කොවිඩ් හමුවේ ටියුෂන් පංති ඇරඹීම

    0
    16

    වසරකට ආසන්න කාලයක් තිස්සේ රටම වෙළාගෙන ඇති කොවිඩ් වසංගතය හමුවේ තවමත් රට තිබෙන්නේ අවදානමකය. අප රට පමණක් නොව මුළු ලෝකයේම තත්ත්වය එබඳුය. කොවිඩ් මාරයා ලෝකය හැර යන දවස තවමත් අවිනිශ්චිතය. එය ලොවින් තුරන්වන්නේ කවදා දැයි පැවසීමට තරම් ජගතකු තවමත් බිහිවී නැත.

    එහෙත් කොවිඩ් වසංගතයටම ඉඩදී රට නිද්‍රාශීලීව හැමදාමත් පවත්වාගෙන යෑමට රජයට හැකියාවක් නැත. රටේ ආර්ථිකය යළි යථාවත් කළ යුතුය. ජන ජීවිත නැවත නංවාලිය යුතුය. රටත් ජනතාවත් යළි පෙර තත්ත්වයට ගෙන ඒම සඳහා අප රටට ද ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නව මං සෙවිය යුතුවාක් මෙන්ම ජන ජීවිත, සිසු ජීවිත සුරකිමින් ඔවුන් යළි සමාජගත කිරීමට පිළිවෙත් සකස් කළ යුතුය.

    කෝටි දෙකකට වැඩි ජනතාවටත්, ලක්ෂ ගණනක් වූ සිසු පරපුරටත් කුසට අහරක් සේම දරු පරපුරට අධ්‍යාපනයත් අත්‍යවශ්‍යය. මේ වන විට වරාය විවෘතය. වෙළහෙළදාම් හා ප්‍රවාහනය යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. එය අද වනවිට සම්පූර්ණයෙන්ම පෙර තත්ත්වයට පත්වීමට අවශ්‍ය කටයුතු රජය විසින් සූදානම් කොට තිබේ. ඒ අනුව මෙරට ලක්ෂ සංඛ්‍යාත සිසු පරපුරට අද සිට පාසල් විවෘත කිරීමට නියමිතය. ඒ රජය විසින් ලබාදී ඇති සෞඛ්‍ය නීතිරීතිවලට අනුගත වෙමිනි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් මේ වනවිටත් සියලු පාසල් ප්‍රධානීන්ට දන්වා යවා තිබේ.

    එනමුදු ජාතික මට්ටමේ තීරණයක් ලැබෙන තුරු උපකාරක පංති පැවැත්වීමද කොවිඩ්-19 හේතුවෙන් නවතා දමා තිබිණි. ඒ සිසු දරුවන් හා ගුරුවරුන්ගේ ජීවිත ගැන ද සලකමිනි. දරුවන්ගේ යහපත පතා පාසල් යළි විවෘත කිරීමට රජය කටයුතු සම්පාදනය කර තිබිය දී විපක්ෂයෙන් ඇසුනේ උපකාරක පංති යළි ආරම්භ නොකිරීම නිසා ටියුෂන් ගුරුවරුන් ද, උපකාරක පංති ආයතන හිමිකරුවන් ද, සිසු සිසුවියන් ද බරපතළ අර්බුදයකට ලක්ව සිටින බවයි.

    එනමුත් උපකාරක පන්ති ක්ෂේත්‍රය සඳහා ද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිතව කොන්දේසි නිර්දේශ කිරීමට රජයට සිදු වෙයි. මන්ද යත් ලක්ෂ ගණනක් දෙනා එම ක්ෂේත්‍රයට සම්බන්ධ බැවිනි. එබැවින් ඒ සඳහා ද කෙටි කලක් ගත වෙයි. ඒ සඳහා රජය ක්‍රමානුකූලව වැඩපිළිවෙළක් සකස් කළ යුතු වෙයි. එසේ නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු වන්නේ උපකාරක පන්ති ක්ෂේත්‍රය තුළ දළ වශයෙන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් නිරත වී සිටින නිසාය. උපකාරක පන්ති පවත්වාගෙන යන ආයතන 25000 ක් පමණ මෙරට තිබෙන අතර, ඊට සම්බන්ධව සෘජු හා වක්‍ර අන්දමින් තවත් ලක්ෂ 10කට වැඩි පිරිසක් ක්ෂේත්‍රයේ කටයුතු කරති.

    රජය මේ සියලු දෙනා කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙයි. එය බරපතළ කර්තව්‍යයකි. එසේ වූවද සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් දරුවන් උදෙසා උපකාරක පන්ති ඇරඹීමට ලබන 25 දා සිට අවස්ථාව සැලසීමට රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

    කොවිඩ් අර්බුදයෙන් මිදීම සඳහා රජය ක්‍රමානුකූලව ගෙන යන වැඩපිළිවෙළට දිරියක් වෙමින් උපකාරක පන්ති ක්ෂේත්‍රය ද මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් කැපවීම අගය කළ යුතුය. ඒ සඳහා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අංශවල උපදෙස් අනුගමනය කිරීම උපකාරක පන්තිවලට සහභාගි වන සිසු සිසුවියන්ගේත් ගුරුවරුන්ගේත් මව්පියන්ගේත් වගකීම විය යුතුය.

     

    බන්ධුල ගුණරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here