දත් පුනර්වර්ධනය කරන ඇල්සයිමර් ඔසු

    0
    5

     

    මුඛ සෞඛ්‍ය ගැන මහා ඉහළින් කතා කළත්, අප බොහෝ දෙනකු දන්ත වෛද්‍යවරයකු වෙත යෑමට දක්වන්නේ මැළිකමකි. මැළිකමකටත් වඩා වැඩි දෙනකුට ඇත්තේ දැඩි බියකි. දත් ගැලවීමත්, දත් පිරවීමත්, වැනි දත් සම්බන්ධ සෞඛ්‍යයම කටයුතු සම්බන්ධයෙන් තිබෙන වේදනාකාරී අත්දැකීම් ඊට ප්‍රධානම හේතුවකි. මුඛ සෞඛ්‍ය ගැන අවංකවම උනන්දු වන පිරිස පවා දන්ත වෛද්‍යවරයකු වෙත යෑමට පෙර දෙවරක් නොව කිහිප වරක්ම එම තීරණය කිරා මැන බලන්නේ ඒ බොහෝ දෙනකු දන්ත ශල්‍යාගාරවල දී අත්දැක තිබෙන අප්‍රසන්න අත්දැකීම් නිසා බව නොරහසකි. නිර්වින්දනය කොට කරනු ලබන දත් ගැලවීම කෙසේවතුදු එවැනි වේදනා සමනය කිරීමේ ක්‍රම භාවිතයකින් තොරව සිදු කරන දත් කුහර පිරවීම යනු ගත හිරිගඩු නංවන අත්දැකීමක් බව දන්නේ එයට බඳුන් වූවෝ පමණි. නමුත් ලන්ඩනයේ කිංග්ස් කොලේජ් දන්තායතනයේ මහාචාර්ය පෝල් ෂාර්ප් ප්‍රමුඛ වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදු කර ඇති නවතම සොයාගැනීම හේතුවෙන් දත් කුහර පිරවීම අතීතයේ අළු යට සැඟව යන දිනය වැඩි ඈතක නොවන බවට පෙර නිමිති පහළව තිබේ. එය දත් සම්බන්ධ විෂයේදී සංවේදී වන අයවලුන්ට සුබාරංචියක් වනු ඇත.

     

    නූතන වෛද්‍ය විද්‍යාව

    අතිශයින්ම දියුණු නූතන වෛද්‍ය විද්‍යාවෙන් දත් දිරායෑමට එරෙහිව ගෙනැවිත් තිබෙන අලුත්ම තාක්ෂණය වන්නේ ප්‍රාථමික (stem cells) උත්තේජනය කිරීමෙන් දිරා ගිය දත් යළි පුනර්වර්ධනය කරවන අපූරුම ඖෂධයකි. ද්වීතික (වැඩිහිටි වියේදි ලබන දත්) දතක් අහිමි වූ පසු එය නැවත වර්ධනය වීම සිහිනයක්ම පමණක් වුවත්, මෙම ක්‍රමය මඟින් එම සිහිනය යථාර්ථයක් වන දිනය වැඩි ඈතක නොවේ. සුවිශේෂත්වය වන්නේ අහිමි වූ දතකට එලෙස නැවත එවැනිම සජීවි දතක් ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොකරන නිසා පමණක් නොවේ.

    එලෙස දත් පුනර්වර්ධනය සිදු කරවන්නේ මොළයේ සෛල මිය යෑමට හේතු වන ඇල්සයිමර් රෝගය සඳහා ප්‍රතිකාර ලෙස දෙන ඖෂධයක් ආධාරයෙන් වීමෙනි. දිරාගිය දතක් අලුත්වැඩියා කිරීමට, දත්ක කල්ක කුහරයේ පිහිටි ප්‍රාථමික සෛල උත්තේජනය කරවන බැව් කියන ‘ටයිඩ්ග්ලුසිබ්‘ නැමැති මෙම විශ්වකර්ම ඖෂධය සම්බන්ධයෙන් කර ඇති අත්හදා බැලීම් සාර්ථක වුවහොත්, එය දන්ත වෛද්‍ය විද්‍යාවේ නව යුගයක උදාව සටහන් කරනු නියතය.

    ප්‍රාථමික සෛල

    දිරා ගිය දත් සංරක්ෂණය කිරීමේ දී දැනට භාවිත වන ප්‍රකටම ක්‍රම වන්නේ සාමාන්‍ය පිරවුම හා ස්නායු පිරවුමයි. මේ කුමන ක්‍රමයේ දී වුවත් වන්නේ දතේ නරක් වී, දිරාපත්ව ගිය කොටස් හාරා ඉවත් කර ‘ඇමල්ගම්‘ නැමැති සිමෙන්ත් වැනි සංයෝගයෙන් දත් කුහරය පිරවීමයි. මෙය කෙතරම් දුරට ස්ථීර පිරවුමක් බැව් පැවසුණත්, එය කාලයත් සමඟ ගැලවී යෑමටත්, ගෙවී යාමටත් ඇත්තේ ඉහළ ප්‍රවණතාවකි. නැවත නැවත දතක් පිරවීමට සිදුවීම යනු වේදනාකාරී මෙන්ම දත අහිමිව යාමේ හැකියාව ඉහළ නංවන අකාර්යක්ෂම පිළියමක් බව බොහෝ දෙනකු නොදන්නවා වුවත්, සත්‍ය එයයි. එසේම විෂ සහිත රසදිය අඩංගු සංයෝගයක් වන ඇමල්ගම් මුවේ දීර්ඝකාලීනව රඳවා ගැනීම කෙතරම් දුරට ආරක්ෂාකාරී ද යන්නත් ගැටලුසහගතය. නමුත් ‘ටයිඩ්ග්ලුසිබ්‘ ඖෂධය යනු මේ සියලු කරුණු කාරණා උඩුයටිකුරු කරන අපූරුම සොයාගැනීමක් බව කියන්නේ එහි එකී අද්විතීය ක්‍රියාකාරීත්වය සොයා ගැනීමට පුරෝගාමි වූ මහාචාර්ය පෝල් ෂාර්ප්ය.

