන 2020 පෙබරවාරි 10 දා තංගල්ල තානායමට එන ලෙස පවසා ඇත.

ඒ අනුව පැමිණිලිකරු මිතුරකු සමග තංගල්ල තානායමට ගොස් ඇති අතර ලේඛන බලා දරුවා පාසලට ඇතුළත් කිරීමට නම් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂ හයක් දෙන්න වන බව පවසා තිබේ. පසුව පෙබරවාරි 17 දා ලක්ෂ තුනක් ඔහු විසින් දෙන ලද ගිණුම් අංකයකට බැරකර ඇත.

මේ අතර පැමිණිලිකරු රාජකාරි කටයුත්තක් සඳහා පෙබරවාරි 28 දා තිස්සමහාරාමයට ගිය අවස්ථාවේ ඉතිරි මුදල අද කෙසේ හෝ අවශ්‍ය බව පැවසීම නිසා තවත් රුපියල් ලක්ෂ දෙකක් තිස්ස බැංකුවකින්

ගිණුමකට බැරකර ඇත. තවත් ලක්ෂයක් ඊට පසුදා ගිණුම්ගත කර ඇත. ඉන්පසුව මාර්තු 2 දා උදේ දරුවා සමග පැමිණ පාසලේ ගේට්ටුව ළඟ සිටින ලෙසත් තංගල්ලේ සිට ආනන්ද නමැති මහත්මයෙකු පැමිණෙන බවත් පවසා තිබේ.

ඒ අනුව දරුවාද සමග ගොස් සවස දෙක වනතුරු පාසලේ ගේට්ටුව ළඟ සිටියත් ආනන්ද නමැත්තා නොපැමිණි නිසා ඒ බව දුරකථනයෙන් පැවසූ විට ඔහු පවසා ඇත්තේ ආනන්ද පැමිණ විදුහල්පතිවරයා හමුවී ඇති අතර එම ලේඛන අනුව ඇතුලළත් කර ගැනීමට නොහැකි නිසා අමාත්‍යංශයෙන් ලිපියක් රැුගෙන එන ලෙස පවසා ඇති බවයි.

මේ පිළිබඳ ඇතිවූ සැකය නිසා දරුවාගේ පියා වැඬේ හරියන්නේ නැතිනම් මුදල් දෙන ලෙස ඉල්ලා ඇති අතර ඔහු දිගින් දිගටම මඟහරින්නට වීම නිසා පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදී ගියත් ඔහු ම`ගහැර සිට වසරකට පසු නීතිඥවරයකු මගින් පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල පොලිස් අධිකාරී විකුම් ගිනිගේ, මූලස්ථාන පො.ප. කපිල සේනාපතිද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. ඞී. ජී. ආනන්ද, උ.පො.ප. මහිලාල් යන මහත්වරුන් ඇතුලූ නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here