නිරුත්තර

    0
    63

    දහවල් තිස්සේ ගිනි රස්නෙට පැවති  ගල්කිස්ස මුහුදූ තීරය සවස් වන විට හද කිතිකවන අපූර්ව වූ ආදරණීය බවක් ගෙන එන්නට විය. ඈත අහසේ රතු පැහැයට දිලෙමින් සිටි හිරු කෙමෙන් කෙමෙන් මුහුදු පතුලට කිමිදෙන්නට වෑයම් කරන අයුරු බලමින් මා වෙරළ කොනක හිඳගෙන සිටියෙමි.  විටෙක සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝහි දෙවොන්දරා සං කියා මා යැයි මටම සිතේ. ප්‍රේම කළ මුත් ළඟ තබා ගෙන ඇගේ සිහින සිර කර තැබුමට කිසි විටෙකත් නොසිතුවෙමි.  මා දෙවොන්දරා නොවුණ ද මා නමින් දේවෙන්ද්‍ර වූව ද ඇයට දේවාය.

    අප හමවූ, ඉකිබිඳි, සැනසුණු  තනි මැකුව, හිත කැඩුණු බිඳුණු හැදුණු තැන මේ වෙරළමය. මේ වෙරළත් අපගේ බැඳීමත් විටෙක එක සමානය. අවිනිශ්චිතය. වැල්ලේ ඇඳි ඉරි සේය. වැල්ලේ තැනු මාළිඟා සේය. මේ දළ රළ අපගේ පයට කොපමණ පෑගෙන්නට ඇති ද. එහෙත් ඒවා සුන්දර මතක පමණි. මාගේ අදහස් සෑම විටම පාහේ වැඩෙන්නට වූයේ මටම ආවේණීක වූ රැඩිකල් බවකින් විය යුතුය. මා ආලය වුව ද දුටුවේ එලෙසය. දොඩම් ගොඩ බදාගන්නාසේ ආලය බදා ගන්නට මා හට  අවශ්‍යතාවයක් නොවීය.  අත්හැරීම ද ප්‍රේමයයි. මම මගේම සිතුවිලි රාමුවක් ගොඩ නගාගෙන හමාරය.

    “මොනවාද  ඔයතරම් ඈත  බලාගෙන  කල්පනා කරන්නේ..”

    ඒ හඬ මිහිරිය. සිත සැනසෙන බවනම් සෑබෑය. එහෙත් කුමක් හෝ වේදානාබර හැඟුමක් ඒ හඬ තුළ මුසු වී තිබිණ. මා මේ මොහොතවන විට ගැඹුරු කල්පනාවක  සිටිමුත් ඇගේ හඬත් සමඟ   දෙස හැරි බැලුවෙමි.  ඇය නිදහසේ රැල්ල පාගමින් සිතේ දුක රැල්ලත් සමඟ පා කර හරිමින් සිට මා දෙසට පැමිණියාක් මෙනි. විසිතුරු කෙහෙරැලි පවනට සැලෙමින් තිබිණ. ඇය පියකරුය සුකුමලය. මා ඇය දෙස බලා සිටියෙමි. ඇගේ දීප්තිමත් දෑස සහ මගේ දෑස ගැටෙන්නට විය.

    “ඇයි ඔහොම බලන්නේ. ලස්සන බැලුව ද? අහපු දේට උත්තරයක් කෝ”.

    “ම්ම්”  මගේ පිළිතුර කෙටිවිය. එහෙත් පෙරලා මට   සිහිවූයේ ගැහැනියකගේ රූපයට පිරිමී මෙතරම් බැදෙන්නේ මන්ද යන්නයි.  රාහුල හාමුදුරුවන් පවා වර්ණනා කලේ ගැහැනියගේ රුව ගුණම බව මට සිහිවිය. “සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින, රිය සක වැනි පුළුලුකුළ. හ්ම්ම්.. එකකට එකක් නොගැළපෙන එවන් සිතුවිලි ද සිතට නැඟිණි. මා එය සිතින් කියවා ගත්තත් මාගේ මුවින් පිට වූයේ සිහින් සිනාවක් පමණකි.

    “මම තාමත් ඉස්සර හිටියා වගේමද?” ඇය අසන්නට විය.

    “හ්ම්ම්ම්..ඔව් ඒවගෙම තමා.”

    “ජිවිතය හැමදාම එකවගේ වුණාම එපා වෙනවා නේද දේවා. මේ ජිවිතයේ හරයක් නැද්ද .”

    මා කිසිවක් නොකියාම ඈත බලා උන්නෙමි. එහෙත් මා හට වැඩි වෙලාවක් එසේ සිටින්නට නොහැකිවිය.

    “මාත් කියන්නමයි හිටියේ අපි මේ ගැන වෙනස් විදිහකට හිතමූ.

    ඇය මා දෙස බලා මා පැවසීය.

    “ඉස්සර වගේ ආදරෙන් අපිට ඉන්නම බැරිද.?”

    “ඇයි දැන් එහෙම අහන්නේ”

    “මට හරි හිස් බවක් දැනෙනවා දේවා”

    “එහෙනම් අපි මුල ඉඳලාම පටන් ගමූ.

