ටුක් ටුක් ජීවිත අවුල් වගේද ?

    0
    11

    හැමෝම ටුක් ටුක්වල ගමන් බිමන් ගියාට ටුක් ටුක් ගැන හිතේ තියෙන්නෙ වෙනස් ම විදිහෙ ආකල්පයක්. ගොඩක් අය කියන්නෙ ටුක් ටුක් එළවන අයට ත්‍රීවිල්කාරයා කියලා. කටට ආපු පළියට නං නෙමෙයි ඒ වචනෙ කියන්නෙ. මල පොතේ අකුරක් දන්නෙ නැති නිසා කොහොම හරි ජීවිතේ ගැට ගහගන්න, ටුක් ටුක් එක්ක ඔට්ටු වෙනවා කියලා බහුතරය හිතන් හිටියට ඒක නෙමෙයි ඇත්ත කතාව. කටේ කිරි සුවඳ යන්න කලින් කොලු ගැටව් ටුක් ටුක් පදින්න ගන්නවලු. අවුරුදු දහඅට පැන්නම කොහෙද කටේ කිරි සුවඳ? නාඹර වයසෙ ඉන්න තරුණ කොලු ගැටව් සිගරට්, ගංජා නැත්තං පිස්තෝල වෙනුවට ටුක් ටුක් අතට ගත්ත එක ගැන සතුටු වෙන්න බැරි ද? කොල්ලෙක් වුණත් කනට කරාබුවක් දාලා, ඇහැටත් කරාබුවක් දාලා, බොබ් මාර්ලි වගේ කොණ්ඩෙ වවාගෙන අමුතු සාම්පලේකට හැඩවෙලා ටුක් ටුක් පදින තරුණ කොල්ලො රස්තියාදුකාරයොලු. එහෙම කියන්නෙ බාහිරෙන් බලලා. මෙහෙම මිනුම් දඬු එක්ක හැප්පි හැප්පි තමයි ත්‍රීවිල්කාරයා සමාජෙ කොන් වෙන පුරුකක් වුණේ.

    අද ටුක් ටුක්වල රැල්ලක් වගේ එක එක ජාතියෙ වැකි ගහනවා. ඒකෙ රස දන්න පුංචි කොටසක් අපේ ලංකාවෙ හිටියට ගොඩක් අය කරන්නෙ ඒ වැකිවලින් ටුක් ටුක් පදින මිනිස්සුන්ව මනින එක. සමහර වැකිවල හැංගුන ලොකු කතාවක් තියෙනවා. මොනව වුණත් කාටවත් බෑ වැකි එක්ක ඒ මිනිස්සුන්ට චරිත සහතික ලියවන්න. තරුණ කොල්ලො තමන්ගෙ ටුක් ටුක් ගොඩක් ආදරෙන් ලස්සන කරන් ඉන්නෙ හරියට දේව මාළිගා වගේ.

    රැල්ලක් වුණත්, උන්මාදයක් උනත් අපි රටක් විදිහට සතුටු වෙන්න ඕන තරුණ පරපුර ටුක් ටුක් එක්ක නෑදෑකමක් ඇති කරගත්ත එකට. පිස්තෝල, පිහි අරන් එකාට එකා ගහමරාගන්න සමාජෙක ටුක් ටුක් එක්ක අලුත් ම ජීවිත කතාවක් ලියවන තරුණයො ගැන කතා කරන්නෙ මහ අප්පිරියාවෙන්. පිළිකුලෙන්. ටුක් ටුක් පැද්ද පළියට හැමෝම ගංජා විකුණනවද? කුඩු ගහනව ද? හොරකං කරනව ද? මිනීමරනව ද? එහෙම කරන හැමෝම ටුක් ටුක් පදිනව ද? එහෙනං කොහොමද කියන්නෙ ටුක් ටුක් පදින අය වැඩකට නැති මුල මැරුණ ගස් වගේ කියලා.

    අකුරු හොඳට ඉගෙන ගෙන, හයිෆයි ගතිය පෙන්නන්න ජොබ් එකකුත් සෙට් වුණ ගොඩක් අය ටුක් ටුක් පදින අය කොන් කරේ හිතේ තිබ්බ පහත් මානසිකත්ව නිසාම තමයි. මනුස්සකම බිඳක්වත් ගෑවිලා නැති ඒ අය මිනිස්සු වුණේ නමට විතරයි. ඒත් ටුක් ටුක් පදින අය උගත්කමින් පහත් වෙන්න පුළුවන්. ඒත් මනුස්සකමින් නම් දස දහස් වාරයක් මනුස්සකම නැති අයට වඩා ඉස්සරහින්. දානෙට, බණට, පිරිතට, මඟුලට විතරක් නෙමෙයි කාගෙ උනත් මිනියක් කරගහන්න පවා ඒ මිනිස්සු එන්න දෙපාරක් හිතන්නෙ නෑ.

