ගීතවලින් ලෙඩ හොඳ නොවුණත් හිත සුව වෙනවා

    0
    38

     

    පසුගිය සතියේ පළ වූ ගීතවලින් ලෙඩ හොඳ වෙන රටක් ඇත්නම් කියලා දෙන්න යන ලිපිය සම්බන්ධයෙන් අප වෙත ඒවා තීබූ ලිපියකි

    (සංවාදයට විවෘතයි)

     

    කලාව කවදා කෙසේ ආරම්භ වූවාදැයි අපි නොදනිමු. එහෙත් එය මිනිස් ප්‍රභවය හා වයස්ගත යැයි සිතේ. මිනිස් පැවැත්ම පිළිබඳව සාකච්ඡා කරනාවිට අන් සෑම දෙයක් මෙන්ම කලාවට ද ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. කලාව වූ කලී නන්විධ ය. ඒ සියලු කලා අතුරින් ගීතය නම් කලා ශානරය මිනිස් ජීවිතය හා වඩාත් සමීප සම්බන්ධතාව දක්වන අංගය යැයි මම විශ්වාස කරමි.

    “සංගීතය නොමැති ජීවිතය කිසියම් අතපසු වීමක් විය හැකියි”

    ෆෙඩ්රික් නීට්ෂේ ප්‍රකාශ කරන ආකාරයට එය ජීවිතය හා එතරම් තදින් බැඳී පවතී. එහෙත් අප රසවිඳින කවිය හා ගීතය අතර ඇත්තේ ප්‍රබල වෙනසකි.   ගීතයක් ගැයිය යුතු ය. ඒ සඳහා සංගීතය යොදා ගනී. සංගීතය, පද තනුව මනාසේ එක් වී ගැයීමකින් අපූරු ගීතයක් බිහි වේ. බුදුරදුන් පංචසිඛට කී අයුරින් ගායනය, වාදනය ඉක්මවා හෝ වාදනය, ගායනය නොඉක්මවිය යුතු ය. ගීතයක් යනු කුමක් විය හැකි ද යන්න පිළිබඳ ඉන් යම් අවබෝධයක් ලද හැකි ය.

    පෙර කලාප දෙකක ගීතය පිළිබඳ කතාබහට ලක්වනු දුටුවෙමි. මම ද වඩාත් ප්‍රිය කරන කලා අංගය ගීතය වන නිසා ම ඒ පිළිබඳ අදහසක් දැක්වීමට කැමැත්තෙන් මේ සටහන ලියන්නට සිතුවෙමි.

    එක ම ගීතය ඔබට කී වරක් ඇසීමට පුළුවන් ද? එයට සීමාවක් නැත. ඉතා ම ප්‍රිය කරන ගීතය අපි දහස්වරක් වුව අසමු. එසේ ඇසුවත් එය අපට එපා වන්නේ නැත. එය නම් පුදුම සහගත දෙයකි. සිනමාපටයකි, නාට්‍යයක් හෝ වෙනත් කලාංගයක් එසේ ඇසුරු කිරීමට නොහැකි ය. එක්තරා සීමාවක දී එය අපට අප්‍රිය වෙයි. ගීතයෙහි ඇති සුවිශේෂතාව වන්නේද එයයි.  එය කෙසේ නිර්වචනය කරන්නේ දැයි මා දන්නේ නැත. 

    ගීතය යනු, හුදු විනෝදාස්වාදය සඳහා ම වන අංගයක් යැයි යමෙකු පැවසුවහොත් එය පිළිගත හැකි ද? එහිදී යම් ගැටලුවක් පැන නඟිනු ඇත. ඔබ මානසික ප්‍රශ්නයකට මැදි වී සිටින අවස්ථාවක ප්‍රියතම ගීතය ඇසූ හැටි සිහිපත් කරන්න. ඉන් ඔබ ලබන්නේ විනෝදාස්වාදයක් ද නැත්නම් වෙනත් මානසික සහනයක් ද යන්න ඔබට ම සිතා බැලිය හැකි ය. අප බොහෝ විට පුරුදු වී ඇත්තේ යමක් දෙස අන්තගාමී ව බැලීමට ය. එහෙත් සුදුසු වන්නේ එය නොවේ. මැදිහත් ලෙස බැලීම තරම් අගනා යමක් නැත. 

    දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි නිධන්ගත රෝග හෝ විවිධ මානසික රෝග ගීතය ඇසූ පමණින් සුව වනවා යැයි කිව නොහැකි ය. එමෙන් ම ගීත ඇසීමෙන් කිසිසේත් ම ඒවා සුව වීමට හේතුවක් නොවන්නේ යැයි ද කිව නොහැකි ය. සංගීතයෙන් සිදුවන්නේ චිත්තාවේග වෙනස් කිරීමකි. දියවැඩියාව, හෘදරෝග ආදි කායික රෝග සෑදෙන්නේ බොහෝ විට මානසික ආතතිය නිසා (එය ම ප්‍රධාන හේතුව නොවේ) ය. ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට හා මේදය දහනයට මොළයේ රසායනික වෙනස් වීම බලපායි. ගීතයක් ඇසීමෙන් මොළයේ රසායනික වෙනසක් ඇති වෙයි.

    මෝසාර්ට්ගේ සංගීතය ඇසීමෙන් පසුව විනාඩි දහයකින් පරීක්ෂා කළ හොත් ඔබ පුදුම වනු ඇත. Iq මට්ටම ඒකක 6-7 කින් ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබේ. ඒ සංගීතයේ ඇති ප්‍රබල ශක්‍යතාව නිසා ය. අද වන විට සංගීතය ප්‍රධාන මනෝචිකිත්සක ක්‍රමයක් ලෙස ලෝකයේ භාවිත වෙයි.

    සංගීතය හුදු විනෝදාස්වාදය සඳහා ම යැයි ලඝු කළ හොත් ඉන් සිදුවන අනර්ථය බරපතළ ය. කලාව වර්තමානයේ වාණිජකරණයට ලක් වී ඇත. එය එසේ ය. කලාවට, කලාකරුවන්ට යම් මිලක් නියම වීම හෙළා නොදකිමු. එය ම ජීවනෝපාය කර ජීවත් වන කලාකරුවෝ බොහෝ සිටිති. එහෙත් හුදු වාණිජ අරමුණු පමණක් සිතා නිර්මාණකරණයේ යෙදීම අනුමත නොකරමි. ඉන් වන්නේ ගුණාත්මකභාවය පිරිහීමකි.

    ඕනෑ ම කලාවක් පරිණාමය වන විට විවිධ වීම හා වෙනස් වීම සාමාන්‍ය කාරණයකි. එය ආ දේශයෙන් දේශයට ද වෙනස් වේ. විවිධ සංගීත ක්‍රමවේද බිහි වී ඇත්තේ ද එනිසා ය.

    පෙර පහළ වූ සියල්ල විශිෂ්ට යැයි කියා සිතන අතීතකාමයෙන් පසු නොවෙමි. එදා මෙන් ම අද ද හෙට ද අපූරු නිර්මාණ බිහි වනු ඇත. හොඳ නිර්මාණ සර්වත්‍රික ව පවතින අතර එසේ නොවන නිර්මාණ කලෙක ජනප්‍රිය වුවත් මිනිස් මතකයෙන් ගිලිහෙයි.

    ගීතය යනු මිනිස් මනස සුවපත් කිරීමට බිහි වූ අපූරු ම මාධ්‍යයක් යැයි අවසාන වශයෙන් ද පැවසීමට කැමැත්තෙමි. එය හුදු විනෝදාස්වාදය ඉක්මවා යන භාව විරේචනයක් ම ය. සංගීත නිර්මාණ බිහිවිය යුත්තේ මිනිස් සුගතියට මිස දුගතියට නොවේ. විනෝදය වූකලී කෙටිකාලීන වන අතර ඉන් ලබන සහනය දීර්ඝකාලීන ය. සංගීතය ද ආනන්දයෙන් ප්‍රඥාව කරා ගමන් කරන්නේ ම ය.

     

     මනෝජ් ප්‍රසන්න අබේකෝන්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here