එකම පවුලේ නව නිපැයුම්කරුවෝ තිදෙනා

    0
    16

     

    රටක් සංවර්ධනය වීමට නම් දේශීයත්වයට මුල් තැන දිය යුතුමය. දේශීයත්වය අමතක කර දමා දියුණු වූ රටක් නැත. දීර්ඝ කාලයක් තිස්සේ අමතක කර දමා තිබූ සහ අමතක කරවා තිබූ දේශීයත්වයට මුල් තැනෙහිලා සැලකීම මේ වන විට ආරම්භ වෙමින් තිබෙන ආකාරයක් දක්නට ලැබෙයි. දේශීය කෘෂිකර්මාන්තය සේම රටක දියුණුවේ හිණි මගෙහි ඉහළටම ගෙන යා හැකි නව නිර්මාණ කෙරෙහි ද මේ වන විට වැඩි අවධානයක් රජයෙන් මෙන්ම ජන සමාජයෙන් ද යොමු වෙමින් පවතී. මෙරටට බලපාමින් තිබෙන සුවිසල් ගැටලුවල සිට පහළ මට්ටමේ ගැටලුවලට පිළිතුරු සැපයිය හැකි නව නිර්මාණ මේ වන විට බිහිව තිබෙන අතර තව තවත් තරගකාරී ලෙස බිහි වෙමින් තිබේ.

    සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ වැඩි පිරිසක් මුහුණ දෙන හෝ කිසියම් ප්‍රදේශයක පිරිසක් මුහුණ දෙමින් සිටින ගැටලු වෙත නව නිර්මාණවලින් පිළිතුරු ලැබෙන විටය. අප එදිනෙදා මුහුණ දෙමින් සිටින එහෙත් අවධානය යොමු නොවූ ක්ෂේත්‍ර සහ කාර්ය පහසු කර ගැනීම සඳහා ද නව නිර්මාණ බිහි වෙමින් තිබේ. නව නිර්මාණයක් බිහි විය යුත්තේ අදාළ ක්ෂේත්‍රයේ ඉහළ අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයෙකුගෙන් පමණක් නොවේ. ඉහළම අධ්‍යාපනයක් නොලද එහෙත් ප්‍රායෝගික දැනුමෙන් පොහොසත් තලයක සිටින ප්‍රවීණයන්ගේ දෑතින් ද නවෝත්පාදන සංකල්ප බිහි වී ඒවා යථාර්ථ බවට පත් වෙමින් තිබේ. ලෝකයේ ඒ සඳහා ඕනෑ තරම් නිදසුන් තිබේ.

    ලක්ෂ්මන් කෝට්ටේගොඩ ද එවැනි නව නිර්මාණ බිහි කළ නව නිර්මාණ ශිල්පියෙකි. එපමණක් නොව ආනගතයේ රට බාර ගැනීමට වටිනා බීජ ද්විත්වයක් ද මිහිකත මත පැළ කළ පියෙකි. ඒ, ඔහුගේ දියණියන් දෙදෙනා ද පියාගේ අඩි පාරේ යමින් නව නිර්මාණකරණයෙහි යෙදී සිටින බැවිනි.

    පෙදරේරුවකු ලෙස දීර්ඝ කාලයක සිට සේවය කරමින් සිටින ලක්ෂ්මන් කෝට්ටේගොඩ තමන්ගේ වෘත්තියෙහි දී සුළු පරිමාණ මෙන්ම මහ පරිමාණ ව්‍යාපෘතිවල දී ද මුහුණ දෙන ගැටලුවකට නවෝත්පාදනයකින් පිළිතුරු සොයාගෙන තිබේ.

