හෝමාගම පොලිසිය අවුරුදු 10ක් හොරෙන් වතුර අරන්

0
48

හෝමාගම පොලිස් ස්ථානය වසර 10ක් තිස්සේ නීතිවිරෝධි ලෙස නළ ජලය ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 15ක් බව එම මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරියෙක් දිනමිණට පැවසීය.  ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකය විසින් පෙරේදා (07) සවස කළ වැටලීමකදී මේ බව අනාවරණය වී ඇත.

එම ඒකකයට ලැබුණු තොරතුරක් අනුව එහි ගොස් කළ වැටලීමකදී හෝමාගම පොලිසිය මෙසේ නීතිවිරෝධී අයුරින් නළ ජලය සපයා ගත් නළ මාර්ගය හසුවී තිබෙන අතර හෝමාගම පොලිසියට තිබූ ජල සැපයුම් සම්බන්ධතා හතරෙන් තුනක් විසන්ධි කර තිබූ බවත් එසේ විසන්ධි කරන ලද නළ මාර්ගයක් ඔස්සේ ඔවුන් වංචනික ලෙස ජලය ගෙන ඇති බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකය පවසයි.

හෝමාගම පොලිසිය විසින් කාලයක් තිස්සේ කළ මේ ජල වංචාව නිසා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 15කටත් වැඩි බව එහි නිලධාරියෙක් කියා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉහළ නිලධාරියකු දිනමිණ කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය.

හෝමාගම පොලිසියේ වසර 11කට පමණ ඉහත විසන්ධි කරන ලද ජල සම්බන්ධතාවයකින් ජලය ලැබී ඇති බව නොදැන සිටියේ යැයි පොලිසියේ ඉහළ නිලධාරියකු මේ සම්බන්ධයෙන් “දිනමිණ“ කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය.

පොලිසියේ ජල ටැංකියට විසන්ධි කළ මාර්ගයකින් ජලය ගොස් ඇති බව කියා සිටි ඒ ප්‍රකාශකයා ඒ බව දැන ගත්තේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කළ විමර්ශනයේ දී බවද කීවේය.

ජල නළ එලා තිබෙන්නේ අඩි 10ක් පමණ ගැඹුරින් ජල මීටරයට පිටුපසින් යන ජල මාර්ගකින්ද ජල ටැංකියට ජලය ගොස් තිබෙනවා. ඒ ජල මාර්ගය විසන්ධි කර තිබූ මාර්ගයකින්. ඒ බව පොලිසියේ සේවකයන් දැන සිට නැහැ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා යැයිද ඒ මහතා කියා සිටියේය.

 

සුභාෂිණී සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here