අපේ ආහාර කලාවෙන් නීරෝගි ජීවිතයක්

    0
    11

    අද වන විට ගෝලීය වසංගතයක්ව පවතින කොවිඩ්-19 හෙවත් කොරෝනා වයිරස ව්‍යාප්තිය චීනයේ වූහාන් නග⁣රයෙන් ඇරඹී සමස්ත ලෝක සී සියලු දෙනාට එක ලෙස බලපෑ ඛේදනීය තත්ත්වයක්. ⁣මෙම වසංගත තත්ත්වයට මුල් අවස්ථාවේ ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දුන්නත් එහි දෙවෙනි රැල්ල ඇති වී මාස කිහිපයක් ගත වූවත් දෛනිකව වාර්තා වන රෝගීන් හා මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීමක් සමාජය තුළ දක්නට ලැබෙනවා.

    විශේෂයෙන්ම ඇතැම් රෝගීන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම නිසාත්, දෛනික ක්‍රියාවලිය සාමාන්‍යකරණය වීම තුළ මේ රෝගය සමාජය තුළ ව්‍යාප්ත වීමේ ඉඩ කඩ ඉතා වේගයෙන් වර්ධනය වීම සිදුවෙනවා.

    ඒ නිසාම දැඩි සෞඛ්‍යමය නීතිරීතිවලට අනුගත වෙමින් පුද්ගල ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනයට අදාළ ක්‍රමවේද අනුගමනය වැදගත්.

    විශේෂයෙන් පුද්ගල ප්‍රතිශක්ති වර්ධනයට ආහාර පානවලින් ලැබෙන්නේ සුවිශේෂී දායකත්වයක්. එහිදී කෘත්‍රිම වර්ණක, රසකාරක නොයෙදූ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ඇතුළත් නොවූ ස්වභාවික දේශීය ආහාර පාන, ස්වාභාවික රසකාරක, දේශීය ආහාර සංස්කරණ විධීන් තුළ නිරෝගිතාවය රැක ගන්න පුළුවන්.

    විශේෂයෙන් අපේ රටේ පැරණි ආහාර සංස්කරණය සඳහා යොදා ගත් දේශීය කුළුබඩුවලින් පුද්ගල ප්‍රතිශක්තිකරණය වර්ධනය ලබා ගන්න පුළුවන්. උදාහරණ ලෙස ඉඟුරු, කොත්තමල්ලි, ගම්මිරිස්, සුදු ලූනු, කහ, කුරුඳු, කරපිංචා වැනි සෑම කුළුබඩුවකම ලෙඩ රෝග නැසීම වගේම ආහාර පානවලට ද ප්‍රණීත රසයක් එක් කරනවා.

    වෙළෙඳපොළෙන් මිල දී ගන්නා අජිනමොටෝ, සුප් කැට, කරි කුඩුවලින් ඈත්ව ස්වාභාවික රසකාරක, සුවඳකාරක භාවිතයට හුරුවීම වැදගත් අතර තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු ආදියේ නිෂ්පාදන වෙළෙඳප‍ළෙන් මිල දී ගැනීමට පුරුදු වූ ඔබට මේ කාලය තුළ නිවසේදීම එම රසකාරක සකසා ගැනීම තුළ මෙවැනි රෝගයන්ට ගොදුරු වීමේ අවදානම අඩු වෙනවා වගේම අතුරු වාසිත් ඒ හරහා ලැබෙනවා.

    රෝගාබාධ වලින් වැළකී සිටීමේ ක්‍රියාවලිය කලාවක් මෙන්ම විද්‍යාවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. උදෑසන අවදි වී ඔබ බොන වතුර වීදුරුවේ සිට නින්දට යන තෙක්‌ සිරුරට ඇතුළු කරගන්නා ආහාර පාන පිළිබඳ ඔබ මේ දිනවල විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

    සියලු පෝෂකවලින් සපිරි සමබල ආහාර වේල අපේ පැරන්නන්ගේ නිරෝගිභාවය රැක ගත්තා. ඒත් වර්තමාන කාර්යබහුලත්වයත් සමඟ මෙවැනි වටිනා දෑ ගිලිහීම තුළ බෝවන රෝග හා බෝ නොවන රෝග මිනිස් සිරුරට සංක්‍රමණය වීම බොහෝ සෙයින් ව්‍යාප්ත වුණා.

