හිමිදිරි පෙදෙස

    0
    38

    නන්දා

     

    මැණිකේ ලිපේ බත ඉදෙනා      වෙලාවේ

    හනිකේ දිව එන්නෙ කෝමට  මූකලානේ 

    කලු වේ අහස වැහි බිම තියනා මුලාවේ 

    පිරුණේ හිතම ඇම දුන් ඔය     හිනාවේ

     

    ගතේ රුව වසා සේලය          ඔතාපන්

    කවුළු කුමට තද කර දොර     වසාපන්

    පාන වතුර තඩි කොරහට    පෙරාපන්

    පෑල දොරින් එන එකාට විසි  කරාපන්

     

    හේනට මැදින් මුදුන්ම ගහෙ පැල බැන්දා

    උරුවම් බාන හිවලුන් ගේ වට කැරකෙන හින්දා

    මල්වර හිතට තාමත් හුරු නැති  හින්දා

    රැය නැති පැලට දවාල එළි වැඩි වේවිද  මන්දා

     

    මදුරන් තියන බටනළාවෙ ගී             අස්සේ

    නුඹේ ලතාවට මගේ පපුවම            ඇවිලේ

    කොවුලත් බිජු දමයි කපුටා නැති වෙලාවේ

    ඒකයි ආවේ නොකියම මේ           වෙලාවේ

     

    කවියට ඇමිණුවේ නුඹෙ සුවඳයි    හංගා

    පාලු මකන්නට කිරි සුවඳක් ගෙට කැන්දා

    සිහිනෙන් දුටුව නයි පැටවකු           හින්දා

    ඩිංගට වුණත් හිත ගැස්සෙනවා     නන්දා

       

    ශශී විජේරත්න

     

     

    තීන්දුව

     

    උසාවියෙ නඩු තීන්දුව මත

    සිපිරි ගෙට නුඹ උරුම කෙරුණී

    බරපතළ වැඩ නුඹේ කර මත

    වැටෙන දුටු මට හොරෙන් හැඬුණී

     

    කිරි වේල මඟ නොහැරමින් නුඹ

    අම්මගේ තන පුඩුවෙ රැඳුනී

    බඩේ ගින්දර නොදැන සිටි නුඹ

    දරන් සිටිනා අයුරු දකිමී

     

    අනේ ජේලර් නෝනා කියලා

    අනෙක් උන් පස්සෙන් වැටෙද්දී

    නුඹ මගේ නැගණිය කියා මම

    නොකීවේ නුඹ ගැනම සිතිනී

     

    මහා රෑ මහ ලොක්කෙකුට නුඹ

    ඕනැ යැයි පණිවිඩය ලැබුණී

    නුඹට මාසේ ලෙඩේ හැදිලා

    කියා මා බිලි වුණා සොයුරී

     

    පන වගේ රැකි පතිනි සළු තිර

    ඔහුට පවරා සිනාසුනෙමී

    කඳුළු බිඳුවක් සමඟ පතිදම්

    රක්ත පැහැයෙන් කඩා හැලුනී

     

    දැන් ඉතින් මට නුඹ හැරුණු කොට

    මොනව රැක ගන්නට ද සිතුනී

    ආයෙ පණිවිඩ ලැබුණු විගසම

    නුඹ තියා මම යනවා නැගණී

     

    පියුමි ජයකලණි වික්‍රම ආරච්චි

     

     

     

    නිදිකුම්බා මලේ

     

    ගුරු පාර දිග මංතීරුවේ

    දසන් සගවන නිදි කුමරියේ

    නුබේ ලස්සන අරුමෝසමේ

    හැම නෙතම නෑ නිතර රැදුනේ

     

    පින්න පිණි දිය සලා  උදයම

    අනෙක් මල් හා යාව  පිපුණද

    නුඹට උපතින් නොලත්  උරුමය

    සුවද හා රත් පාට පෙනුමය.

     

    බඹර සැණකෙලි මැදින්  අන් අය

    මුකුළු පෑවද සලා  තොල් පට

    නාදුනන බැල්මකින්  නුබ වත

    එපිට බැලුවා රවා  මුහුණට

     

    යන එනා විට මග තොටේ   හැම

    නිදිකුම්බිගේ හරිම ලොකු  කම

    සමනලුන් හා යාව  බඹරු ද

    කියනු ඇසුනා ඔච්චමට  ගෙන

     

    ගණන් නොගෙන ම උන්ගෙ   රළු බස

    තමන් මතයේ පිහිටමින්  සද

    නිදිකුම්බියේ නුඹේ   තේජස

    කියා දීපන් කෙලි ළදුන්  හට

     

    අමාදි සංජනා දසනායක

     

     

     

     

     

    වරදට දෙනු සමා 

     

    රූ සිරින් අග පත්

    උගත් හා ගුනවත්

    දියණියක් හට පෙම්

    සොයන්නේ කුමරෙක්..