     

    සිමෙන්ති ගෙන යන යන්ත්‍රය

    “පෙදරේරුවන් ලෙස ගොඩනැගිලි තැනීමේ දී අප මුහුණ දෙන විශාල ගැටලුවක් තමයි සිමෙන්ති මිශ්‍රණය (බදාම) සහ කොන්ක්‍රීට් මිශ්‍රණය ක්ෂණිකව අදාළ වැඩ බිමෙහි එහා මෙහා ගෙන යෑමේ ගැටලුව. විශේෂයෙන්ම කොන්ක්‍රීට් කුලුනු සිටුවීමේ දී ඒවා පොළොව තුළට බැස්සවීම සඳහා කපන බේස් වළවල් වෙත කොන්ක්‍රීට් ගෙන යෑම අප මුහුණ දෙමින් සිටි විශාල ගැටලුවක්. පස්, සුන්බුන් අතරින් කොන්ක්‍රීට් අදාළ ස්ථානයට බාල්දියක හෝ විල්බැරෝවක බහාගෙන යෑමේ අසීරුව, එක් කම්කරුවකුට එකවර ගෙන යා හැක්කේ කොන්ක්‍රීට් කිලෝ පනහකට අඩු ප්‍රමාණයක් වීම නිසා ක්ෂණිකව කළ යුතු කාර්යයක් වන මෙහි දී එකවර කම්කරුවන් කිහිප දෙනකු යොදා ගැනීමටත් සිදු වන අවස්ථාව බෙහෝයි. මෙසේ බේස් වලවල් වෙත කොන්ක්‍රීට් සහ බදාම ගෙන යෑම පහසුවෙන් කර ගත හැකි ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කරමින් සිටින විට අපට පහසුවෙන් සපයා ගත හැකි අමුද්‍රව්‍ය යොදාගෙන මෙම නව නිර්මාණය ගැන අදහසක් පහළ වුණා.

    මෙම උපකරණය මඟින් එකවර කොන්ක්‍රීට් මිශ්‍රණය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන යා හැකියි. එයට අවශ්‍ය වන්නේ කම්කරුවන් දෙදෙනකු පමණයි. මෙහි විශේෂත්වය වන්නේ ඕනෑම රළු මතුපිටක මෙම උපකරණය භාවිත කළ හැකි වීමයි. විල්බැරෝවක් ගෙන යා නොහැකි ඕනෑම ස්ථානයකට මෙම උපකරණය දෝලාවක් රැගෙන යන ආකාරයෙන් දෙදෙනකුට අවශ්‍ය දෑ පුරවාගෙන යා හැකියි. කොන්ක්‍රීට් හෝ බදාම පමණක් නොවෙයි ගල්, වැලි, පස් සහ ගඩොළු වැනි බොහෝ දේ ගෙන යෑම සඳහා මෙම උපකරණය භාවිත කළ හැකියි. මෙම උපකරණය මේ වන විටත් බොහෝ අය මගෙන් මිලදීගෙන කාර්ය පහසු කර ගැනීම සඳහා භාවිත කරමින් සිටිනවා.” ඒ කෝට්ටේගොඩ මහතාගේ හඬයි.

    පොළොවට පහසුවෙන් ටයිල් ඇල්ලීමේ උපකරණය පිළිබඳ සංකල්පය කෝට්ටේගොඩ මහතාට ඇති වන්නේ කුකුළේ ගඟ ව්‍යාපෘතියට සම්බන්ධව සිටිය දීය. වර්ග අඩි සියයක වපසරියක මෙම උපකරණය භාවිත කිරීමෙන් ටයිල් පොළොවට ඇල්ලීමට ගත වන්නේ පැයකට අඩු කාලයකි. එසේම පස් දෙනකු කරන කාර්යය එක් පුද්ගලයකුට කිරීමට ද මෙම හැන්දක් ආකාරයේ උපකරණය භාවිතයෙන් සිදු කර ගත හැකිය. මෙම උපකරණය භාවිත කර ටයිල් ඇල්ලීමේ දී ටයිල් බොල් වී ගැලවීම ද සිදු නොවේ. ටයිල් ඇල්ලීම කාර්යක්ෂම කරන මෙම උපකරණයට නව නිපැයුම් තරගාවලියක දී ජනාධිපති සම්මානයක් ලැබීම මෙම උපකරණයේ කාර්යක්ෂමතාවට ලැබුණු හොඳම තත්ත්ව සහතිකය වෙයි.