    අපේ දේශීය හත් මාලුව රෝග වළකන පෝෂණ ගුණයෙන් ඉහළ එවැනි සුවිශේෂ ආහාර සංස්කරණ ක්‍රමවේදයක්. එය නිතර අසන, දකින, රසවිදින හත්මාලුවට වඩා වෙනස් අතර ආහාර සංස්කරණ ක්‍රම හතක් ඇතුළත්. හොද්ද , ඇඹුල, නියඹලාව, ආනම, මැල්ලුම, දියමස්, ගොඩ මස්.

    පැරණියන් ආහාර ගැනීමට පෙර හෝ ආහාරය අතර හොද්දක් පානයට පුරුදුව සිටියා. උදාහරණ ලෙස කිරි හොද්ද, මිරිස් හොද්ද, තැම්බුම් හොද්ද, කායම් හොද්ද අදටත් යම් තරමක භාවිතයක් තිබෙනවා . විශේෂයෙන්ම උණ, උදරාබාධ වළකන, ආහාර රුචිය වඩවන තැම්බුම් හොද්ද, සූදුරු, කොත්තමල්ලි, ගම්මිරිස්, රතු ලූනු, සුදු ලූනු, කුරුඳු පොතු, උළුහාල්, කරපිංචා, ගොරකා, ලුණු ඇතුළත්ව සකසන අතර දුර්වල වූවන්ගේද ප්‍රතිශක්තිය වඩවන, අද පැතිරෙන වයිරස්, වසංගත තත්ත්වවලින් මිදීමට දිව ඔසුවක්‌ බඳුයි.

    ඒ වගේම ගමේ කෑම කියා වෙන් කළ පොලොස්, කැකිරි, ඇඹරැල්ලා, කෙසෙල් මුව, තිබ්බටු වැනි දෑ වල ඇති ගුණ ඉතා විශිෂ්ටයි.

    පොළොස්, ඇඹරල්ලා, කැකිරි ආදිය පිසීමේදී එය සකස් කර ගන්නෙ ඇඹුල ලෙස.

    ගෙඩි එලවළු එනම් වට්ටක්කා, පිපිඤ්ඤා ආදිය පිසීමේදී පොල්, සහල්, ගම්මිරිස්, අබ, දුරු ආදිය සිහින්ව අඹරා සකසා ගන්නා ව්‍යංජනය නියඹලාව ලෙසත් මුං ඇට , කොල්ලු ආදී ධාන්‍යවල දල චූර්ණය ව්‍යංජන ලෙස සකසා ගැනීම ආනම ලෙසත් හඳුන්වනවා.

    පොල් මැල්ලුම, කොස්, ගැට කොස්, කෙසෙල් මුව, තිබ්බටු, පළා වර්ග මැල්ලුමක් ලෙස සකසා ගැනීම අදටත් දකින්න තියෙනවා.

    දඩයම් කර ගත් සතුන්ගේ මස් හා විවිධ හතු වර්ග ගොඩ මස් ලෙසත් කරදිය හා මිරිදිය මාළු වර්ග සැකසීම දිය මස් ලෙසත් හඳුන්වනවා.

    මේ ආහාර සංස්කරණ රටාව තුළ දේශීය රස කාරක, සුවද කාරක මනාව භාවිත කරමින් පෝෂණ ගුණය ආරක්ෂා වන පරිදි හා ආහාර රුචිය වඩන පරිදි සංස්කරණය කිරීම මඟින් රෝග ඇති වීම වළකා නිරෝගීකම වර්ධනයට උදව් දෙනවා.

    වස විසෙන් තොර දේශීය පාරම්පරික සහල්, නැවුම් එළවළු, අල වර්ග, පළා වර්ග, පලතුරු භාවිතයට හුරුවීම මේ කාලය තුළ පමණක් නොව සෑම කාලයකම වැදගත් අතර ඒවා තුළ ප්‍රතිඔක්සිකාරක ගුණ ඉහළ නිසා එයින් රෝග වළකා නිරෝගීව සිටීමට උපකාරී වෙනවා .

    විශේෂයෙන්ම අධික ලුණු භාවිතය වගේම සීනි වැඩිපුර ආහාරයට ගැනීම (මේ හරහා ඔබ ලබා ගන්නා බිස්කට්, පැණි බීම, පැණි රස තුළ අඩංගු සැඟවුණු සීනි ප්‍රමාණයන්ද සහිතව ) සීමා කළ යුතුයි. දිනකට වැඩිහිටි පුද්ගලයකු අයඩින් මිශ්‍ර ලුණු තේ හැඳි එකක් ද සැඟවුණු සීනි ප්‍රමාණ ඇතුළුව සීනි තේ හැඳි හයකට සීමා කළ යුතුයි. පිටි, තෙල් ප්‍රමාණය ද අවම කළ යුතුයි. එයින් බෝ නොවන රෝග සිරුර ආක්‍රමණය වැළකෙනවා. විශේෂයෙන් covid-19 සමඟ වාර්තා වූ මරණ සංඛ්‍යා ප්‍රමාණ අතර අංක එකට මෙම වයිරසය සමඟ බෝ නොවන රෝග නිසා අකාලයේ ජීවිත අහිමි වූවන් වාර්තා වීම ඉහළයි .