     

    හිරුට මග හැරුන මොහොතක 

    සදේ ඇස් මායිමෙන් පැන ගිය

    අමාවක රෑ අදුරු කලුවක

    අතරමං විය රුදුරු පියසෙක

    වරදට දෙනු සමා

    ඇයට නොව මට 

    ඇගෙ මවයි මම …..

     

    සෝදලා ගෙට ගත්

    එකම පුතු නැණවත් 

    කුමරියක් උගත් රූමත්

    චරිතවත් මෙන්ම ගුණවත්

    සොයන්නේ තව මවක්

    යසයි දෑවැදි ඇතිවත්……

     

    සඳ වැසුන මොහොතක

    තණපත් පළසෙ සුව දුන

    සාවියගේ ගැහුන හද

    ළයට දැනුනාද පුත

    වරදට දෙනු සමා

    ඇයට නොව මට

    ඇගෙ මවයි මම ….

     

    ඉරාණි නිල්මිණී අබේකෝන්

     

     

    ආදණීය බිරිය

     

    සැදෑ නිදි  නොවැද

    විදී දුක් දවස

    රැකූ හැටි මහද

    සදා පිං නුඹට

     

    වසා වත  කමළ

    පියා නෙතු සඟල

    හඩා විලි බරට

    ලබා දුනි මැණික

     

    සිතා ගත නොහැක

    දරා ගත් ගින්න

    පවින් පිරි මසිත

    අයැද ඉමි අභය

     

    ගෙවී යන අරුම

    පෙමින් බැඳි සමය

    රැදී ඉනු මසිත

    දිරා යන තෙක්ම

     

    හර්ෂ කීරවැල්ල

     

     

     

    මී ගහේ අත්තක

     

    අද රෑත් අන්න

    සඳ බිඹු අඳිනව

    වැව් දියත් නිසසලව

    ඉඩහරිනව

    මීන නෙතුත් ඇහරවන්

    කුමුදුත් ඉපිළිලා….

     

    කුඹුක් ගස් සෙවණෙ

    බස්සොත් හරි අවදියෙන්…

    මී ගහේ අත්තක

    වවුලෙක් ඉඳල

    මේ දැන්

    දුරක ගියා.

     

    වජිර කුමාරසිංහ

     

     

     

     

    පාළු හිත

     

    සීතලයි කිව්වාම

    පායද්දී  හඳ…

    ගිනි ගොඩක් ගැහුවෙ ඇයි

    පපුව හරි මැද…

    පිණි කඳුළු එකතු කර

    හදන දිය බිඳ…

    තණ පතක අගට

    අයිතිය තියෙනවද…

     

    කඳුල ලඟ ආදරෙන් ලංවෙලා අස්වැසූ

    සුන්දර හැඟුම් හද තුල හෙමින් ඇවිස්සූ…

    අමතකව ගිහින් පාළු හිත ඔහේ හිස්වූ…

    වුවන වැනුවෙම හඳට වෙඩි තියපු

    මිනිස්සු…

     

    පුෂ්පශාන්ත සමරනායක

     

     

     

     

    යකඩ දෝලී

     

    රන් දෝලීයක් 

    නූනාට මන්ද

    රිදියෙන් තැනු 

    යහනක් කුමට

     

    පරසතු මදාරා 

    මල් අතුල

    මගෙ හිත් යහන 

    තනිකර නුඹට

     

    ලෙන්ගතුම පිරිමි හිත

    පිරිමදින ඔය දෑස

    එකම ඇහි පිල්ලමක්

    නොගසාම වසඟ කළ

     

    සියළු ගිනි කඳු නිවන

    සිසිල් දිය දහරාව

    පිරුණු පුන් කළස නුඹ

    මගේ ලොව සරු කරන

     

    කිරුළෙ බර දරන්නී

    කඳුල ගිල ගන්නී

    මුතු හිනා දෙන්නී

    මගෙ යකඩ දෝලී

     

    තුෂාරි ජයසිංහ 

    මහනුවර

     

     

     

     

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here