    බුලත් දීලා එන්න කියන්න ඕනෙත් නෑ. ටුක් ටුක් පදින තරුණ කොල්ලො හයර් දුවලා හම්බ කරන සල්ලිවලින් දානමාන දීලා පින්කමක් හරි කරනවා. ඒත් සල්ලි තියෙන උන් තමන්ගෙ අම්ම තාත්ත පවා මහමග දාලා යනවා. අන්න ඒකයි වෙනස. අන්න ඒකයි තිත්ත වුණත් ඇත්ත ම කතාව.

    ටුක් ටුක් අපි කාටත් නැතිව ම බැරි දෙයක් උනත් ටුක් ටුක් ගැන කතාව ඇහුව ම ලංකාවෙ මිනිස්සු කොයිතරම් පිරිහිලා ද කියලා හිතෙනවා. කෙනෙක් කරන ජොබ් එකෙන් අපිට බෑ ඒ කෙනාව මනින්න. තරුණ කොල්ලො ටුක් ටුක් පාක්වල, කොට්ටම්බා ගහක් යට, බුදු කුටියක් හදන් උදේ හවස මල් පහන් තියනවා. ගොඩක් අයගෙ ගෙදර බුදු කුටි දූවිලිවලින් පිරිලා යනකොට ටුක් ටුක් පදින අය තමන්ගෙ ආගම හැමෝම එක්ක එකතු වෙලා මෙන්න මෙහෙම අදහනවා. ටුක් ටුක් ඇතුළෙ පවා පිළිම තියාගෙන, බණ පද අහනවා. ඉතින් කොහොමද කියන්නෙ මේ මිනිස්සු වැඩකට නෑ කියලා.

    වෙනම සංස්කෘතියක් ටුක් ටුක් ඇති කරගෙන තියෙනවා. අන්න ඒ සංස්කෘතිය මාරයි. ඒ මාර වෙච්ච සංස්කෘතියෙ රහ මොකද්ද කියලා දන්නෙ නැති අය රහ හොයන්න මහන්සිවත් නොවන එක ඇත්තට ම මාරම දුකයි. සමහරවිට ඔයා ටුක් ටුක් පදින කෙනෙක් වෙන්න ඇති. ඔයාට දැනෙයි මං මේ කියන කතාව බොක්කට ම. එහෙම නේද? ඒත් එහෙම නැති අය මට දොස් කියයි. මං මොනවද ටුක් ටුක් ගැන දන්නෙ කියලා. මං ඔයාට මේ කිව්වෙ සැර වුණත් ඇත්ත කතාව.

    කවුරු කොහොම මොනව කිව්වත් ටුක් ටුක් පදින අය ගැන මං හිතන්නෙ මෙහෙම දෙයක්. ටුක් ටුක් පැද්ද පළියට අපිට බෑ ඒ මනුස්සයගෙ මනුස්සකම අඩුයි කියන්න. මොකද රස්සාව මත මනුස්සකම තීරණය කරනවා නං අපේ රටේ ගොඩක් අය ගැන ගොඩක් හිතන්න ම වෙයි. බෝක්කු උඩ නිකං කාලෙ ගෙවන එක පැත්තකින් තියලා කීයක් හරි හොයාගන්න ටුක් ටුක් එක අතට ගත්ත අය ගැන ධනාත්මකව හිතන්න දැන්වත් පටන් ගත්තොත් තමයි හොඳ.

    අකුරු ගොඩක් ඉගෙන ගත්ත ඔයා මනුස්සකම එක්ක හිතන්න පුරුදු වෙන්න. ඉගෙන ගන්න බැරි වුණ ඔයා පිස්තෝලෙ, සිගරට් එක වෙනුවට ටුක් ටුක් එක අතට ගන්න. ටුක් ටුක් එක්ක දවස ම ඔට්ටු වෙන ඔයා ලෝකයාගෙ කතා නිසා වැටෙන්න නං එපා. මොකද මනුස්සකම එක්ක මනුස්සකම විතරක් ම වගා කරන්න. මනුස්සකම එක්ක මිනිස්සු හම්බ කරන්න. කතාව අදට ඉවර කරන්නං ටුක් ටුක් එකක තිබුණ ලස්සන වදනක් එක්කම. “සුන්දර මුහුණක් දෙස නොව බැලිය යුත්තේ අවංක මුහුණක් දෙස ය”

     

     සඳුනි අරවින්දිනී
     කැලණිය විශ්වවිද්‍යාලය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here