වසංගත නිසා ක්ෂය වන ස්වදේශීය භාෂා

    0
    44

    කොරෝනා වසංගතය මේ ස්වාභාවික වරණය අවුලෙන් අවුලට පත් කර ඇත. බ්‍රසීලයේ පමණක් ස්වදේශික ජන කොටස් අතර කොරෝනා ආසාදිතයන් 39,000ක් පමණ සිටින බව කියැවේ. ඉන් හය දෙනෙක්ම පුරුබොරා ජන කණ්ඩායමේ ය. එපමණක් නොව මේ වාර්තාගත ආසාදිත සංඛ්‍යාව ඇතුළත ම කොවිඩ් මරණ 877කි. ඒ සුළුවෙන් තැකිය හැකි ප්‍රතිශතයක් නොවේ

    එලියේසර් පුරුබොරා යනු පුරුබොරා භාෂාව කතා කරන්න දැන සිටි මිනිස් පරපුරේ අවසන් පුරුක ය. හෙතෙම මේ වසරේ මුල් කාර්තුවේදී කොවිඩ් වසංගතයට ගොදුරුව බ්‍රසීලයේදී මිය ගියේය. මිය යන විට එලියේසර් උන්නේ 92 වැනි වියේ ය. මළ භාෂා පිළිබඳ බොහෝ දෙනකු උනන්දුවක් නොමැති වුවත් සන්නිවේදනය සඳහා භාවිත කළ හැකි තවත් එක් භාෂාවක් මිය යෑමට ආසන්නව පැවැතීම ලෝකයාම එකතුව කනගා‍ටු විය යුත්තකි. එහෙත් ලෝකය එවන් කාරණා මඟ හරිමින් වේගවත් දුර දිවීමක නිරත වෙයි.

    බ්‍රසීලයේ පැවැති ස්වදේශීය භාෂාවලට කණකොකා හැඬීම ඇ‍රැඹියේ යුරෝපීයන් ගේ ආගමනයත් සමඟම ය. 1500ට අධික ස්වදේශික භාෂා ප්‍රමාණයක් තිබූ බ්‍රසීලයට කතා කරන මට්ටමෙන් දැන් ඉතිරිව ඇත්තේ භාෂා 181ක් පමණි. මේ භාෂා 181 පවා දහසකට ආසන්න ජන කණ්ඩායමක් අතර පමණක් ‍රැඳී පවතී. අතොරක් ස්වදේශීය ජන කණ්ඩායම්වල පමණක් විශාල සාමාජිකයන් සංඛ්‍යාවක් සිටී. උදාහරණ ලෙස ගුරානි එම්බියා වැනි ජන කණ්ඩායම් තමන්ගේ මවු භාෂාව නොනැසී පවත්වා ගැනීමට වග බලා ගනී. ඒ පරම්පරාවෙන්, පරම්පරාවට ස්වකීය භාෂාව භාර දෙමිනි. නමුත් පුරුබොරා වැනි ඉතා සීමිත සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින ස්වදේශික කණ්ඩායම්වලට මේ කර්තව්‍යය නොකඩවා පවත්වාගෙන යා නොහැකිය. මොවුන්ගේ මුළු ජන කණ්ඩායම ම 220ක් වැනි සුළු සංඛ්‍යාවකි. එවැනි භාෂා කාටත් හොර රහසේ මළ භාෂා ලෙස අතීතයට එකතු වෙයි. පසුව ඒවා කාලයේ වැලි තලයෙන්ද වැසී යයි.

