වතු කම්කරු වැටුප් අයවැය යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කෙරේ

0
43

 

වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික අවම වැටුපක් ලබාදීම සඳහා වූ රජයේ අයවැය යෝජනාව පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ වතු කම්කරු වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් පෙරේදා (07) කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී වතු සමාගම් පාලකයන්, හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති නායකයන් අතර එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකිවීම හේතුවෙන්ය.

ඒ නිසා මේ පිළිබඳ විකල්ප යෝජනා තමන් ලබන සඳුදා ඇමැති මණ්ඬලයට මෙසේ ඉදිරිපත් කරන බව කීවේය. එමෙන්ම වතුකරයේ ජනතාවට රුපියල් දහසක අවම දෛනික වැටුපක් ලබාදීම සඳහා රජය ගෙන ඇති තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බවත්, දෙපාර්ශ්වයටම සාකච්ඡා කර සාධාරණ විසඳුමකට ඒමට අවස්ථා රැසක් ලබාදුන් නමුත්, එයින් අවසන් විසඳුමකට ඒමට අපෙහොසත් වූ නිසා, මේ වතු කම්කරු ජනතාවට සාධාරණය ඉටු කළ යුතු නිසා, වතු කම්කරු ජනතාවට අවම දෛනික වැටුප රුපියල් දහසක් කිරීම සඳහා වන විකල්ප යෝජනාව ලබන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පවසයි. ඉන්පසු ඉතා කඩිනමින් එම වැටුප් වැඩි කිරීම සිදු කරන බවද හෙතෙම කීය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් ඇතුළු වතු වෘත්තීය සමිති නායකයෝ ද සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර ඇල්ලේපොල ඇතුළු වතු සමාගම් නියෝජිතයෝ ද අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක් වූහ.

අනුර ප්‍රේමලාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here