හතර අතේ ගිහින් හොයන සතුට ඇත්තේ තමන් ළඟම

    0
    43

    ‘සංතුෂ්ඨී පරමං ධනං’ යනුවෙන් අප ගෞතම බුදුන් වහන්සේ පවා දේශනා කර ඇත්තේ යම් කෙනෙකුට තිබෙන්නා වූ ඉහළම වත්කම සතුට නිසාවෙනි. කෙතරම් අගහිඟකම් තිබුණ ද සිත සතුටින් නම් සුවසේ ජීවිතය ගත කළ හැකිය. බොහෝ දෙනෙක් ජීවිතය ගත කරනුයේ ඔහේ ඉන්නන් වාලේය. සතුටින් දැයි අසන විට සිනාසී හදවතින්ම සතුටින් සිටින්නේ එහෙමත් අයවලුන්ය. උදේ දහවල් ගෙවා ගැනීමට පමණක් ජීවත් වන්නේ නම් වටිනා ජීවිතයක් ලැබීමේ කිසිදු වටිනාකමක් ද නොමැත්තේය.

    මන්ද හක්කෙන් හක්කට හපය මාරු කරමින් ගවයන් කරන්නේ ද ඔහේ බලා සිටීමය. සතුට පිළිබඳව ඇති අතෘප්තිකර බවට මූලික සාධකය වන්නේ තමන්ගේ සතුට අන් අය මතින් තීරණය කිරීමයි. තමාගේ ජීවිතය හා සම්බන්ධ විවිධ පාර්ශවයන් කෙරෙන් බොහෝ දෙනෙක් තමාගේ සතුට තීරණය කරයි. එය හුදෙක් හදවතින් දැනෙන හැඟීමක් නොව පිළිගන්නට අකමැති වුවද වේදනාත්මක විඳවීමකි.

    තදට වැසි වැටෙනා හෝරාවක ඔබට අවශ්‍ය වන්නේ පොතක් කියවමින් කෝපි කෝප්පයක් පානය කිරීමට නම් නොපමාව එය සිදු කරන්න. ඒ හැඟීම වනාහි ඔබව සතුටට පත් කරන්නාවූ උත්තේජකයයි. ඔබ කැමති කෝපි පානය කිරීමට වුවද සහකරුවා හෝ සහකාරිය කියන්නේ ඔබ තේ පානය කළ යුතුයි කියා නම් එම කාලකණ්ණි විඳවීමට ඔබේ ආත්මය හසු නොකරන්න. තමාට සතුට ලැබෙන්නේ තමන් කරනා කියනා දෙයින් පමණකි. හිතේ සැනසිල්ල පතා ඔබ ත්‍රස්තවාදියෙක් නොවන්නේ නම් ඔබේ සතුටේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද නොවන්න.

    සතුටින් කල් ගෙවීමට තරම් හිත එකඟ කර ගත නොහැකි අනෙක් කාරණය වන්නේ තමාගේ කැමැත්ත පිළිබඳව අන් අයගේ විනිශ්චයන් මේ ආකාර වේ යැයි සිතා එය නොකර සිටීමයි. වටේ පිටේ සිටිනා උන් කියනා කවි කතන්දර ඔබට ඉඩක් ලැබුණු විටක ඔබේ අරමුණු ඉටු කරගත් පසු ලස්සන මෙලඩියක් දමා ගායනා කරන්න. හතර අතට කේලම් කීමට නැවෙනා දිවක් හොඳක් දුටු විට කොහොමත් ඇට්ටරය. තමාගේ කැමැත්ත ඉටු කරගත් පසු ලැබෙනා ආත්ම තෘප්තිය මුදලට මිලදී ගත නොහැකිය. එය එසේ බුක්ති විඳීමට නම් සියල්ලටම පෙර නිදහස් චින්තනයක් ඇති අයෙකු විය යුතුමය. කාගෙවත් කීමකට තමාගේ සතුට පසෙකට දමා ජීවිතය විඳවන්නෙක් නොවන්න.

    බොහෝ දෙනෙක්ට මේ ඉරණම අත්වන්නේ විවාහය හෝ ඊට මෙහා ඇති ආදර සම්බන්ධතාවයක් ආරම්භ කළ පසුවයි. එවැනි සබඳතාවයක් තුළ අනෙකා ගැන සිතිය යුතු නමුදු තමාගේ ආත්ම තෘප්තිය ඔවුන් මත රඳා නොපැවතිය යුතුය. ඇය කැමති දේට මම කැමති වීම යනු ආදරය නොවන අතර බලකිරීමකින් තොරව අනෙකාගේ නිදහස ආරක්ෂා කරමින් වෙනස් දේ බෙදාහදාගෙන හිතේ සතුටින් ජීවත් වීම ආදරය නම් වේ. එය හුස්ම නවතින තෙක්ම හිතේ සැනසීම පමණක්ම ඉතිරි කරාවි. ඉතිං ඔබේ සතුට තිබෙන්නේ ඔබ තුළමයි. ඔබ ගන්නා තීරණ ඔබ සිටින්නේ සැබැවින්ම සතුටින් ද යන වග තීරණය කරාවි.

     

     

    කේ.ජී.කේ.

    හර්ෂමාලී වීරරත්න

    කැලණිය විශ්වවිද්‍යාලය

    ජනසන්නිවේදන

    අධ්‍යනාංශය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here