     

    ස්වාභාවික වරණය

    කොරෝනා වසංගතය මේ ස්වාභාවික වරණය අවුලෙන් අවුලට පත් කර ඇත. බ්‍රසීලයේ පමණක් ස්වදේශික ජන කොටස් අතර කොරෝනා ආසාදිතයන් 39,000ක් පමණ සිටින බව කියැවේ. ඉන් හය දෙනෙක්ම පුරුබොරා ජන කණ්ඩායමේ ය. එපමණක් නොව මේ වාර්තාගත ආසාදිත සංඛ්‍යාව ඇතුළත ම කොවිඩ් මරණ 877කි. ඒ සුළුවෙන් තැකිය හැකි ප්‍රතිශතයක් නොවේ. විශේෂයෙන්ම එලිසේයර් වැන්නවුන් ගේ මරණ මෙහිදී අතිශය වැදගත් ය. කොවිඩ් වසංගතය වැඩිමහල්ලන් විෂයෙහි බලපවත්වා ඇති ආකාරය කනගා‍ටුදායක තරමට අනපේක්ෂිත ය. මොවුහු භාෂා සු‍රැකින්නන් ලෙස සැලැකෙති. යම් ජන කණ්ඩායමක මෙවන් භාෂා සු‍රැකින්නකු මිය ගිය පසු ඇති වන හිස්තැන බොහෝ විට පිරවිය නොහැකි තරම් සුවිශාල ය. එය එසේ වීමට බොහෝ හේතු කාරණා ද ඇත. එමෙන්ම වසංගත තත්ත්වය හේතුවෙන් හුදෙකලා වීමට බල කරන හෙයින් මේ ජන කොටස්වල සංස්කෘතික උත්සව කටයුතු සියල්ල ද මඟ හැරී ඇත.

    ඒකරාශී වීම මෙන්ම කණ්ඩායම් වශයෙන් යම්, යම් ක්‍රියාකාරකම්වල යෙදීමත් මොවුන්ගේ සංස්කෘතික බෝ කිරීමට ඉවහල් වන කාරණයකි. එහෙත් රංචු ගැසීම වළකා හුදෙකලා වීමට සිදු වූ විට සියල්ල එක තැන නතර වන සැටියකි. ඊළඟ ජන කණ්ඩායමට භාෂාව භාර දීම ආදී කටයුතු සිදුවන්නේ මෙකී සංස්කෘතික කටයුතු, ඇදහිලි, පුද පූජා ආදිය ද සමඟ ය. ඇමසන්හි හුදෙකලාව ජීවත් වන ‘ඊතල ප්‍රජාව’ වෙත පවා කොරෝනා වසංගතය ආසන්නව පැවතීම මේ සඳහා දිය හැකි එක් භයානක උදාහරණයකි.

     

    අවසන් ජනාවාස

    පුරුබොරා ජන කොටසට තම භාෂාව සංරක්ෂණය කර තැබීමේ අනවරත අරගලයේ දීර්ඝ කාලයක් නිරතව සිටින්නට සිදු විය. ශත වර්ෂයකට එපිටදී රබර් කිරි එකතු කිරීමේ කාරිය නිලධාරීන් විසින් පුරුබොරා ජන කොටසට පවරන ලදී. මේ අතර එලිසේයර් ද සිටි බව කියැවේ. එමෙන්ම පුරුබොරා ජන කොටසේ කාන්තාවන්ව ස්වදේශික නොවන ජන කොටස් වෙතට ත්‍යාග ලෙස ලබා දී තිබුණි. මොවුන්ට කතාබහ කිරීමට අවසර තිබුණේ පෘතුගීසි භාෂාව පමණකි. අමිශ්‍රව ජීවත් වූ ස්වදේශීය ජන කොටස් අතිශය අකාරුණිකව මිශ්‍ර විය. එමිලියා නම් ස්වදේශීය කාන්තාවගේ මරණයෙන් පසුව ඇගේ තැන ගනු ලැබූයේ හොසානා පුරුබොරා ය. ඈ එමිලියාගේ දියණියයි. එමිලියා යනු එලිසේයර්ගේ ඥාති සහෝදරිය යි. ඔවුන් කුඩාවුන් අවධියේ ම මවුපියන් අහිමි දරුවන් ලෙස කල් ගෙවන්නට සිදු විය. කුඩා කල සිට ම එකිනෙකාට කොඳුරමින් පුරුබොරා භාෂාව කතා කරමින් ඔවුන් නොදැනුවත්වම භාෂාව ‍රැක ගැනීමේ ක්‍රියාවලිය ඇ‍රැඹීය. 1949දී ඉන්දියානු ආරක්ෂක සේවය විසින්, තව දුරටත් ස්වදේශිකයන් මෙහි නොසිටින බව නිවේදනය කර සිටියේ ය. ඊට හේතු වශයෙන් ඔවුන් දක්වා තිබුණේ ස්වදේශීය නොවන විවිධ ජනවර්ග සමඟ මොවුන් මිශ්‍රව පැවැතීමයි. මේ නිවේදනයත් සමඟම පුරුබෝරා ජන කොටස එක්වරම අතුරුදන් විය.

