2021 යෞවනයේ ඩයරිය

    0
    28

     

    ජනවාරි 02

    අද අලුත් අවුරුද්දෙ දෙවැනි දවස. ගිය අවුරුද්ද කියන්නේ ගොඩක් පසු තැවීම් සිත් රිදීම් ඇතිවුණ අවුරුද්දක්. හැමෝගෙම ජීවිතවලට ගිය අවුරුද්ද එක් කරේ අපහසුවක්. ආරෝග්‍ය පරමා ලාභා කියන එක තනි තනි පුද්ගලයන් විදියටත්, රටක් විදියටත් හොඳටම තේරුම් කරවපු කාලයක්. ඒ නිසාම මේ අවුරුද්දේ අපි කාගෙත් ප්‍රාර්ථනාව නීරෝගීව ඉන්න එක. මුහුණපාන්න වෙන බාධක හමුවේ නොසැලී ඉන්න එක.

     

    ජනවාරි 03

    අලුත් අවුරුද්දේ පළවැනි ඉරිදා දවසේ හා හා පුරා කියලා ෆිල්ම් එකක් බැලුවා. මලයාලම් සිනමාව කියන්නේ උමතුවක්. පෘථිවිරාජ් සුකුමාරන් මං ආසම නළුවෙක්. එයාගෙ අයියප්පනුම් කෝෂියුම් කියන ෆිල්ම් එක බැලුවා. වෙනස්ම කතාවක්. හරිම සරලයි. ඒ උනාට මනුෂ්‍ය ස්වභාවය ගැන වටින කතාවක් කියනවා. ඒ ඔක්කොමත් එක්ක ෆිල්ම් එක පුරා තැනින් තැන ඇහෙන මියුසික් එකට නැටවෙනවා. ඒක මරු.

     

    ජනවාරි 04

    අද පන්සල් ගියා. බෝධි පූජාවක් තියන්න. පන්සලකට ගියාම මල්වල සුවඳ, හදුන්කූරු සුවඳ එකතු වෙලා එන සුවද හරිම පහන් හැගීමක් ඇතිකරනවා. බෝධියේ බෝපත්වල වැදිලා එන සුළඟ ගතට වගේම හිතටත් දනවන්නේ සනීපයක්. මේ ඔක්කොම එකතු වෙලා හිත සන්සුන් කරනවා. ගිනියම් වෙලා තියෙන හිතක් වුණත් පන්සලකට ගියාම මොහොතකින් නිවෙන එක හරිම පුදුමයි.

     

    ජනවාරි 05

    අද ලස්සන දවසක්. හීන කියන්නේ හැබෑ කරගන්න ඕනෑ දෙයක්. මේ මොහොතෙදි අපි කරන දෙයක්, අපි ආසම මතකයක් විදියට හිතේ ගබඩා වෙනවා. පස්සෙ කාලෙක ආයෙමත් ඒ දේ විදින එකත් හීනයක් වෙන්න පුළුවන්. ඒ නිසා හැම මොහොතක්ම ආදරෙන් විඳගන්න. ලස්සන මතකයක් වෙලා හිතේ රැඳෙන විදියට. ආයෙම විඳගන්න හිතෙන හීනයක් වෙන තරමට.

     

    ජනවාරි 06

    දවසේ එක එක වෙලාවන්වලදි එක එක චරිත රඟපාන මිනිස්සු තමන්ගෙ ඇත්තම ස්වරූපය දිග හරින්නේ තමන්ගේ කාමරය ඇතුළෙ. ඇත්තම මනුස්සයා ඉන්නෙ එතන. මගේ කාමරය කියන්නේ මට මං වෙන්න පුළුවන් තැන. මගේ යාළුවෙක්ට කියලා ඇඳගත්ත ලස්සන වෝල් ආර්ට් එකක්. මං ආසම විදියෙ ලියන මේසයක්. පොත් රාක්කයක්. රෑට වාඩිවෙලා පාර බලන් ඉන්න බැල්කනියක්. තව මං ආසයි බිත්තියේ පොඩි බල්බ් වැලක් එල්ලන්න. ගෙදර මිනිස්සු කියන්නේ මට පිස්සු කියලා. ඒ වෙලාවට ඉතිං මං කියන්නේ ඔයාල අහලා නැද්ද ” විශිෂ්ට මනසක් තියෙන අයට පොඩි හරි පිස්සුවක් තියෙනවා කියලා අර කවුද කියලා තියෙනවානේ.” කියලා

     

    ජනවාරි 07

    මේ අවුරුද්ද ගිය අවුරුද්ද වාගෙ නොවන්න කියලා ටිකක් වැදගත් විදියට මේ අවුරුද්ද ගෙවන්න හිතුවා. භෞතිකව විතරක් නෙවෙයි මානසික සුවය ගැනත් හිතලා අලුතින් දෙයක් ඉගෙන ගන්න ගමන් අලුතින් දෙයක් කරන්න පටන් ගන්න ඕන.

     

    ජනවාරි 08

    අපි එදිනෙදා ඇසුරු කරන අපිට මුණගැහෙන මිනිස්සුන්ගේ ගති ස්වභාවයන් එකිනෙකට වෙනස් වුණත් අපි ළගින් ඇසුරු කරන්න ඕන අපිට සමාන අදහස් තියෙන අය හෝ අපිට වඩා හොද ආකල්ප තියෙන මිනිස්සු. එතකොට අපේ හිත් කිලිටි වෙන එක අඩු වෙනවා. අනිත් එක එහෙම සත්ජන ඇසුර ලබන එක මානසික සුවයට ගොඩක් වැදගත් වෙනවා. මේ අවුරුද්ද එවන් සත්ජන ඇසුර ලැබෙන අවුරුද්දක්ම වේවා.!

     

    කුශාන්ති අනුරාධා බණ්ඩාර

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here