ලොව වටා

    0
    13
    9 ජනවාරි, 2021

    ට්‍රම්ප්ගේ ට්වීටර් පිටුව බ්ලොක්

    ලබන 20වැනිදායින් ධවල මන්දිරයෙන් සමුගත යුතුව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්වීටර් පිටුව තාවකාලිකව වසා දැමීමට ට්වීටර් සමාගම කටයුතු කර තිබේ. ඔවුන් එයට හේතුව ලෙස පවසා ඇත්තේ මේ වන විට වොෂිංටන් නගරය පුරා පැතිර යන වියවුල්වලට අනුබල දෙන පණිවිඩ එහි අන්තර්ගත කිරීම බවයි.

    එමෙන්ම පිටුවේ පළ කර තිබූ පණිවිඩ තුනක් මකා දැමීමටද තමන් කටයුතු කළ බව සමාගම පවසා තිබේ. එම පණිවිඩ ජනතාව කුපිත කරවන සුලුු බැවින් ඒවා සමාගමේ නීති රීතිවලට පටහැනි බව සමාගම වැඩිදුරටත් පවසා තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ට්වීටර් පණිවිඩ පළවීමත් සමඟම ජනතාව ඔහුගේ ආධාරකරුවෝ වොෂිංටන් නගරයේ විරෝධතා ආරම්භ කර තිබේ.

     

     

    කොවිඩ් හොයන්න ගිය අයට චීනයෙන් බාධා

    කොවිඩ් – 19 රෝගයේ මූලාරම්භය සිදුවූයේ යැයි විශ්වාස කෙරෙන චීනයේ වූහාන් නුවරට යෑමට සූදානම් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික කණ්ඩායමට චීන බලධාරීන්ගෙන් බාධා පැමිණ තිබේ. මේ දූත කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ වයිරසයේ ආරම්භය කෙසේ සිදුවීදැයි සාක්ෂි සොයා බැලීමය.

    එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ සඳහා යොමු කරන ලද කණ්ඩායමට චීනය තුළට ඇතුළු වීමට වීසා ලබා නොදීමට චීනය අවසන් මොහොතේ තීරණය කර තිබේ. මේ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා තම කනගාටුව ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි තත්ත්වයක් ලෝකයේ කිසියම් හෝ රටක සිදුවිය යුතු නොවන බව පවසමිනි.

     

     

    බයිඩන්ගේ දිවුරුම් දීමට බුෂ් එන හැඩ

    ලබන 20 වැනිදා ඇමරිකාවට විශේෂ දිනයක් වනු ඇත. ඒ එරට නව ජනාධීපතිවරයා දිවුරුම් දෙන දවස එදින වන බැවිනි. මේ වන විට බයිඩ්න්ගේ දිවුරුම් දීමට අදාළ උත්සවය සංවිධානය කෙරෙමින් පවතින අතර ඒ සඳහා සහභාගී වන අමුත්තන්ගේ ලැයිස්තුවද මාධ්‍ය වෙත ලැබී තිබේ.

    එම ලැයිස්තුවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ නමද සඳහන්ව තිබීම පුවත් මැවීමට හේතු වී තිබේ. විශේෂයෙන්ම රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපතිවරයකු වූ බුෂ් ඩිමොක්‍රටික් බයිඩ්න්ගේ උත්සවයට පැමිණීම බොහෝ දෙනාට පුදුමයට කරුණක් වී තිබේ. එහෙත් අතීතය දන්නා බොහෝ දෙනා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති බුෂ් යනු තමාගෙන් පසු බලයට පැමිණි සෑම ජනාධිපතිවරයකුගේම දිවුරුම් දීමේ උත්සවවලට සහභාගී වී සුභ පැතූ නිරහංකාර පුද්ගලයකු බවයි.

     

     

    නිකරගුවාවට සුදු කොටි පැටියෙක්

    ලෝකයේ ඉතාම දුර්ලභ සත්ත්ව විශේෂයක් ලෙස සැලකෙන සුදු කොටි හෙවත් සයිබිරියානු කොටි පැටවකු නිකරගුවාවේදී උපත ලබා තිබේ. එරට සත්වෝද්‍යානයේදී උපත ලබා ඇති මේ සුදු කොටි පැටවාට ‘නයිවි’ යනුවෙන් නම් තබා තිබේ. ස්පාඤ්ඤ බසින් ‘නයිවි’ යනු ‘හිම’ යන අර්ථයයි.

    බොහෝ විට සිදුවන්නාක් මෙන් මේ කොටි පැටවාගේ මවද ඔහු ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඔහු මේ වන විට සම්පූර්ණයෙන්ම සත්වෝද්‍යාන බලධාරීන් විසින් පෝෂණය කරණු ලැබේ. උපත ලබන විට ‘නයිවි’ ගේ බර කිලෝග්රැම් එකක් ලෙස සඳහන් වී තිබේ.

     

    අලුත්ම කොවිඩ් වයිරසයෙන් බ්‍රිතාන්‍ය අමාරුවේ

    මේ වන විට බ්‍රිතාන්‍ය පුරා පැතිර යන කොවිඩ් වයිරසයේ නවතම පරිණාමිත වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය දැඩි අසීරුතාවන්ට මුහුණ දී සිටින බව වාර්තා වේ. මේ වයිරසය පෙර පැවති කොරෝනා වයිරසය පරිණාමය වීමෙන් සැකසී ඇති වයිරස ඛාණ්ඩයක් බවත් වයිරස එසේ පරිණාමය වෙමින් තම පැවැත්ම ආරක්ෂා කර ගැනීම සාමාන්‍ය දෙයක් බවත් වාර්තා වේ. එහෙත් පෙර පැවති වයිරසය වඩා සියයට 70ක වේගයෙන් නව වයිරස් ඛාණ්ඩය පැතිර යෑම හේතුවෙන් බ්‍රිතාන්‍ය මේ වන විට සම්පූර්ණයෙන් රට වසා දැමීමට කටයුතු කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට කොවිඩ් එන්නතේ පළමුවැනි මාත්‍රාව බ්‍රිතාන්‍ය ජනතාවට ලබා දෙමින් පැවතියද ඔවුන් මුහුණ දෙමින් සිටින තත්ත්වයේ බැරූරුම් බව එමගින් කිසිසේත් අවම වී නොමැති බවයි. මේ වන විට රට ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධව අගමැති බොරිස් ජොන්සන් දැඩි අසීරුතාවකට මුහුණ දෙමින් සිටින නමුත් ඔහු ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධව වැඩි ඉඩක් ලබා දෙන බවද වාර්තා වේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here