උඩබලා කෙළගසාගත් අටළුගම!

0
45

යුද්ධය මෙන්ම කොරෝනා නිසා එක හොඳක් සිදු වූවේය. ඒ රට්ටු කවදාවත් අසා නොතිබූ ගම් ප්‍රසිද්ධ වීමය. අටළුගමද එසේ කොරෝනාව නිසා රටුන් අතරේ ප්‍රසිද්ධ වූ ගමකි. මෙවර කොරෝනා රැල්ලේ පමණක් නොව මීට හත්අට මාසයකට කලින් ආ කොරෝනා පළමු රැල්ලේ දී ද අටළුගම රට පුරා දැඩි කතාබහට ලක් වූවේය. රටුන් අසා නොතිබුණද අටළුගම පාත්‍ර බිස්නස් කරන අය අතර නම් බොහෝ ප්‍රසිද්ධය. පාත්‍ර මිලදී ගත්තේ බෞද්ධයන්ය. මිලදී ගත් පාත්‍ර භික්ෂුන්ට පූජා කරන්නෙත් බෞද්ධයන්ය. බෞද්ධයන් පූජා කළ පාත්‍රවල දන් වළඳන්නේ බෞද්ධ භික්ෂුන්ය. ඒත් ලංකාවට පාත්‍ර බෙදන්නේ අටළුගමේ මුස්ලිම් ව්‍යාපාරිකයන් බව රටුන් නොදැන සිටින්නට ඇත. ඒත් දැන් අටළුගම ගැන කතා කරන්නේ එහි වැසියන් නිරෝධායන නීති පිළිපදින්නේ නැති බවට එල්ල වන චෝදනා නිසාය. පරිපාලනමය වශයෙන් අටළුගම ගම්මානය කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ය. අටළුගමට යන්නට පාරවල් හත අටක්ම ඇත්තේය. බණ්ඩාරගම නගරයේ සිට අටළුගම බස් එක ගන්නේ පානදුර රත්නපුර මහා පාරේ විදාගම හන්දියෙන් හැරී ඇලෝකියාවල පාරෙන්ය. බණ්ඩාරගම කළුතර ප්‍රධාන පාරෙන් ගල්තුඩේ හන්දියෙන් වමට හැරී ද අටළුගමට යන්නට ප්‍රධාන පාරක් ඇත්තේය.

මේ ගම එක් දිසාවකින් කළුගඟේ අතු ගංගාවකින් ද තවත් දිසාවකින් මනරම් කෙත්යායකින්ද වටවූ වර්ග කි.මී.4ක පමණ වපසරියකින් යුතු භුමිභාගයකි. 659 අටළුගම නැගෙනහිර, 659 ඒ අටලුගම බටහිර, 659 බී කොරාවල, 659 සී බමුණුමුල්ල මුස්ලිම්, 659 ඩී ගල්ගේමණ්ඩිය, 659 ඊ බෝගහවත්ත, 660 බමුණුමුල්ල සහ 660 ඒ එපිටමුල්ල වශයෙන් ග්‍රාමසේවා වසම් 08කි. මුස්ලිම් ජනතාව 95% ක් සහ සිංහල ජනතාව 5%ක් පමණ අටළුගමේ එපිටමුල්ල සහ බමුණුමුල්ල යන ග්‍රාමනිලධාරි වසම් දෙකේ මිශ්‍රව වෙසෙති. පවුල් 3941ක 15538ක ජනගහනයක් වෙසෙන අතර ලියාපදිංචි ඡන්දහිමියන් සංඛ්‍යාව 8550කි.

එදා රයිගම රාජධානිය බේරා ගැනීමට වීර අලකේෂ්වර සමග එකතුව කළ සටනට අටළුගම වැසියන් උරදුන් බව ද ගම්පොළ රාජධානියේ ඔටුන්න හිමි කුමරු වන වීරබාහු සමග වීර අලකේෂ්වර කළ සටනට යෙහියා නෙයිනා යන අයගේ සහයෝගය ලැබුණු බවට ද ජනවහරේ සඳහන්ය. රයිගම් බණ්ඩාරයන්ට සහයෝගය දී එම බළඇණියේ කටයුතු කළ මොවුන් පසුව 14000 ක සේනාවක් සමග විදිය බණ්ඩාර පාලින්ද නුවරට පැමිණ පෘතුගීසින්ට එරෙහි සටනට පණදුන් අවස්ථාවේ එම සටනට ද සහයෝගය දුන් බව සඳහන් වේ. ජයග්‍රහණයක් සැමරීම සඳහා ජයකොඩිය සිට වූ කඳු මුදුන ජයකොඩි කන්ද ලෙස නම් කර එම කඳු මුදුනේ අට්ටාල හදා සේනාව රැඳී සිට ඔත්තු බැලූ නිසාවෙන් අට්ටාල ගම අටළුගම යනුවෙන් ව්‍යවහාරයට එක්ව ඇතැයි සඳහන්ය.

