නව පාසල් වාරයට දරුවන් සෞඛ්‍යාරක්ෂිතව රැගෙන ඒමට මව්පියන් ඇතුළු සියලු දෙනා දැඩි වගකීමෙන් ක්‍රියා කළ යුතුයි අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා

0
28

 

නව පාසල් වාරයට දරුවන් පාසලට සෞඛ්‍යාරක්ෂිතව රැගෙන ඒම වෙනුවෙන් මව්පියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සෞඛ්‍ය බලධාරීන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගියදා (6) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

2021 නව පාසල් වාරය සඳහා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වන්නේ, බස්නාහිර පළාතේ සහ හුදෙකලා කළ ප්‍රදේශයන්හි පාසල් හැර අනෙකුත් සියලු පාසල් මේ මස 11 වැනිදා සිට 2-13 ශ්‍රේණි සඳහා විවෘත කිරීමය. එමෙන්ම, හුදකලා කළ ප්‍රදේශ හැර, බස්නාහිර පළාතේ සෙසු පාසල්වල 11 වන ශ්‍රේණියේ පන්ති මේ මස 25 වැනිදා සිට සෞඛ්‍ය අංශයන්හි නිර්දේශ මත ‍ආරම්භ කිරීමට ද කටයුතු සැලසුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයන්හි පූර්ණ සහයෝගය ලබා ගනිමින්,සියලු පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන අංශ මෙන්ම, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, මවුපියන් සහ සිසුන් මෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවල සහාය ද, පාසල් සංවර්ධන සමිතිවල සහාය ද ගනිමින් ක්‍රියාත්මක විය යුතු ආකාරය අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය මගින් මෙන්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ද දැනුවත් කර තිබේ. බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු පාසල් පසුගිය වසරේ තුන්වන වාරය සඳහා විවෘත කළ අවස්ථාවේ දී ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 98%ක ප්‍රතිශතයක් සේවයට වාර්තා කළ බවද, සිසුන්ගේ පැමිණීම ක්‍රමිකව ඉහළ අගයක් ගත් බව ද අධ්‍යාපන ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන් අතර, නව පාසල් වාරය ආරම්භයේ දී සෞඛ්‍යාරක්ෂාව ගැන පූර්ණ විශ්වාසයෙන් යුතුව දරුවන් පාසල් එවීමට මවුපියන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවැසීය.

කොවිඩ් වසංගතය හමුවේ දැනට පවතින නව සාමාන්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දරුවන්ගේ අනිවා ර්ය අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරදීමේ ව්‍යවස්ථාපිත වගකීම ද අවබෝධ කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ආරම්භ කිරීමේ තීරණය, අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් සහිතව, සෞඛ්‍ය, ආරක්ෂක, ප්‍රවාහන, මාධ්‍ය ඇතුළු සියලු පාර්ශ්වවල පූර්ණ සහයෝගය ද ගනිමින් ක්‍රියාවට නංවන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන අතිරේක ලේකම් එල්.එම්. ඩී. ධර්මසේන, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක,ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අපේක්ෂා බාලසූරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී. එස්. පොල්වත්තගේ, සමස්ත ලංකා පාසල් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසේන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සිතාරා ‍‍සේනානි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here