ජපානයේ දැව චන්ද්‍රිකාව

    0
    12

    ජපානය දැවයෙන් චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේ අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත. ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලය සහ පෞද්ගලික සමාගමක් ඒකාබද්ධව මෙම අධ්‍යයනය සිදු කරන බව සඳහන් වේ. අත්හදා බැලීම් සාර්ථක වුව හොත් දැවයෙන් නිම කළ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීමට 2023 වන විට හැකි වනු ඇතැයි පර්යේෂකයෝ පවසති. එවිට එය දැවයෙන් නිමවන ලද ලොව ප්‍රථම චන්ද්‍රිකාව ලෙස නම් කෙරෙනු ඇත.

    දැවමය චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේදී යොදාගත යුතු දැව වර්ග පිළිබඳ සොයා බැලීමක් මේ දිනවල සිදු කෙරේ. සුදුසු දැව වර්ගයක් තෝරා ගත්ත ද එය ආන්තික පාරිසරික තත්ත්වවලට ඔරොත්තු දෙන අන්දමට සකස් කරගන්නට විද්‍යාඥයන්ට සිදු වේ. චන්ද්‍රිකාව තනා ගැනීමට යෝග්‍ය දැව වර්ගය පිළිබඳ අවසන් නිගමනයට එළැඹීමෙන් පසු චන්ද්‍රිකාවේ ඉංජිනේරු සැලැස්ම ගැන නිගමනය කිරීමට සූදානම් කෙරේ. චන්ද්‍රිකාව තැනීමේ කටයුතු ආරම්භ වන්නේ එයින් පසුව බව පර්යේෂකයෝ පවසති. දැවයෙන් කළ එවැනි චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයේ දී දැවී ගිය හොත් සුන්බුන් සහ අහිතකර දෑ කිසිවක් වායුගෝලයට ඇතුළු නොවන බව ද පර්යේෂකයන්ගේ මතයයි.

     

    අභ්‍යාවකාශයේ සුන්බුන්

    චන්ද්‍රිකාවක් පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමේ දී දැවීමකට ලක් වේ. එවිට එම චන්ද්‍රිකා නිර්මාණය කර තිබූ රසායනික ද්‍රව්‍යවල නොදැවුණු කුඩා අංශු පෘථිවි වායුගෝලයේ ඉහළ ස්තරවල රැඳී තිබෙනු විද්‍යාත්මක පර්යේෂණවලින් සනාථ වී තිබේ. පෘථිවි වායුගෝලයට එසේ ඇතුළු වන කුඩා අංශු මඟින් පෘථිවි වායුගෝලයට පසුව බලපෑම් කෙරෙන බව කියෝතෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තකාඕ දෝයි පවසයි.

    දැවයෙන් කළ චන්ද්‍රිකාවක් නිර්මාණය කර ගැනීමේ අදහස මතු වන්නට තුඩු දී තිබෙන අනෙක් වැදගත් කාරණය, අභ්‍යාවකාශයට එකතු වන නොයෙක් අන්දමේ සුන්බුන් අඩු කරගැනීමේ අරමුණයි. අභ්‍යවකාශයට සුන්බුන් එකතුවන ප්‍රධාන ක්‍රම දෙකක් ඇත. ඉන් පළමුවැන්න, අභ්‍යවකාශ ගත කරන අභ්‍යාවකාශ යානාවන් ය. දෙවැන්න, අභ්‍යාවකාශ ගත කරන චන්ද්‍රිකාවන් ය. යුරෝකන්සල්ට් නැමති පර්යේෂණ ආයතනය සඳහන් කරන ආකාරයට පෘථිවියෙන් සෑම වසරකම චන්ද්‍රිකා 990ක් අභ්‍යවකාශ ගතකෙරේ. ඒ අනුව 2028 වසර වන විට අභ්‍යවකාශයේ තිබීමට නියමිත චන්ද්‍රිකා සංඛ්‍යාව 15 000ක් පමණ වනු ඇති බවට ගණන් බලා තිබේ. චන්ද්‍රිකා භාවිතයෙන් මිනිසා ඉටු කරගන්නා කාර්යයන් විශාල සංඛ්‍යාවකි. සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීම ඒ අතර ප්‍රධානය. මිනිසාගේ අවශ්‍යතා පුළුල් වන විටත්, මිනිසා තාක්ෂණයෙන් දියුණු වන විටත් චන්ද්‍රිකා වැඩි සංඛ්‍යාවක් භාවිතයට ගැනීමට ඔහුට සිදු වෙයි. චන්ද්‍රිකා හය දහසකට ආසන්න ප්‍රමාණයක් පෘථිවිය වටා අද වන විට කැරකෙමින් තිබෙන බව වාර්තා වේ. එසේ පෘථිවිය වටා කරකැවෙමින් තිබෙන චන්ද්‍රිකාවලින් 60%කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියා විරහිතව තිබෙන ඒවා බව අනාවරණය වී ඇත. ඒවා අභ්‍යවකාශයේ තිබෙන සුන්බුන් හැටියට බව විද්‍යාඥයෝ සඳහන් කරති. එයින් සිදු වන්නේ අභ්‍යවකාශය දූෂණය වීමක් බව ද ඔවුහු පෙන්වා දෙන්නෝ ය. වඩාත්ම අනතුරුදායක තත්ත්වය මේ අන්දමට ප්‍රයෝජනයක් නැතිව අභ්‍යාවකාශයේ ඇති සුන්බුන් පෘථිවියට කඩා වැටීමට ඇති ඉඩකඩයි.

