හරි පාරෙ නොගියොත් අතරමං වෙන්නේ අපිමයි

    0
    48

    ජීවිතේ හරි සරල විදිහට ගෙවුණා. හැබැයි අද ඊයෙ නම් නෙවෙයි. අදට අවුරුදු දහස් ගාණකට කලින්. දැන් අපි නවීකරනය වෙලා. අපෙ වචනෙන් කීවොත් නැට්ට හැලිලා පොෂ් වෙලා. මේ කියන නැට්ට හැලුණ ගමන් අපි අපේ සරලකමෙන් ඈත් වුණා. කන්න අඳින්න ජීවත් වෙන්න තිබුණ සීමිත අවශ්‍යතාව අසීමිත ආශාවන් බවට පත් වුණා. ආදි මුතුන් මිත්තන් සරලව සතුටින් හිටපු ජීවිතේ දැන් කාලෙ ජීවත් වෙන හැම ප්‍රාණියෙකුටම හීන වලට විතරක් සීමා වෙලා.

    පොඩ්ඩකට නතරවෙන්න…ඉන්න තැනම පහසු විදිහකට වාඩි වෙලා මේ පුන්චි දේ කරලා බලන්න.  හිතන්න ඔයා අතරමං වෙනවනම් කොහෙහරි ඒ අතරමං වෙන්න කැමති තැන හෝ දෙය මොකක්ද කියලා.

    දැන් අපි හැමෝම අපි කැමතිම තැන තමයි ඉස්සර වෙලාම අතරමං වෙන්නෙ. ගොඩක් අය අතරමං වෙන්න ඇත්තෙ තමන්ගෙ කැමතිම හීන වල නැත්නම් තමන්ගෙ අනාගතෙ. අනාගෙතේ ගැන තියන හීන අස්සෙ අතරමං වුණ අයත් නැත්තෙ නෑ. තවත් අය කැමතිම පොතක, තමන් කැමතිම චිත්‍රපටයක අතරමං වෙන්නත් පුළුවන්.  

    නතර වුණ එකේ තව තත්පරයක් අරන් මේ ටිකත් කියවන්න. ඇත්තටම අද අපි කොරෝනා නිසා අතරමං නේද? මේක මේ විදිහට තිබුණෙ නැතත් අපි අපේ බැඳීම් ඇතුළෙ අතරමං වෙලා නේද? සමහර  අය තමන්ගෙ රැකියාවෙ, තවත් අය අතීතෙ, විභාග ඇතුළෙ අතරමං වෙලා. ඒ අස්සෙ පාරවල්වල, කෝච්චියෙ, තමන්ගෙ ගෙදර, ජංගම දුරකතනවලත් අතරමං වුණ අය නැත්තෙමත් නැහැ. සමහර අයට මේ අතරමං වීම් එකක් නෙවෙයි දෙක තුනක්ම ඇති.

    දැන් බලන්න තම තමන් මේක කියවනකොට අතරමං වුණේ කොතැනද කියලා. අතරමං වීම කියන දේ ඇතුළෙ අතරමං වෙන්න දෙයක් හිතා ගන්න බැරි තරම් දැන් හැමෝම අතරමං වෙලා. තමන් වටේ ජීවත් වෙන හැමෝම දිහා හොඳට බලන්න. ඒ හැමෝමත් මොන මොනවගේ හැරි අතරමං වෙලා නේද?.

    මේ විදිහට අපි අතරමං වෙන තැන් අපේ ජීවිත වලට හොඳ විදිහටත් නරක විදිහටත් කියන දෙවිදිහටම බලපානවා. කලාකරුවෙක් කියන්නෙ තමන්ගෙ මනෝපාරක් ඇතුළෙ අතරමං වුණ කෙනෙක්, ව්‍යාපාරිකයෙක් කියන්නෙ තමන්ගෙ ව්‍යාපාර තුළ අතරමං වුණ කෙනෙක්. මේ අය අතරමං වීම් ජීවිතේ ජයග්‍රහණය කරා යන්න පාරක් කර ගත් අය. තවත් අය අතරමං වීම ජීවිතේ විනාශය කරා යන්න මාවතක් කර ගන්නවා. මත්ද්‍රව්‍ය, බිඳුණු ආදරය, බිඳුණු විශ්වාසය කියන්නෙ ඒවගේ අහිතකර අතරමං වීම්.

    ඉතින්, අපි අතරමං වුණ තැනින් ජීවිතේ ඉස්සරහට අරන් යන්නෙ කොහොමද කියලා දැන් හිතන්න. මෙය මූලාරම්භයක් පමණයි. විද්‍යාව තුළ  999 වතාවක් අතරමං වුණ එඩිසන්ට ඒ අතරමං වීම බල්බයක් විදිහට එළියක් ගෙනාවා. මාවත තෝරා ගැනීම අප සතුයි. එසේනම් අප තව දුරටත් අතරමග අතරමං විය යුතුද?.

     

    නිලක්ෂි විජේසුන්දර 

    කැලණිය විශ්වවිද්‍යාලය

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here