‘යොවුන් ශීල සමාධි’ වැඩසටහන කැලණිය රජමහා විහාරයෙන් ඇරඹේ

0
42

 

තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම විහාරස්ථානයක ම තරුණ තරුණියන් ශීල සමාධියෙහි පිහිටුවන ‘යොවුන් ශීල සමාධි’ පොහෝදා වැඩසටහනේ සමාරම්භය දුරුතු පුර පසළොස්වක පොහොය යෙදී තිබෙන මේ මස 28 වැනිදා පෙරවරු 6.00 සිට පස්වරු 5.30 දක්වා ඵෙතිහාසික කැලණිය රජමහා විහාරයේදී පැවැත්වේ.

කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම ශීල සමාධි වැඩසටහන පැවැත්වෙන අතර, අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහින්ද රාජපක්ෂ මහතා ද, තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

තරුණ තරුණියන් පන්සියයක පමණ පිරිසක් මෙදින කැලණිය රජමහා විහාරස්ථානයේදී පෙහෙවස් සමාදන් වීමට නියමිත ය. ඔවුන් සමඟ තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ද පෙහෙවස් සමාදන් වීම විශේෂත්වයකි.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ‘යොවුන් ශීල සමාධි’ පොහෝදා වැඩසටහනට උපදේශකත්වය සපයන අතර, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව ඒ සඳහා සහාය දක්වයි. පහන්සිත් පදනම මෙම වැඩසටහන සංවිධානය කරන අතර, රාජ්‍ය සේවා බෞද්ධ සංගමය සම්බන්ධීකරණ කටයුතු ද, ජාතික වෙළෙඳ හා ව්‍යවසායකත්ව සම්මේලනය ක්‍රියාකාරී දායකත්වය ද ලබා දෙයි. සීක් ඔෆ් ක්‍රවුන් ජාත්‍යන්තර සංවිධානය මේ සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙයි. එසේම, කැලණිය ප්‍රාදේශීය සභාව අවශ්‍ය සහාය ලබා දෙමින් ඒ සඳහා දායකත්වය සපයයි.

මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 7දා විශේෂ සාකච්ඡාවක් පැවති අතර, එහිදී අදහස් දක්වමින් කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ මෙසේ පැවසූහ.

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ මූලික සංකල්පයක් මුල්කරගෙන තරුණ පිරිස පුන්පොහෝ දිනවල පෙහෙවස් සමාදන් කිරීමේ පුන්‍ය කටයුත්තක් ඉදිරිපත් කර තිබෙනවා. එහි පළමු අවස්ථාව ලෙස බුදුරජාණන් වහන්සේ වැඩම කරවූ කැලණිය රජමහා විහාරස්ථානය තුළ පෙහෙවස් සමාදන්වීම් සිදු කර තරුණ පිරිසේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරන්න මේ කටයුත්ත සංවිධානය කර තිබෙනවා. එය ඉතාම කාලෝචිත වැදගත් අදහසක් හැටියට සඳහන් කළ හැකියි. එයට හේතුව අපේ අනාගතය රැඳී තිබෙන්නේ මේ තරුණ පිරිස මතයි. ඒ තරුණ පිරිස ආධ්‍යාත්මික ශක්තියක් තිබෙන, තැන්පත් බුද්ධියක් තිබෙන ඒ වගේම, විවේක චින්තනයක් තිබෙන පිරිසක් බවට පත් කර ගත් පසු ඒ අයගේ හැකියාවත් මෙයට මුසුවී මේ රටේ ඉදිරි අනාගතයේ පැහැදිලි වෙනසක් ඇති කර ගන්න අවස්ථාව නිර්මාණය කෙරෙන බවට මා විශ්වාස කරනවා.

මේ රටේ ඒ ඒ විහාරස්ථානවල තරුණ පිරිස අසංවිධානාත්මකව පෙහෙවස් සමාදන් වීම හා ආගමික කටයුතුවලට සම්බන්ධ වීම සිදුවෙනවා. කැලණිය විහාරයේත් පොහෝ දිනයේ තරුණ පිරිස් පෙහෙවස් සමාදන් වෙනවා. නමුත් සංවිධානාත්මකව තරුණ පිරිස එක තැනකට යොමු කර ඔවුන්ගේ තරුණකම අවබෝධ කර ගෙන ඒ අයට ලබා දිය යුතු ආගමික චින්තනය, ඒ තුළ ඒ අයගේ චර්යාවන් සකස් කර ගත යුතු විලාසය පිළිබඳ අධ්‍යයනය කර එයට අනුරූපී වැඩසටහන් සහිත අර්ථවත් දවසක් බවට පොහෝ දිනය පත් කර ගන්න පුළුවන්කම තිබෙනවා නම් මා හිතනවා එහි ප්‍රතිඵලය ඉතාමත්ම දීර්ඝයි කියලා. මේ ආගමික කටයුත්ත මඟින් පුද්ගල වශයෙනුත්, රටටත්, දේශයටත්, සමාජයටත් විශාල අර්ථසිද්ධියක් ලැබෙනවා. ඒ නිසා මේ වැඩසටහනට සම්බන්ධ වන ලෙස තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා.

‘යොවුන් ශීල සමාධි’ පොහෝදා වැඩසටහනේ උපදේශක බෙංගමුවේ නාලක හිමි-

මෙය කිසිසේත් දේශපාලන පක්ෂ වැඩපිළිවෙළක් නෙවෙයි. පවතින රජයේ සහයෝගය මේ සඳහා අවශ්‍යයි. මේ සංකල්පය ඉදිරිපත් කර තිබෙන්නේ තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතායි. අපි එය පෝෂණය කර ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. එදින තරුණ පිරිස සමඟ නාමල් රාජපක්ෂ ඇමැතිතුමාත් සිල් ගන්නවා. සෑම මාසයකම දිස්ත්‍රික්ක මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සියල්ල සඳහා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතයි. රටටත්, තරුණයන්ටත් එමඟින් විශාල ආදර්ශයක් ලබා දෙනවා. උතුරු නැගෙනහිර දෙමළ තරුණ පිරිසගෙන් ද මේ සඳහා විශාල උනන්දුවක් තිබෙනවා. දේශපාලන භේදයෙන් තොරව මේ සඳහා සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් වඩුගේ, පුරවර සැරිසර ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ හා පහන්සිත් පදනමේ උප සභාපති රංජිත් සන්දනායක, ජාතික වෙළෙඳ හා ව්‍යවසායකත්ව සම්මේලනයේ සභාපති නන්දන ඇඹුල්දෙණිය මහත්වරු ද, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සභභාගී වූහ.

ඡායාරූපය- සමන්ත වීරසිරි

සිතාරා සේනානි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here