නැවතුණ හදවත පණගන්වන ඩිල්ශාන්

    0
    37

    ඩිල්ෂාන් අබේවර්ධන කියන්නේ නව නිර්මාණ රැසක් ලොවට හඳුන්වාදෙමින් ශ්‍රි ලාංකේය  නාමය ජගත් තලය දක්වා රැගෙන ගිය තරුණයෙකි. අම්මයි, තාත්තයි එක්ක ඩිල්ෂාන්ගේ පදිංචිය මීගමුවේ. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ අකුරු කරපු ඩිල්ෂාන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකි.

     

     

    ඩිල්ෂාන් විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම් අතර වඩාත්ම සුවිශේෂී නිර්මාණය වන්නේ පපු තෙරපුම් යන්ත්‍රය. (Don’S MCPR). ඕනෑම රෝගී අවස්ථාවකදී  රෝගීයාගේ හදවත නතර වූ විට මසාජ් එකක් මගින් නැවත හදවත පණ ගන්වන්නට නිර්මාණය කරන ලද යන්ත්‍රයක් ලෙස එය හඳුන්වාදෙන්න පුළුවන්. ඒ වගේම ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසුවේ මෙම යන්ත්‍රය ඉදිරියේදී සායනික  කටයුතු සඳහා ලංකාව තුළ යොදාගන්නට සිටින බවයි. එලෙසම විදේශීය වශයෙන් අපනයන කටයුතුවලට සූදානම් කර ඇති බවත් පැවසුවා. මීට අමතරව පවතින කෘෂිකර්මික විප්ලවය බලගැන්වීමට ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ බීජ වැපුරුම් යන්ත්‍රයක්ද ජපානය හා එක්ව light එකක්ද නිර්මාණය කර ඇති බව දැනගන්නට ලැබුණා.

    ඒ වගේම වත්මන් යොවුන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වෙන්නෙත් ඩිල්ෂාන්. 2020,2021 යන වසර සදහා එංගලන්තයේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඩිල්ෂාන්ට මේ වන විට අවස්ථාව ලැබිලා ති‍ෙයන බව ඔහු සතුටින් මතක්කලා. එහිදී රටවල් 54ක තරුණ තරුණියන් 108 දෙනා අතරේ පැවති ඡන්දයකින් ජයග්‍රහණය කර එම පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අමාත්‍ය වරයා බවට පත්වන්නට ඩිල්ෂාන්ට හැකියාව ලැබෙනවා.

    ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ පාර්ලිමේන්තුවේ අගමැති, විපක්ෂ නායක, සෞඛ්‍ය ඇමති, ආර්ථික කටයුතු ඇමති හා සමාජීය කටයුතු ඇමති යන ප්‍රධාන පුටු 5  අතරට තේරී පත්වුණු ප්‍රථම ශ්‍රී ලාංකික තරුණයා බවට ඩිල්ෂාන් පත් වෙනවා.

    මීට අමතරව ඩිල්ෂාන් කියන්නේ සංගීත අංශයෙන් උපන් හපන්කම් පෙන්වූ දක්ෂයෙක්. ආර්ථික  කටයුතු, සමාජීය කටයුතු  හා දේශපාලන කටයුතු වලට අමතරව ඔහුගේ සංගීත හැකියාව පිළිබඳව ඔහු මෙන්න මෙහෙම කිව්වා.

    “මියුසික් ගැන කියනවා නම් මට සංගීත භාණ්ඩ 30 ක් විතර එකතු කරපු music room එකක් තියනවා. මට ඒ 30 ම වාදනය කරන්නත් පුළුවන්. ඒ වගේම 2013/2014 වසර වලදී ලංකාවේ වේගවත් වයලීන් වාදකයා බවට මං පත්වුණා. music වලින් මට විශාරද 1st class ඩිග්‍රි එකක් සහ ඩිප්ලෝමා  ගණනාවක් තියනවා.”

     

    ඩිල්ෂාන් විසින් නිර්මාණය කරන ලද පපු තෙරපුම් යන්ත්‍රය

     

    ඒ වගේම ඩිල්ෂාන් 2013 සිට මේ දක්වාම වෛද්‍ය හා ඉංජිනේරු පීඨය වෙත දරුවන් විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාල වරම් හිමි කරදුන් රසායනික විද්‍යා ගුරුවරයෙක් වශයෙනුත්  අපිට හදුන්වන්න පුළුවන්. ඊට සමගාමීව ‘රසායනික විද්‍යාව’නමින් පොතක් ඔහු විසින් රචනා කර ඇති බව දැනගන්නට ලැබුණා.

    මේ දක්වා  ජයග්‍රහණය හා කැපකිරීම් රාශියක් මැද ගෙවෙන ඩිල්ශාන්  ගේ ගමන තුළ ඔහුට ශක්තියක් වූ පිරිසට ස්තූති කරන්නත් ඩිල්ශාන්  අමතක කලේ නෑ. ඉතින් ඒ අතරින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, සෞඛ්‍ය  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,  චන්න ජයසුමන, මෙරින් ගුණරත්න, මහාචාර්ය වජිර දිසානායක, සිසිර ලියනවත්ත සහ දීපා ඩයස් යන ගුරුවරුන්ටද ඔහුගේ මව්පියන්ටද හදවතින්ම ස්තූති වන්ත වෙන බව පැවසුවා.

    ඩිල්ෂාන්ගේ අනාගත බලාපොරොත්තුව  වෛද්‍ය අංශය හා ජෛවීය උපකරණ යන අංශ යටතේ ඉදිරියේදී පැමිණෙන නවතම විෂය  පථය යටතේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයකු වශයෙන් ලංකාව තුළ හෝ විදේශීයව සේවය කිරීමයි. ඒ වගේම අනාගත තාරුණ්‍යයට ඩිල්ෂාන් ගෙන් ලැබුණු පණිවිඩය තමයි උගත් දේ කිසිවිටක සොරකම් කළ නොහැකි නිසා තරුණයකු තරුණ අවධියේ දී ඉගෙනගත යුතු බවත් ඉන් අනතුරුව ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සදහා නිවැරදි දැක්මක් හදාගතයුතු බවත්  ඒ මඟින් සාර්ථක තරුණයකු බවට පත්විය හැකි බවයි.

    මේ දිනවලදී නව නිර්මාණ කිහිපයක අත් හදා බැලීම්ද, අමාත්‍යාංශ ගණනාවක් සහ තරුණ සේවා  සභාව සමග ව්‍යාපෘති කිහිපයක් සමගින් කාර්යබහුල බව ඩිල්ෂාන් අවසාන වශයෙන් පැවසුවා.ඉතින් එහෙනම් ඩිල්ෂාන් ගේ සියලු කටයුතු වලට ‘යොවුන් ජනතා’ අපෙන් සුභාශිංසන.

     

     කවි විජේසූරිය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here