වෙනසක් විදියට උඩුගම් බලා පීනමු

    0
    42

    සිහින පසුපස හඹා ගොස් එම සිහිනය යථාර්ථයක් කර ගැනීමට උත්සාහ කරන තුරු එම සිහිනය සිහිනයක්ම පමණි. සිහිනයන්ට පණ දීමට නම් උත්සාහය හා අපරිමිත කැපවීම පමණක් නොව බාධක හමුවේ නොසැලී ඉදිරියට යාමේ අදිටන ද අප සතු විය යුතුය. ඔබ සිහින යථාර්ථයක් කර ගැනීමට වෙර දරන්නෙකු නම්, ඔබගේ සෑම පියසටහනක් තුළම එහි බර ගැබ් වී තිබිය යුතුය. 

    මේ ගමනේදි පැමිණෙන බාධක කම්කටොලු නම් මෙතෙකැයි කියා කිව නොහැක. විටෙක තාවකාලිකව පසුබැසීමට සිදුවන අවස්ථා එමටය. එහෙත් සටන අත්හැරීමට තරම් අප අධෙර්‍යයවත් නොවිය යුතුය. අප සටන අත්හරින තුරු බලා සිටින්නන්ද නැතුවාම නොවේ. අප සටන අතහැරීම ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමක් මෙන්ම අපේ බලාපොරොත්තු සුනු විසුනු කර දැමීමකි. 

    සිහින ජය ගැනීමට නම් නිසි සැලසුමක් තිබිය යුතුය. ඇතැම් සැලසුම් දීර්ඝකාලීන සැලසුම් විය හැකිය. ඇතැම් සැලසුම් ක්ෂණිකව ගොඩනගා ගැනීමට අපට සිදු වේ. ඒ කෙසේ නමුත් සැලසුමක් ගොඩනංවා ගැනීම අප සිදු කිරීමට යන කාර්ය මල් පල ගැන්වීමට පස සකස් කිරීමක් වැනිය. නිසි ලෙස සකසන ලද පසක සිටුවන ඕනෑම භෝගයක් සරුවට වැඩේ. එසේම අපේ සිහින රෝපණය කිරීමට යොදාගන්නා අඩිතාලම ශක්තිමත් වන තරමට අපේ සිහිනය අතු ඉති ලා මල් පල ගැන්වේ.

    ඔබට සිහින අත්හැර දැමීමට සිදුවන සෑම විටකම අන් අයගෙන් ආදර්ශ ලබා ගැනීමට පුරුදු වන්න. එය ඔබව තව තවත් සිහිනය යථාර්ථයක් කර ගැනීම උදෙසා සටන් වැදීමට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. උත්සාහය අත් හැරීමට සිදු වන සෑම අවස්ථාවකදීම යානිස් මැක්ඩේවිඩ්, ලිසී වෙලස්කිව්, ජේ.කේ. රෝලිං වැනි ලෝක බලවතුන් පිළිබඳව සිහි ගන්වන්න. ඔවුන් එම මට්ටමට පැමිණීමට විඳ ඇති දුක් ගැහැට පිළිබඳ මෙනෙහි කරන්න. එම ජීවිත කතා කියවුවහොත් ඔබට ගත හැකි ආදර්ශ බොහෝය. ඒවා ඇසූ පසු කිසි විටෙකත් සටන අතරමග හැර දමා ගොස් සැඟවීමට ඔබට නොසිතෙනු ඇත. 

    සිහින පසුපස හඹා යෑමේදී ඔබේ කකුලෙන් අදින්නන් ද නොඅඩුව ඔබට හමු විය හැකිය. එවිට වැදගත් වනුයේ මහාමේරුව සේ නොසැලී සිටීමය. ඔවුන්ගේ උදාසීන ප්‍රතිචාර ඔබේ ගමනට ආශීර්වාදයක් කර ගන්න.

    ඔබට මේ ගමනේ ගමනාන්තය කරා ළඟා වීමටනම් නොයෙක් ආකාරයේ සිත් රිදවීම්, පසුතැවීම් නොඅඩුව විඳීමට සිදු වේවි. ඒවා පසු කොට උඩිගම් බලා පිහිනීමයි වැදගත්. එය සිදු කිරීම අතිශය දුෂ්කරය. එම මාර්ගය ගල් , මුල් හා දියසුළිවලින් ගහනය. එහෙත් ඔබ එහි ගමන් කළ යුතුමය. එම දුෂ්කර ගමනේදී ඔබට අසල ඇති අත්තක එල්ලී ගොඩට ඒමට සිතිය හැකිය. නමුත් ඔබ නොකළ යුතුම දේ වන්නේද එයයි. පිහිනන්න. ඔබේ ඉලක්කය ඇස් මායිමට පැමිණෙන තෙක් නොව එම ඉලක්කය දෝත දරා ලැබ, හදවත පුරා විඳීමට හැකි මොහොත වන තෙක් පීනන්න

     

     සරණි උපේක්ෂා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here