පුරා විද්‍යා ගවේෂක මතුගම සෙනෙවිරුවන් සඳහන් කරන්නේ අටළුගම ජනතාව ඉස්ලාම් භක්තිකයන් වුවද ඔවුන් දකුණු ඉන්දීය දෙමළ සම්භවයකින් පැවත එන පිරිසක් බවත් පෘතුගීසින් ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ වෙළෙඳ ආධිපත්‍ය පතුරුවා ඇත්තේ මොවුන් බවත්ය. මෙම වෙළෙඳුන් පානදුර තොටමුණෙන් ලංකාවට ගොඩබැස රයිගම රාජධානියට පැමිණි අතර එයින් පිරිසක් අටළුගම ජනාවාස කරගත් බවද ඔහුගේ මතයයි.

අටළුගම ආර්ථිකය රැඳී පවතින්නේ ව්‍යාපාර සහ එදිනෙදා කුලියකට සේවා සපයන්නන් මතය. ඒ ගමේ රස්සාව කරන්නේ පවුලේ පිරිමියා පමණකි. රජයේ රැකියාවල නියුතු කාන්තාවෝ කිහිප දෙනෙක් සිටිති. අනෙත් සියලු කාන්තාවෝ ගෘහණියන් වශයෙන් ගෙදර දොරේ කටයුතුවලට උරදී සිටින්නෝය. ඒ අතරට වෛද්‍යවරු, නීතිඥවරු, ගණකාධිකාරිවරු අධ්‍යාපන නිලධාරීහු වැනි රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු 300ක පමණ පිරිසක් ද සිටිති. හොරණ, කළුතර, පානදුර, බණ්ඩාරගම, ඉංගිරිය සහ රත්නපුර වැනි නගරවල විවිධ කඩසාප්පු පවත්වාගෙන යන්නන්, මැණික් සහ ආභරණ ව්‍යාපාරිකයන් මෙන්ම කුළුබඩු වෙළෙඳාමේ නිරත සුළු ව්‍යාපාරිකයන් ද අටළුගම සිටිති. ඉකුත් කාලයේ හොරණ නගරය වසා දැමීමට සිද්ධ වූ එක් හේතුවක් වූයේ එහි වෙළෙඳසල්වල රැකියාව කරන්නන්ගේ පදිංචියද අටළුගම වීමය.

මුස්ලිම් ජනතාව බහුල ලංකාවේ අනෙකුත් ගම් සේ අටළුගමද ජන ඝනත්වය ඉහළය. අටළුගම ගමේ එකම නිවසේ පවුල් 2-3ක් ජීවත්වන අවස්ථාද නැතුව නොවේ. සියයට හතළිහක් පමණ ජනතාව ජීවත්වන්නේ පර්චස් 2-5 අතර වූ භුමි ප්‍රදේශයකය. තවත් සුළු පිරිසකට පර්චස් 6-10 ක් පමණ ඉඩකඩක් වෙන්ව ඇත. කෙසේ නමුත් ගම්මානයේ බොහොමයක් නිවාස පවතින්නේ එකිනෙකට ඇලීගිය ස්වරූපයෙනි. මුස්ලිම් වැසියෝ කොහොමත් ගම තුළම සාමූහිකව එක්රැස්වී සිටිමට ප්‍රිය කරන්නෝය. අටළුගමේ කොරෝනා පැතිරී යෑමට මූලික හේතුව වූයේද කුඩා ප්‍රදේශයක තිබෙන අධික ජන ඝනත්වයය. අටළුගම පල්ලි ගණණ 14කි.

කොව්ඩ් පළමු රැල්ල ආවේ පසුගිය වසරේදීය. එහිදී රටම පමණක් නොව ලොවම කොරෝනා භීතියෙන් වෙලා ගන්නට වැඩි දවසක් නොගියේය. අටළුගම ගමේ පදිංචි 26 හැවිරිදි මූර්ති කළේ ඩුබායි රාජ්‍යයෙන් භාණ්ඩ ගෙනවිත් ලංකාවේ අලෙවි කිරීමය. එදා මාර්තු 17 වෙනිදා කටුනායකින් ඩුබායි ගිය මූර්ති සහ තවත් හිතවතෙකු භාණ්ඩ ඇණවුම් කර ලංකාවට ආවේ 19 වෙනිදාය. දින කිහිපයක් යන්නට මත්තෙන් මූර්තිට කොරෝනා රෝග ලක්‍ෂණ පහළ වෙන්නට විය. ඒ සමගම ඔහුගේ පවුලේ තවත් හතර දෙනෙකුට කොරෝනා වැලඳුණි. ඒ අනුව ලංකාවේ පළමු වරට කොරෝනා නිසා ගමක් හුදකලා කළේ අටළුගමය. එතකින් නොනැවතුණු කොරෝනාව කළුතර දිස්ත්‍රික්කයම අවදානම් කලාපයක් බවට පත් කරමින් හුදකලා විය.

