ගරුත්වයක් ලැබීමට නම්

    0
    37

    ඕනෑම පුද්ගලයකු ලබන්න කැමති ලබා ගන්න පොර බදන දෙයකි ගරුත්වය. ඔව් අප ඕනෑම කෙනකු බොහෝ සේ ප්‍රිය කරන නම්බු නාම ඇත. කුඩා මහලු ඕනෑම අයකු මේ දෙය ලබන්න වගේම ලබා දෙන්නත් හොඳින් පුරුදු විය යුතුයි. මුලිකම තැනින් පටන් ගතහොත් අනිවාර්යෙන්ම අප ඕනෑම කෙනකු හුරු විය යුතුමයි තමන්ටම ගරු කිරීමට. තමන් සිටිනා තත්ත්වය කුමක් වුවත් වෙනත් අයකු තමන්ට ගරු කිරීමට අපේක්ෂා කිරීමට ප්‍රථමයෙන් තමන් තමන් සිටිනා තත්වයට ගරු කළ යුතුයි. එසේ නොහැකි නම් තමාටවත් තමන්ට ගරු කිරීමට හැකි තත්ත්වයක් දක්වා දියුණු වීමට අදිටන් කළ යුතුයි.

    අප පුරුදු විය යුතුයි ලොකු දෙයට නොව අපට වටිනාකම් දෙන දෙයට ගරු කිරීමට. අප කරන කියන කුමක් වුවත් එයින් අපට උපකාරයක් නම් වන්නේ එයට ගරු කල යුතුමය.

    කතුවරයකු වේවා, ගුරුවරයකු වේවා, අත් උදවුකරුවකු වේවා, ධීවරයකු වේවා, වඩුවකු හෝ වේවා තමන් සිටින තැනට තමන් කරන දෙයට ගරු කිරීම ඉතා වටිනා ලක්ෂණයකි. ගරුත්වයක් ලැබීමට අප යම් මට්ටමක සිටිය යුතු බව ඇත්ත. නමුත් ගරුත්වයක් දීමට එය කිසිසේත් බලපාන්නේ නැත. සම්ප්‍රදායක් ලෙස ඕනෑම අයකුගේ සිත තුළ ඇති දෙයකි වැඩිහිටියන්ට ගරු කිරීම. එය යහපත් පුරුද්දකි. ඔව්, නමුත් ඊට එහා ගිය සම්ප්‍රදායකට පිය නගන්නට කාලය එළඹී ඇත. ගරු කල යුත්තේ වැඩිහිටියන්ට පමණද? අපට වඩා බාල කෙනකු හට ගරු කිරීම වරදක්ද? නැතහොත් මදි පාඩු කමක්ද? විවිධ මතිමතාන්තර මතු විය හැක.

    මොහොතකට සිතා බැලුව හොත් අපට වඩා බාල අයෙකු නොසලකා හරිනවට වඩා, ගරුත්වයක් යම් අයකුට පිරිනැමුවහොත් ඔවුන්ගේ සිත් මොන තරම් ප්‍රීතියෙන් ඉපිල යාවිද? පෙරළා ඔවුන් අපට කොපමණ ගරුත්වයක් දක්වාවිද? වෙන අයෙකු හෝ එහි ප්‍රතිලාභය කුමක් හෝ අයුරකින් අත් කරගත හැකිය.

    කෙනකුට ගරු කරන්නේ කෙසේද යන වග කා හට හෝ ප්‍රශ්නාර්ථයක් ලෙස මතු වනවා නම් ඒ සදහා නම් ඇත්තේ සරල පිළිතුරකි. අන් අය තමන්ට සලකනවාට කැමති අයුරින් තමන්ද අන් අයට සැලකීම ගරුත්වයයි. ගරුත්වය යනු ඉතා ප්‍රසිද්ධ, කුඩා කල සිටම අප හොදින් දන්නා වචනයක් වුවද තවමත් එහි නියම අරුත නොදත් අය බොහෝය. ගරුත්වය ලබන්නත්, ගරුත්වය ලබාදෙන්නත්, හරි හැටි අවබෝධයක් තිබුණද එහි නියම වටිනාකම නොදන්නා අය බොහෝය.

    සමාජයට ගරු කිරීමට අප පුරුදු විය යුතුය. තමන් ඉන්නා රටට තමන් භාවිතා කරනා භාෂාවට තමන්ගේම දෙයට ගරු කිරීමට අප ප්‍රථමයෙන්ම පුරුදු විය යුතුයි. තරාතිරම් නොබලා හමුවන සෑම අයකුටම සුදුසු ගරුත්වය ලොබ කම් නොමැතිව පුද කරමු. දිනක සොබාදහම විසින් ඔබට ලැබිය යුතු ගරුත්වය සුදුසුම අයුරින් ඔබට පිරිනමනු නියතය.

     

     

     ඩිල්කි දම්බරගේ

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here