    සැබෑ කතාව ඔවුන් එලෙස අතුරුදන් වීම ප්‍රතික්ෂේප කිරීමයි. ඔවුන් විසින් ඇපරෝයි නම් අක්කර 62ක භූමි භාගයක් සෝයා වගා කරුවන්ගේන් සහ ගව පට්ටි හිමියන්ගේන් මිලදී ගෙන තිබුණි. පුරුබොරා ජන වර්ගයේ අවසන් ජනාවාසය ඔවුන් පිහි‍ටුවාගෙන තිබුණේ මේ ඇපරෝයි නම් ස්ථානයේ ය. එහෙත් මේ අක්කර 62 සියල්ලන්ටම ජීවත් වීමට ප්‍රමාණවත් නොවී ය. කණ්ඩායමේ වැඩිහිටියා වූ එලිසේයර් ආසන්නයේ තිබූ ගුවාජාරා මිරිම් නම් ටවුමේ තමන්ගේ දියණිය සමඟ වාසය කළේ ය.

     

    ශ්‍රව්‍ය සංරක්ෂණාගාර

    ඉන්පසුව පුරුබොරා ජන කොටස වාග් විද්‍යාඥවරියක වූ ඇනා විලසි ගැලීෂියෝ සමඟ කටයුතු කිරීමට පටන් ගති. ඈ එමීලියෝ ගොල්ඩි කෞතුකාගාරයේ සේවය කරන්නියකි. මේ කෞතුකාගාරය විසින් ස්වදේශීය භාෂා සංරක්ෂණ කටයුතු සිදු කරයි. දැනට ඔවුන් බ්‍රසීලයේ ඇමසන් ප්‍රදේශයෙන් පමණක් ස්වදේශීය භාෂා 80කට ආසන්න සංඛ්‍යාවක් සංරක්ෂණය කර ඇත. මේ නිසාම පුරුබොරා ස්වදේශිකයන්ගේ භාෂාව ද සංරක්ෂණය සඳහා කටයුතු යෙදීම ඇනා විලසිගේ ඊළඟ ඉලක්කය වී තිබුණි. 2001දී ඈ මේ වැඩ කටයුත්ත අරඹන විට පුරුබොරා ජන කොටසේ වැඩිහිටියන් අට දෙනකු සිටියේ ය. ඊට එලිසේයර් සහ එමිලියා ද ඇතුළත් ය. ඔවුන් දෙදෙනා එවිටත් ස්වකීය භාෂාව කතා කළ මුත් සෙසු කිසිවකු ඒ කතා නොකළේ ය. කොටින්ම සියවසකට ආසන්න කාලයක් මුළුල්ලේ මේ භාෂාව ඔවුන් දෙදනා හැර අන් කිසිවකු කතා කර තිබුණේ නැත.