     

    යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය

    මානව කටයුතු හේතුවෙන් අභ්‍යවකාශයේ පවතින සමස්ත සුන්බුන් ප්‍රමාණය අති විශාල බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය පසුගිය දා අනාවරණය කළේ ය. එම ආයතනය සඳහන් කරන අන්දමට අභ්‍යවකාශයේ පවතින සමස්ත සුන්බුන් කැබලි සංඛ්‍යාව මිලියන ගණනකි. එයින් සුන්බුන් කැබැලි මිලියන 130ක් පමණ විශාලත්වය සෙන්ටිමීටරයක් පමණ හෝ එයට වඩා අඩු විශාලත්වයකින් යුක්ත ය. සෙන්ටිමීටර 1ත් 10ත් අතර ප්‍රමාණයේ සුන්බුන් කොටස් 900 000ක් පමණ අභ්‍යාවකාශයේ තිබේ. සෙන්ටිමීටර 10ට වඩා වැඩි විශාලත්වයකින් යුත් සුන්බුන් කොටස් 34 000ක් පමණ ද අභ්‍යවකාශයේ ඇත. අභ්‍යවකාශයේ පවත්නා ප්‍රයෝජනයක් නැති එම සුන්බුන් කොටස් ඉතා වේගයෙන් කරකැවෙමින් ඇත. ඒවායේ වේගය පැයට සැතපුම් 22 300ක් පමණ වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙම සුන්බුන් කොටස් වසර ගණනාවක් වුව මේ අන්දමෙන් ම අභ්‍යවකාශයේ රැඳී තිබෙන්නට පුළුවන. ඒ අතරතුර අභ්‍යවකාශ යානාවලටත්, එම යානාවල ඇති විවිධ උපකරණවලටත් මේ අංශුවලින් බාධා එල්ල වන්න පුළුවන් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    මේ කාරණා සැලකිල්ලට ගෙන ප්‍රකට අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක්, අභ්‍යවකාශ සුන්බුන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ. සුන්බුන් කොටස් ඉවත් කිරීමට සමත් වාහන ඒ සඳහා නිර්මාණය කර ඇත. එම වාහන ක්‍රියාත්මක කෙරෙන්නේ දුරස්ථ පාලකයකිනි. යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කර ක්ලියර්ස්පේස් -1 (ClearSpace-1) යනුවෙන් නම් කර ඇති අභ්‍යවකාශ වාහනය එවැන්නකි. ක්ලියර්ස්පේස් -1 භාවිතට ගෙන 2025 පමණ වන විට අභ්‍යවකාශ සුන්බුන් ඉවත් කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කෙරෙන බව යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලධාරීහු පවසති. ලේසර් ක්‍රමයක් භාවිතයට ගනිමින් ද, දැලක් පාවිච්චි කරමින් ද, හාපූනායක (Harpoon) ආධාරයෙන් ද අභ්‍යවකාශ සුන්බුන් ඉවත් කිරීමට මේ වන විට උත්සාහ දරා තිබේ. දැලක් ආධාර කරගෙන අභ්‍යවකාශයේ ඇති සුන්බුන් ඉවත් කිරීමේ තාක්ෂණය 2014 වසරේ දී හඳුන්වා ජපන් අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියයි.

    පරිසරයටත්, අභ්‍යවකාශ ගවේෂණ කටයුතුවලටත් බාධාවක් වී ඇති අභ්‍යවකාශ සුන්බුන් පිළිබඳ ගැටලුව සාමාන්‍ය ජනයාට නොදැනෙන බරපතළ ප්‍රශ්නයකි. එවන් පසුබිමක අභ්‍යවකාශයට සුන්බුන් එකතු නොකෙරෙන චන්ද්‍රිකාවන් නිර්මාණය කිරීම අත්හදා බැලීම ඉතා වැදගත් පියවරක් හැටියට දැක්විය හැකිය.

    BBC ඇසුරෙනි

     

    මංජුලා විජයරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here