    ඔබේ දරුවා ද මෙතෙක් කෘත්‍රිම රසකාරක පැණි බීම පානයට හුරු වූවා නම් එයින් ඔවුන්ව මුදවා දේශීය පලතුරු, මල්, එළවළු යොදා වගේම ඖෂධීය පාන වර්ග සකසා දීම දෙමව්පිය ඔබේ වගකීමයි. උදාහරණ ලෙස වෙරළු, අඹ, පේර, දිවුල් , බෙලි, ලාවුළු, දොඩම්, ඇඹරැල්ලා වැනි පලතුරු කැකිරි, බීට් රූට්, කැරට්, වට්ටක්කා වැනි එළවළු, නිල් කටරොළු, පොකුරු වද මල් වැනි මල් වර්ග ඉරමුසු, නෙල්ලි, රසකිඳ, බෙලි මල්, කොත්තමල්ලි වැනි ඖෂධීය පාන වර්ග සීනි නොදා ස්වාභාවික රසයෙන් ලබා දීම කුඩා කල සිට හුරු කළ හොත් ඒ රසට දරුවා හුරු වෙනවා. එයින් නිරෝගිමත් ක්‍රියාශීලී දරු පරපුරක් ද රටට දායාද වෙනවා.

    මෙතෙක් කඩයප්පන් රසට හුරු වූ ඔබේ දිව, කට විදි සහල්, කුරක්කන්, මුංඇට, කඩල ආදී පිටිවලින් නිවසේදී පිරිසුදුව සැකසූ රොටි, ඉඳිආප්ප, ආප්ප, පිට්ට, අග්ගලා වැනි දෑ වලට හුරු වීම තුළ ඔබේ පසුම්බියටත් වාසියි. හේතුව ලෙඩ හැදී ඖෂධ ගන්න යන වියදම වගේම කඩයප්පන් ගන්න යන වියදමත් ඉතුරු වෙනවා වගේම මෙවැනි දෑ රස විදින ගමන් පවුලේ සතුට සමඟිය ද රැඳෙනවා.

    ඒ වගේම ලුණු කැඳ, කිරි කැඳ, බැදිහාල් කැඳ, පොරි කැඳ, ධාන්‍ය කැඳ, අල කැඳ, පිටි කැඳ වගේම ඖෂධීය කොළ කැඳ, ගොටුකොළ, මුකුණුවැන්න, මොනරකුඩුම්බිය, කරපිංචා, එළබටු වැනි කොළවලින් දේශීය සහල් ද යොදා සකසා උදෑසන පානය ඉතා යෝග්‍යයි. ඒ වගේම ඒවාට දමන අමතර ද්‍රව්‍ය රතු ලූනු, අමු ඉඟුරු, සුදු ලූනු හරහා සිරුරේ ප්‍රතිශක්තිකරණය ද වර්ධනය වෙනවා.

    ඒ වගේම ප්‍රතිශක්ති වර්ධනයට ඔබේ මානසික සමතුලිතතාවය ද වැදගත්. විශේෂයෙන්ම මේ අවධිය තුළ මානසික ආතතියට ලක් වී කාලය ගෙවීම සාමාන්‍ය වුවද ඔබේ කායික, මානසික සුවය මෙවැනි රෝගවලින් මිදීමට උපකාරී වෙනවා. ආහාර පාන සේම.

    ඒ සඳහා ව්‍යායාම, ක්‍රීඩා, යෝග, ආගමානුකූලව කාලය ගෙවීම, පිරිත්, පත පොතට යොමු වීම, තමාගේ ගෙවත්තේ ඖෂධ හා ආහාරයට සුදුසු වගාවන් කිරීම ආදිය තුළ සමතුලිත පුද්ගලයකු බවට නිරායාසයෙන් පත්වෙනවා. සුව නින්ද ද අතිශය වැදගත්. එය ප්‍රතිශක්ති වර්ධනයට ද උපකාර වෙනවා.

    මෙවැනි සමතුලිත ජීවන රටාව, යහපත් සෞඛ්‍ය පුරුදු, නිවැරදි ආහාර පාන තුළ සුවදායී නීරෝගී පුද්ගලයකු වීමට අවකාශය සැලසෙනවා.

     

    මහේෂානි මීගහපොළ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here