ඉන්දුනීසියා ගුවන් යානය කඩා වැටුණු තැන සොයා ගනී

0
10

ගමන් අරඹා විනාඩි හතරකින් කඩා වැටිලා

නැව් 10ක් පරීක්ෂණ කටයුතුවල

ජකර්තා අගනුවර සිට ගමන් ආරම්භ කර සුළු මොහොතකින් මුහුදට කඩා වැටුණු ඉන්දුනීසියාවේ බොයිං 737 වර්ගයේ ගුවන් යානය කඩා වැටුණු ස්ථානය සොයා ගත් බව එරට බලධාරීහු කියති. ශ්‍රී විජය එයාර් ගුවන් සේවයට අයත් මේ ගුවන් යානය මඟීන් 62ක් ද රැගෙන බටහිර කැලිමන්තන් ප්‍රාන්තයේ පොන්ටියනැක් දක්වා ගමනේ නිරත ව තිබියදී ගමන් අරඹා විනාඩි හතරක් ඇතුළත කඩා වැටී තිබේ.

ඉරිදා (10දා) වන විට එහි කළු පෙට්ටියෙන් යැයි සැකකෙරෙන තරංග හඳුනාගෙන තිබේ. නාවුක හමුදා කිමිදුම්කරුවන් රැගත් නෞකා 10ක් පමණ අනතුර සිදු වූ මුහුදු ප්‍රදේශයේ සෙවීමේ කටයුතු සඳහා සේවයේ යොදවා තිබේ. “අපට ස්ථාන දෙකකින් සංඥාවන් ලැබෙනවා. මේවා නැති වූ යානයේ කළු පෙට්ට්යෙන් යැයි සැක කරනවා” යැයි ඉන්දුනීසියාවේ මුදා ගැනීමේ නියෝජිතායතනයේ ප්‍රධානී බාගුස් පුරුහිතෝ කීවේය. මේ අතර එම යානයේ රෝදයක් ඇතුළු සුන්බුන් කොටස් යැයි විශ්වාස කෙරෙන හමු වී ඇති දේ පිළිබඳ විශ්ලේෂණයේ නිරත වන බව පරීක්ෂකයෝ පවසති. ජකර්තා පොලීසියේ ප්‍රකාශක යුස්රි යූනුස් පවසන්නේ ගමන් මළු දෙකක් හමු වී ඇති බවයි. එක් ගමන් මල්ලක මඟියකුගේ බඩු තිබී ඇති අතර අනිත් ගමන් මල්ලේ ශරීර කොටස් තිබූ බව ඔහු වැඩිදුරටත් කියයි. සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු ඉරිදා උදෑසන සිට අඛණ්ඩව සිදු කරගෙන යන බවත් පොලිස් ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය. සෙවීමේ කටයුතු සඳහා ගුවන් යානා 4ක් ද යොදවා තිබේ. මඟීන්ගේ ශරීර කොටස් සහ තවත් සුන්බුන් මුහුදු පතුලෙන් හමු වී යැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here