     

    ජල ටැංකි නිරීක්ෂණ උපකරණය

    දිල්ශාරා නෙත්මිණිගේ යනු ලක්ෂ්මන් කෝට්ටේගොඩගේ වැඩිමහලු දියණියයි. ඇය හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ සිසුවියකි. ඇගේ නිර්මාණය වන්නේ ජල ටැංකියේ ජල ප්‍රමාණය නි‍ෙවසේ සිට නිරීක්ෂණය කළ හැකි උපකරණයයි. ස්වයංක්‍රීයව ක්‍රියාත්මක නොවන ජල මෝටර් භාවිත කරන්නවුන් මුහුණ දෙන ගැටලුවට මෙය කදිම විසඳුමකි. ස්වයංක්‍රීයව ක්‍රියාත්මක නොවන ජල මෝටර් භාවිත කරන විට ජලය ගබඩා වන ටැංකියේ ජලය අවසන් වූ පසු මෝටරය දමා ජලය පුරවා ගත යුතුය. ජලය අවසන් වූ බවට දැනගත හැකි වන්නේ කරාමයෙන් ජලය නොපැමිණෙන විටය. ඒ අවස්ථාවේ දී විදුලිය විසන්ධි වී තිබුණොත් භාවිතයට ජලය නොමැත. තමන් මුහුණ දුන් ජල ගැටලුවක් හේතුවෙන් ඇය අතින් මෙම නව නිර්මාණය බිහිව තිබේ. මෙහි දී ජල ටැංකියට සවි කරන ලද සංවේදකයක් හරහා නි‍ෙවසේ සවිකර ඇති ඉලෙක්ට්‍රොනික තිරයේ ජල ටැංකියේ ජල ප්‍රමාණය දක්වයි. එහි දී තමන්ගේ කාර්යය කර ගැනීමට අවශ්‍ය ජල ප්‍රමාණය ප්‍රමාණවත් ද, නැත් ද යන්න නිවැසියනට තීරණය කර අවශ්‍ය නම් ජල ටැංකිය පුරවා ගත හැකිය. මෙම නව නිර්මාණය සවි කර ගැනීම මඟින් ස්වයංක්‍රීය ජල මෝටරයක් භාවිත නොකරන අය ස්නානය කරමින් සිටිය දී ජලය අවසන් වූ පසු ඇගේ සබන් සමඟ ජල මෝටරයේ ස්විචය සොයා අඳුරේ අත පත ගෑම තව දුරටත් අවශ්‍ය නොවනු ඇත.

     

    ස්වයංක්‍රීය වාදන යන්ත්‍රය

    උදේ හවස නියමිත වේලාවක දී පිරිත් ස්වයංක්‍රීයව වාදනය වන යන්ත්‍රය ලදිනි දිල්හාරාගේ නව නිර්මාණයකි. ඇය ලක්ෂ්මන් කෝට්ටේගොඩ මහතා ගේ බාල දියණියයි. මොරපිටිය වීදිය බණ්ඩාර විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිල්හාරා තමන් පැවරුණු වගකීමකින් නිදහස් වීමට මෙම නව නිර්මාණය බිහි කර තිබීම විශේෂත්වයකි. උදෑසන අවදි වූ පසු සහ සවස නිවසේ කැසට් රේඩියෝවේ පිරිත් වාදනය කිරීම ඇයට හිමි වගකීමකි. එහෙත් විවිධ හේතු නිසා එය අතපසු වීමේ ගැටලුවෙන් මිදීමට ඇය මෙම උපකරණය නිර්මාණය කර තිබේ.