    “ඇත්තටම වෙලා තිබ්බෙ අනිත් අයට පුරුබොරා භාෂාව කතා කරන්න බැරි එකම නෙවෙයි. ඒ අයට මේ භාෂාව කතා කිසිම කෙනෙක් කතා කරනවා ඇහෙන්න නොලැබුණ එකයි. ඔවුන්ට තමන්ගේ මවු භාෂාව එක්ක කිසිම සම්බන්ධයක් හදාගන්න ඉඩක් ලැබිලා තිබුණේ නෑ”

    ඇනා විලසි දරන්නේ එවන් මතයකි. ඇනා ඊට නිසි පිළිතුරු සොයාගෙන තිබුණි. ඈ කළේ එකිනෙකා සමඟ පුරුබොරා බසින් කතා කිරීමට මේ ජන කොටස පෙළඹවීමයි. ඔවුන් කතා කරන දෑ පටිගත කිරීමට යන්ත්‍රත්, මයික්‍රෆෝනත් ලබා දී තිබුණි. ඔවුන් කතා කළ සෑම සියලු දෙයක්ම ශ්‍රව්‍ය සංරක්ෂණාගාරයක තැන්පත් කෙරුණි. පළමුව ඔවුන්ට කතාබහ කළ හැකිව තිබූයේ වචන ස්වල්පයක් පමණි. සතුන්ගේ නම් ඒ අතර මුල් තැනක් ගෙන තිබුණි. ව්‍යාකරණ ආදී දෑ තරමක් දුර ‍රූපයක් වුවත් එකිනෙකා සමඟ කතාබහ කරන තාක්කල් ඔවුන්ට තම භාෂාව මතක තිබුණි. යළිත් එය පණ ගසා නැඟිට්ටා සේ ය.

     

    කොරෝනා වසංගතය

    පාවුලෝ ඇපරෙට් සහ නිලෝ පුරුබොරා යනු මේ ආකාරයට අර්ධ විශිෂ්ටතාවකින් යුක්තව පුරුබොරා භාෂාව කතා කිරීමේ නිපුණ වැඩිහිටියන් දෙපළකි. ඔවුන් දැන් සිටින්නේ අවුරුදු 90 ආසන්නයේ ය. පිරිහුණු සෞඛ්‍ය සහ කොරෝනා වසංගතයට පහසුවෙන් ගොදුරු වීමේ සම්භාවිතාවක් ඇති මොවුන් ඇපරොයි හි වාසය නොකරයි. වසංගතය හේතුවෙන් නිතර ඔවුන් බැලීමට සෙස්සන්නට ද යා නොහැකි ය. ගැටලු රැසකි. හොසානා වධ වන්නේ පුරුබොරා ජන කොටසේ ඉතිරිව පවතින සියලු දෑ කෞතුකාගාරයට ලබා දීමට ප්‍රථම මේ වසංගතයෙන් ඔවුන් මිය යනු ඇතැයි කියා ය.

    “සංරක්ෂණයට අවශ්‍ය ගොඩක් දේවල් තවම සම්පූර්ණ නෑ. අපි ඒ ගැන නොසෑහෙන්න වද වෙනවා. සමාජයට ඔවුන්ට ලබා දෙන්න තියෙන දේවල් තව තියෙනවා.”

    ගුරානි එම්බියා ස්වදේශික ජන කොටස සම්බන්ධයෙන් ද වසංගතයේ බලපෑම ඉහත ආකාරම ය. සාවෝ පවුලෝ හි ගම්මාන හයක වෙසෙන සියයකට ආසන්න ගුරානි එම්බියා ජන කොටස ද වසංගතය සමඟ දරුණු සටනක ය. මොවුන් අතර වයස අවුරුදු සියයේ මහලු පුද්ගලයන් ද සිටී. ඔවුන් කිහිප දෙනකුට කොරෝනා වසංගතය වැලැඳී ඇතත් මරණ කිසිවක් වාර්තා නොවීම සතුටුදායක කාරණාවකි. මොවුන්ගේ ගමේ පාසල්වල ගුරානි භාෂාවත්, සංස්කෘතියත් උගන්වයි.