    “එහෙම බැනේ.”

    ඇය කලකිරුණ ස්වභාවයකින් පැවසුවාය.

    එය නෑසුණාක් මෙන් මා හුන් තැනින් නැගිට ගියේ  ඉස්සෝ වඩේ කරත්තයෙන්  ඉස්සෝ වඩේ මිළදි ගැනීමටය. එය පෙර පුරුද්ද ට සිදුවූවාක් මෙනි. රතු පාටට කරස් ගා හැපෙන ඉස්සෝ වඩේ කෑමට ඇය ප්‍රිය කළාය.

    “ඇයි බැරි,ඔයා මාව දන්නේ නෑ වගේ ඉන්න.මාත් එහෙම ඉන්නම්.”

    අකමැත්තෙන් හෝ කැමැත්තෙන් මට ඇයගෙන් නික්මීමේ උවමානවක් තිබෙන බ මා දනිමී.

    “කොච්චර කාලයක් මම එහෙම ඉන්නද දේවා. මේ ඔයා කරන්න හදන අරගල වගේ දෙයක් නෙවෙයි. මේක ජිවිත අරගලයක්. ඒ ආකල්ප වෙනස් කරන්න බැරිද මන් ඉස්සරහවත්. අපිට අපි මුණ ගැහේවි. අපිට අපි පෙනේවි. ඇය මදක් ආවේගයෙන් මෙන් කියන්නට විය. එපිටින්  ක්‍රීඩා කළ දරුවකුගේ පා පන්දුවක්  අප අසලට විත් රැඳුණි. නැවත හුන් තැනම සිට දරුවා දෙසට පන්දුව විසි කළෙමි.

    “අපි අපේ ගම් පළාතට ගියාම මේ විදිහට මුණ ගැහෙන එකක් නෑ නේ. තව ටික කාලයියි. ජොබ් එකක් හොයාගෙන අලුත් පත්වීමකට සමහරවිට  ඔයාට දුරකට යන්නත් වෙයි. මට කරන්න වැඩ කොටසක් ඉතුරුයි. ඒක අතරමඟ නතර කරලා දාන්න තරම් පුළුවන් කමක් මට නෑ.”

    සමාජජාල පෙරළමින් මා මේ වන විටත් විශ්වවිද්‍යාලයීය සගයින් සමඟ දිගු වැඩ පිළිවෙළක් සකස් කරමීන් සිටියෙමී.

     “ඔයාට හිතෙයි එක තැකනදි මට කතා කරන්න. එතකොට ඔයා මට phone call එකක් ගන්නවාද. නොදැක ඉන්නකොට හිතෙයි ඉස්සර වගේ වට්සැප්, ස්කයිප්වලින් මගේ මුණ බලලා කතා කරන්න..

    එසේ කියමින් ඇය මගේ දැතින් අල්ලාගත්තාය.

    “අපි ඒ හැම එකෙන්ම ටික කාලේකට හරි අයින් වෙමු. අල්ලා ගත් අත යන්තම් ලිහිල්  වන බවක් හැඟිණි.

    facebook ඇවිත් මගේ විස්තර හොයාගන්න හිතෙයි. කෙටියෙන්ම මම ළඟ නැති අඩුව තේරෙයි දේවා” ඈ කියූ වචන තුළ  හැඬුම් ස්වරයක් විය.

    “මාව unfriend කරලා දාන්න. ඉවරයිනේ” මා හැඟුම්

    විරහිතව ප්‍රකාශ කළෙමී

    “ආයේත් add කරන්න හිතුනොත්..” 

    ඇය වැල්ලේ ඇගේ නම අකුරු කරමින් ඇසුවාය.

    “එහෙමනම් block කරලා දාන්න.”මට වෙන කිසිවක් කියාගත නොහැකි විය.

    ” දේවා,ඔයා කොහොමද මාව කාලේකට පස්සේ හොයාගන්නේ” ඇය ඇගේ නම ඒ වන විට වැල්ලේ අකුරු කර හමාරය.

    “දන්නේ නැති number එකකින් කවදා හරි call එකක් එයි.

    එතකොට ඔයා මගේ වෙනස් කෙරුව number එක දන්නේ නෑනේ.

    මා සුලු මොහොතකට නිරුත්තරවිය.

    “මම වෙන profile එකකින් request එකක් දාන්නම්.

    “ඇය සිනාසී හුන් තැනින් නැගිට්ටාය. මඳක් ඉදිරියට ඇදී ගිය ඇය නැවත හැරී 

    “ඔයාට කලින් කෙනෙක් මට request කළොත්..” 

    දීමට තරම් පිළිතුරක් නොවු මම සුනාමී රළ පහරකට හසු වී යන්නාක් මෙන් දැනීන.

    ඇය ඈත නොපෙනී යනතුරුම කුමක් කළ යුතුදැයි සිතා ගත නොහැකිව මා ඒ තත්ත්වයෙන් මිදෙන්නට උත්සහා කළෙමි.

     

     පියුමි කරුණාරත්න
     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here