අටළුගම පදිංචි ගුරු උපදේශක ඒ.එච්.ඒ. අමාන් පවසන පරිදි එම අවස්ථාවේදී අටළුගම ගම්වැසි පල්ලි සංගමයේ සාමාජිකයන් ප්‍රාදේශීය දේශපාලනඥයන්, වෛද්‍යවරුන්, විදුහල්පතිවරුන්, ගණකාධිකාරිවරු, ව්‍යාපාරික​යන් වැනි සමාජයේ ප්‍රභු පිරිසක් එක්වී කෝව්ඩ් කළමනාකරණ කමිටුව’ පිහිටුවා ගත්තේය. අටළුගමට දෙවැනි කොව්ඩ් රැල්ල ආවේ නොවැම්බර් 13 වැනිදාය. මිල්ලනිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයන් සිව් දෙනෙකු කෙරෝනා ආසාදිත බව මුල්වරට තහවුරු විය.

එතැනින් ඇරඹුණු දෙවැනි රැල්ල නොවැම්බර් 22 වෙනිදා වන විට අටළුගම ගම්මානයම හුදකලා තත්ත්වයට පත්වූවේය. සෞඛ්‍ය අංශ සහ ආරක්‍ෂක අංශ මැදිහත්ව දිගින් දිගටම පී.සී.ආර්. පරීක්ෂණ කළේය. නමුත් පී.සී.ආර් පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අංශ විසින් කරන ලද ඉල්ලීම් අටළුගම ගම්මානයේ ඇතැම් පිරිස් ප්‍රතික්‍ෂේප කරන බවටත් පී.සී.ආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ ඇතැම් අය දී තිබුණේ ව්‍යාජ නම් ගම් බව ද හෙළි විය. මේ අතර නිරෝධායනයට රැගෙන යන අවස්ථාවේ ඊට විරෝධය පළකරමින් මොහොමඩ් අමිර් නමැති කොවිඩ් ආසාදිතයා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකුගේ ඇඟට කෙළ ගැසුවේය. පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ස්කයිප් තාක්ෂණය හරහා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කළේය. ජීවිත අවදානම පවා නොතකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කරන සේවයට අප ණය ගැති විය යුතු බවත් කෙළ ගැසූ තැනැත්තා මාස දෙකකට පමණ පෙරත් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙකු බවත් ගමේ මිනිසුන් කිසිවකු ඔහුගේ මෙම ක්‍රියාව අනුමත නොකරන බවත් අප සමග අදහස් දැක්වූ අටළුගම ගම්වැසියන් කිහිපදෙනෙක් කීහ. මෙම නොහික්මුණු පුද්ගලයා හේතුවෙන් අටළුගමට විශාල අපකීර්තියක් වූ බවද ඔවුන්ගෙ කල්පනාවය.

තවත් අවස්ථාවක කොරෝනා ආසාදිතයන් රැගත් බස් රථයක් අටළුගම පොලිස් මුර පොළක් අසල නතර කර තිබියදී ආසාදිතයන් පිරිසක් බස් රථයෙන් පිටතට කෙළ ගැසීමේ සිද්ධියක් ද වාර්තා විය. මේ සම්බන්ධයෙන් අටළුගම කොව්ඩි කළමනාකරණ කමිටුවේ සභාපති බණ්ඩාරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නෆ්ලි නසීර් දැක්වූයේ මෙවැනි අදහසකි.

‘‘යම් යම් ප්‍රශ්නකාරී සිද්ධි ඇතිවුණ බව ඇත්ත. නමුත් මාධ්‍යයෙන් කියන තරම් ඒවා ප්‍රබල නැහැ. රාජ්‍ය යාන්ත්‍රණය සහ ගම්වැසියන් අතර නිවැරදි සන්නිවේදනයක් නොතිබුණ නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවුණා කියලා කියන්න පුඑවන්. පී.සී.ආර් පරීක්ෂණ කිරීමත් ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනයාමත් දිගින් දිගටම ප්‍රමාද වුණා. මේ හේතුන් නිසා අටළුගම ජනතාව පී.සී.ආර් පරීක්ෂණ කෙරෙහි එතරම් විශ්වාසයක් ඇතිකර ගත්තේ නැහැ. නමුත් පසුව කළමනාකරණ කමිටුව අදාළ බලධාරීන් සමග සාකච්ජා පවත්වා ජනතාව දැනුම්වත් කිරීමෙන් පසුව ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. අපි දවසට 500-600ක් පමණ පී.සී.ආර්. වලට යොමු කළා. නමුත් සෞඛ්‍ය අංශවලට එතරම් ධාරිතාවයක් නොතිබුණු අවස්ථා පවා තිබුණා. හරි විදියට ජනතාව දැනුම්වත් කළා නම් මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ නැහැ.”