    “මගේ මේ නව නිර්මාණය පිරිත් පමණක් නොවෙයි ජාතික ගීය, ආගම්වල දේශනා, ගීත වුණත් වාදනය කරන්න පුළුවන්. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ අප නියම කළ වේලාවක දී ස්වයංක්‍රීයව වාදනය වීමයි. එසේම එම වාදනය අවසන් වීමෙන් පසු මෙම වාදන යන්ත්‍රය ක්‍රියා විරහිත වනවා. ඒ නිසා කිසි ශ්‍රමයක් මේ සඳහා අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම මේ ගැන අවධානයෙන් සිටීමත් අනවශ්‍යයි” යැයි දිල්හාරා පවසන්නීය.

    කළුතර පාලින්ද නුවර මොරපිටිය ගමේ වාසය කරන දිල්ශාරා නෙත්මිණි සහ ලදිනි දිල්හාරා දියණියන්ගේ නව නිර්මාණ මටසිළුටු බවක් නො පෙනුණත් ඒවා ක්‍රියාත්මක බවින් ඉහළය. කුඩා කාලයේ දීම මෙවැනි ඉලෙක්ට්‍රොනික නිර්මාණ සංකල්ප පහළ වී ඒවා යථාර්ථ බවට පත් කරලීමට නම් උපන් හැකියාවත් ඊට මනා සහයත් අවශ්‍යය. ලක්ෂ්මන් කෝට්ටේගොඩ මහතා සැම විටම දියණියන් දෙදෙනාගේ දක්ෂතාවනට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ නොපැකිලිවය. මේ දියණියන් දෙදෙනා තවමත් ඔප නොදැමූ මැණික් කැටය. අනාගතයේ මහා නිර්මාණ බිහි කරලීමේ මූලාරම්භයක් මෙය විය හැකිය. මෙම මැණික් කැට ඔප දැමීමට රට ගැන හිතන සැමගේ යුතුකමය. නැතිනම් පිටරටින් සෑම දෙයක්ම පැමිණෙන තෙක් මුහුදට නියවමින් තව දුරටත් අපට සිටිමට සිදු වනු නියතය.

     

    පී. කේ. බණ්ඩාර

     

    ****************

    අයිඩියා ටෙක් නව නිර්මාණ තරගාවලිය

     

    ලියෝ බහු මණ්ඩල දිස්ත්‍රික් 306 සමාජය විසින් පවත්වනු ලබන ‘අයිඩියා ටෙක්’ (IdeaTech) නව නිර්මාණ තරගාවලිය සඳහා අයදුම්පත් කැදවනු ලබයි. නවෝත්පාදකයන්ගේ අදහස්වලට සහය වෙමින් ඒවා නව තාක්ෂණික ලෝකයට විවර කිරීමේ අරමුණින් ලියෝ බහු මණ්ඩල දිස්ත්‍රික් 306 සමාජය මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක් සමඟ එක්ව මෙම නව නිර්මාණ තරගාවලිය සංවිධානය කර තිබේ.

    පාසල්, විවෘත සහ ලියෝ කාණ්ඩ වශයෙන් පැවැත් වෙන මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග පිරිනැමේ. මෙම නව නිර්මාණ තරගාවලිය සදහා අයදුම්පත් බාර ගැනීම ජනවාරි 20 වැනිදායින් අවසන් වේ. කේවල සහ කණ්ඩායම් වශයෙන් ද මෙම තරගාවලියට ඉදිරිපත් විය හැකි අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලියෝ නිශේන් සිල්වා-0762132260/ ලියෝ නොනීෂ ද ෆොන්ටයින් 0704145391/ ලියෝ තරුෂි කරුණාරත්න 0772328743 යන නිලධාරීන් ඇමතීමමෙන් සහ මෙහි සදහන් QR කේතය වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

     

    පී.කේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here