‘බ්ලූමැන්ඩල් ස්ටේඩියම්ගම’ නිවාස ව්‍යාපෘති ක්‍රියාවට නංවා බිඳවැටුණු ආර්ථිකය යළි පණ ගැන්වීමට අඩිතාලම සකසනවා රාජ්‍ය ඇමැති, ආචාර්ය නාලක ගොඩහේවා

0
27

 

බ්ලූමැන්ඩල් ස්ටේඩියම්ගම නිවාස ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමෙන් කොරෝනා හමුවේ බිඳවැටී ඇති ආර්ථිකය යළි පණ ගැන්වීමට අවශ්‍ය අඩිතාලම සකසන බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

2024 වනවිට නිවාස එක්ලක්ෂ විසිදහසක් ඉදිකිරීමේ ඉලක්කය වී තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 8000ක් ඉදි කරමින් පවතින බවද සඳහන් කරයි.

මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000ක් ඉදිකිරීමේ තවත් පියවරක් ලෙස ආරම්භ කළ බ්ලූමැන්ඩල් ස්ටේඩියම්ගමට නිවාස 210 ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ නාගරික සංවර්ධන හා නිවාස ඇමැති, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000ක් ඉදිකිරීමේ තවත් පියවරක් පසුගිය 06වැනි දින ස්ටේඩියම්ගම දී ආරම්භ කෙරුණු අතර ඒ යටතේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල පිහිටි ස්ටේඩියම්ගමට නව නිවාස 210ක් ලබාදීම ආරම්භ කෙරිණ. වසරක් ඇතුළත මේ මහල් නිවාස ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නියමිතයි. සුගතදාස ක්‍රීඩාංගණය ආසන්නයේ මේ නිවාස සංකීර්ණය ඉදි කෙරෙන අතර නිවාස සංකීර්ණය අවට වාණිජ ගොඩනැඟිලි කීපයක් ද පවතී.

එහිදී වැඩිදුරටත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා එහිදී මෙසේද කීය.

“ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් වුණාට පස්සේ 2019 නොවැම්බර් මාසේ 16 වැනි දා සිට අද වනතුරුත් අපි හැම වැඩක්ම කළේ යම්කිසි සැලැස්මකට අනුවයි. ඒ සැලැස්ම තමයි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ සියල්ලම සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙනකොට මම හිතනවා සමහර වෙලාවට ඒ කරපු වැඩවලට මාධ්‍යවලින් හරියාකාරව සාධාරණය ඉෂ්ට වුණාද කියා. මේ කාලයේ අපි කතා කළේ බොහෝ දුරට මේ කෙරෝනා ප්‍රශ්නය ගැන විතරයි. මොකද ජනාධිපති බලයට පත්වෙලා මාසයක් යන්නත් කලින් කෙරෝනා අර්බුදය ලෝකෙට ආවා. ලංකාවටත් ඒකට මුහුණ දෙන්න සිදු වුණා. ඇත්තෙන් ම ස්තුතිවන්ත වෙනවා අපේ අමාත්‍යංශයේ ලේකම්තුමාට. අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට පසුගිය කාලයේ අපේ අමාත්‍යාංශය රෑ දවල් නොබලා වැඩකළාට කොරෝනා ප්‍රශ්නය අපට ප්‍රශ්නයක් වුණේ නෑ. කොරෝනා කියා අපේ වැඩ නතර වුණේ නෑ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා-

මුළු ලෝකය ම අඩපණ වෙලා. ළමයින්ට පාසල් යන්න විදිහක් නැහැ. ලංකාවේ සාමාන්‍ය පෙළ ළමයින් බලාගෙන ඉන්නවා කවද ද විභාගය පටන් ගන්නේ කියා. දකුණු ආසියාව ඉදිකිරීම් ක්ෂේත්‍රය හොඳටම වැටිලා තියෙන්නේ. මේ සියල්ල ම වෙලා තියෙන්නේ කොරෝනා වයිරසය නිසා. ඒ අනුව සියලු දෙනාම සෞඛ්‍ය උපදෙස් අනුව ආරක්ෂා වීම ඉතා හොඳයි. නමුත් මං හිතන්නේ ඒ සියල්ල ම මැඩගෙන, ඒ සියලුම ප්‍රශ්නවලට උත්තර දීගෙන තමන්ගේ රාජකාරී කටයුතු කිරීම හොඳයි කියා. ඒ කටයුතු ඉටුකිරීමේ ප්‍රතිඵලය මත තමයි අද ඔබ මෙතැනට පැමිණිලා මධ්‍යම පාන්තිකයන්ට නිවාස හදන්න මුල්ගල තියන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. අපි සේවය කරන්න මිසක් සේවය ලබා ගන්න පැමිණි අය නොවෙයි. ඒකයි වෙනස. නාගරික සංවර්ධන අධිකාරියත්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයත්, ආචාර්ය නාලක ගොඩහේවා මහතාත්, නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන නිලධාරීන් සියලුම දෙනාත් අනෙකුත් නිලධාරිනුත් නොපිරිහෙලා තමන්ගේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් මේ මධ්‍යම පාන්තිකයන්ට ගෙවල් 3000 ක් ලබාදීමේ අරමුණ ඉෂ්ට කරන්න ජනවාරි මාසයේ පළමුවැනිදා සිට පටන් ගත්තා.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් සමස්ත නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලැබේ.

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here