     

    ඔන්ලයින් භාෂා ව්‍යාපෘති

    මේ අතරම වසංගතයත් සමඟ ගුරානි භාෂාවට අනපේක්ෂිත ප්‍රසිද්ධියක් ලබා දීමට තරුණ ගුරුවරයක් වන ඇන්තනි කරායි සමත්ව සිටියි. රැකියා විරහිත ගුරානි ජන කොටසට උපකාරයක් පිණිස ඔහු ඔන්ලයින් භාෂා ඉගැන්වීමේ ව්‍යාපෘතියක් දියත් කළේය. එක් පන්තියකදී සිය දෙනකුට ඉගැන්වීමට හැකි බවට ඇන්තනි කරායි විසින් ඇස්තමේන්තු කර තිබෙන විට පළමු වටයේදීම ඒ සඳහා පැය දෙකක් ඇතුළත පමණක් 300ක පිරිසක් ලියාපදිංචි විය. මේ ඇන්තනි කරායි කිසිසේත්ම අපේක්ෂා කළ තත්ත්වයක් නොවේ. කිසිවකුගේ බලාපොරොත්තු බිඳ දැමීමට ඇන්තනිට නුවුවමනා විය. ඔහු කළේ අසල ගම්මාන දෙකක ගුරුවරු දෙදෙනකු අමතා ඉතිරි සිසුන් 200 භාර දීම ය. සිය භාෂාව ඉගැන්වීමෙන් ඇන්තනි බලාපොරොත්තු වන්නේ එය ජීවමානව පවත්වාගැනීම පමණක් නොවේ. තමන්ගේ ජන කොටසෙන් පිටත සිටින ජනතාවට තම භාෂාව පිළිබඳ වෙනත් කෝණයකින් බැලීමට අවස්ථාවක් ලබා දීම ය.

    “ඔබ යම් භාෂාවක් ඉගෙන ගන්නා විට හුදෙක් භාෂාවක් පමණක් නොවේ, ඊට අනන්‍ය සංස්කෘතිය ද ඉගෙන ගනී.”

    එහි ප්‍රතිවිරුද්ධ අර්ථය ද ඒ ආකාරම ය. යම් භාෂාවක් අහිමි වන විට ඒ සමඟ බැඳි සංස්කෘතියක් ද ඔබට අහිමි වේ. පුරුබොරා ගුරුවරියක වූ මාරියෝ පුරුබොරා ගේ අවධානය යොමුව ඇත්තේ ඒ කෙරෙහි ය.

    ඇපරොයි හි තිබෙන පාසල්වල පුරුබොරා භාෂාව ඉගැන්වූවත් පසුගිය කාල වකවානුවේ එම පාසල් වැසී යෑමේ තර්ජනයකට මුහුණ පා සිටියේ ය. ඒ පාසලක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සිසුන් ප්‍රමාණයක් නොසිටීම හේතුවෙනි.

    වසංගතයට පෙර සියලු දේ සාමාන්‍ය පරිදි සිදු වුවත්, වසංගතයෙන් පසුව මොවුන්ගේ ජීවිත උඩු යටිකුරුව ඇත. හුදෙකලාව ජීවත් වීමේ නව ක්‍රමයත් සමඟ මේ වැඩිමහල්ලන් සහ ළාබාලයන් සේම භාහිර ලෝකය ද වෙනත් අන්ත කිහිපයක් බවට පත්ව ඇත.

    කෙසේ නමුත් මේ සියලු ව්‍යසන මැදත් පුරුබොරා ජන කොටස තමන්ගේ අනන්‍යතාව සහ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාමට උත්සාහ කරයි. වාර්ෂික සංස්කෘතික උත්සව ආදිය පවත්වමින් ඔවුන්ගේ අතීත කතන්දර එකිනෙකා සමඟ හුවමාරු කරගනිමින්, ගීත ගයමින්, හැකි තරම් කෙටි දුර සංචාර පවත්වා ගනිමින් ඔවුන් මේ උත්සාහයේ නිරත වෙයි.

     

    නැෂනල් ජියොග්‍රැපික් ඇසුරෙනි

    කාංචනා අමිලානි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here