අටළුගම ජනතාව අන්‍ය ආගම් සහ ජාතීන් සමග අන්‍යොන්‍ය සුහදත්වයෙන් දිවි ගෙවන ජනකොටසක් බවත් බණ්ඩාරගම රෝහලේ වර්ෂිකව පවත්වන ශ්‍රමදානයට පවා ඔවුන් විශාල දායකත්වයක් දක්වන බවත් පවසන නෆ්ලි බණ්ඩාරගම නගරයේ අලුත් අවුරුදු උළෙල, වෙසක්, පොසොන් වැනි උත්සව පවා සමරන්නේ මුස්ලිම් ජනතාවගේ සහයෝගයෙන් බවත් සඳහන් කරයි.

ආරම්භයේ දී අටළුගම ජනතාව කොරෝනා මර්දන වැඩපිළිවෙළ සඳහා සහයෝගය නොදුන් නමුත් මේ වන විට එම තත්ත්වය හාත්පසින්ම වෙනස්ව ඇති බවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් මෙන්ම පී.සී.ආර්. පරීක්ෂාවන් කරන බවත් පවසන කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක කිහිප දෙනෙක් සෞඛ්‍ය අංශ සමග ගැටුම් ඇතිකර ගත්තත් ඒ සියල්ල බැහැර කර අටළුගම ජනතාව වෙනුවෙන් තවදුරටත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම කැපවන බව පවසයි.

අටළුගම කොරෝනා කළමනාකරණ කමිටුව දෙසැම්බර් 28 වෙනිදා සිට ගම්මානයේ සියලු කඩ සාප්පු වසා දමා සංචරණ සීමාවන් හැකිතාක් අවම කර සියලුම ජනතාව තම නිවෙස්වලම ස්වයං නිරෝධායන වැඩපිළිවෙළකට යොමු කළේය. මේ හේතුව නිසා මේ වන විට අටළුගමින් කොරෝනා ආසාදිතයන් හමුනොවන තත්ත්වයකට පත්වී ඇති බව කොරෝනා කළමනාකරණ කමිටුවේ සාමාජික අල්ගස්සාලි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති නීතීඥ එම්. මොහොමඩ් හිදයතුල්ලා කියන්නේය.

මේ වන විට මාස එකහමාරකට ආසන්න කාලයක් හුදකලා කර තිබීම නිසා අටළුගම ජනතාව විවිධාකාර ප්‍රශ්නවලට මුහුණ පාමින් සිටිති. ව්‍යාපාර කඩා වැටීම, මානසික ව්‍යාකුලත්වය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ආහාර පාන හිඟය, නිදන්ගත රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීම ඒ අතරින් කිහිපයකි. ඒකාකාරී ජීවන රටාව හේතුවෙන් ජන ජීවිතවලට එල්ලවී ඇත්තේ මානසික පීඩාවන්ය. අටළුගම බමුණුමුල්ල ගම්මානයෙන් පසුගිය දිනක වාර්තා වූයේ ද අක්කා සහ මල්ලී අතර හබයක් දුරදිග ගොස් මල්ලී අවසන් ගමන් ගිය පුවතක්ය.

‘‘තවදුරටත් ගම්මාන හුදකලාභාවයේ තබා ගැනීමෙන් මේ අයට සමාජ ආර්ථිකමය ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා. එදිනෙදා ජීවත් වීමේ අරගලයක යෙදෙන්න වෙනවා. මේ වන විට අපි කර්මාන්තශාලා විවෘත කර තිබෙනවා. ඒ වගේම මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල් විවෘත කරන්න කියලා. කොරෝනා තත්ත්වය යම් කිසි මට්ටමකට සමනය වෙමින් පවතින බව පෙනෙනවා. නමුත් කොරෝනාවෙන් මිදෙන්න ජනතාව සතු වගකීම අමතක කළයුතු නැහැ. ඉදිරියේ දී තත්ත්වය සමාලෝචනය කර ග්‍රාම නිලධාරී වසමින් වසම හෝ හුදකලා බවින් මුදවා ගැනීම සඳහා සඳුදා වන විට තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා.” එසේ කියන්නේ කළුතර දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාරය.

ඉන්දික සංජීව විතාන – හොරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here