    “ටයිඩ්ග්ලුසිබ් ඖෂධය දතක ප්‍රාථමික සෛල උත්තේජනය කරවලා, දන්තිනය කියන කොටස නිර්මාණය කරන්නේ, දතේ ඉතිරි කොටස් සමඟ අපූරුවට පෑහෙන විදිහටයි. කෘත්‍රීමව පුරවපු දතක පිරවුම ගැලවී ගියත්, පුනර්වර්ධනය වූ කොටස එලෙස ගැලවී යාමක් සිදු වන්නේ නැහැ. එවැනි පුනර්වර්ධිත පිරවුමකින් ඔබට හිමි වන්නේ පෙර තිබුණු දතට හැම අතින්ම සමාන සජීවි, ප්‍රාණවත් දතක්. “

     

    ආරක්ෂක ආවරණ

    ‘ටයිඩ්ග්ලුසිබ්‘ ඖෂධයෙන් කරන්නේ දතක දන්තිනය කියන කොටස නිර්මාණය කරන කල්ක කුහරයේ ඇති ප්‍රාථමික සෛල උත්තේජනය කරවීමක්. දත් දිරා යෑමේ දී මුලින්ම සිදු වන්නේ දතක බාහිරවම පිහිටි ශක්තිමත් ආවරණය වන එනැමලය දිරා යාමයි. ඊට යටින් පිහිටි දන්තිනය කියන ඛනිජමය කොටස දිරා ගොස් කල්ක කුහරය බාහිරට නිරාවරණය වූ විටයි දිරාපත් වූ දතක් වේදනාකාරී තත්ත්වයට පත්වන්නේ. ඊට හේතුව කල්ක කුහරයේ රුධිර සෛල හා ස්නායු සෛල පිහිටා තිබීමයි. ඇතැම් තත්ත්ව යටතේ ඉතාම තුනී ආරක්ෂක ආවරණයක් නිර්මාණය කිරීමට කල්ක කුහරයට හැකියාව තිබුණත්, දිරා ගිය දතක කුහරය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමට තරම් එම ආවරණය ප්‍රබල වන්නේ නැත. ‘ටයිඩ්ග්ලුසිබ්‘ මඟින් කරන්නේ එලෙස ස්වභාවිකව දන්තිනය ප්‍රතිනිර්මාණය වීම වළක්වන GSK-3 නැමැති එන්සයිමයේ ක්‍රියාකාරීත්වය වැළැක්වීමයි. මීයන් යොදා ගනිමින් සිදු කළ මෙම අත්හදා බැලිමේ දී මහාචාර්ය ෂාර්ප් ඇතුළු පිරිස කොලැජන්වලින් තැනූ ස්පන්ජිමය ද්‍රව්‍යයක් ‘ටයිඩ්ග්ලුසිබ්‘ ඖෂධයේ පොඟවා දිරාපත් දත්වල කුහරයේ තැන්පත් කිරීමයි සිදු කළේ. සති හයකට පසුව ලද ප්‍රතිඵල විශ්මයජනක විය. ස්පන්ජිමය කොලැජන් දිරාපත්ව ගොස් තිබුණු අතර, කලින් දිරාගොස් තිබුණු දත මුළුමනින්ම පිළිසකර වී යථා තත්ත්වයට පත්ව තිබුණේ කවුරුත් පුදුමයට පත්කරමිනුයි. විශාල කුහර පිරිවීමට මෙය ඉතාම සාර්ථක පිළියමක් වන්නේ ඉන් දතක් ස්වභාවික ලෙස පිළිසකර වීමක් සිදු වන්නේ, දන්තිනය ප්‍රතිස්ථාපනය කරන අතරවාරයේ දී, කල්ක කුහරයටත් මනා ආරක්ෂාවක් සපයමින් වීම නිසයි.

     

    කල්ක කුහරය

    ‘ටයිඩ්ග්ලුසිබ්‘ ඖෂධය මිල අඩු, එමෙන්ම අතුරු ආබාධ රහිත, භාවිතයට සුදුසු තරම් ආරක්ෂාකාරී බව විද්‍යානූකූලව ඔප්පුව තිබෙන ඖෂධයක් වීම නිසා, එහි මෙම නවතම යෙදවුම නොබෝ කලකින්ම සාර්ථක ලෙස දන්ත ශල්‍යාගාරවල භාවිතයට ගැනීමට හැකි වනු ඇති බව මහාචාර්ය ෂාර්ප් පවසන්නේ බලාපොරොත්තු සහගතවය. දිරාපත් දතක් මෙලෙස පුනර්වර්ධනය කිරීමේ දී වන්නේ කල්ක කුහරය ස්වාභාවික දන්තිනය මඟින් ආවරණය වීමක් නිසා කෘත්‍රීමව සිදු කරන පිරවුමක් මෙන් ගෙවී යාමේ හා ගැලවී යාමේ අවධානමක් මතු වන්නේ නැති වීමත් මෙම ප්‍රතිකාරයේ සාර්ථකත්වයට ඉවහල් වනු ඇති බව මහාචාර්ය ෂාප්ගේ විශ්වාසයයි.

    අහිමි වූ දතක් යළි පෙර පැවති ආකාරයෙන්ම අංගසම්පූර්ණ ලෙස පුනර්වර්ධනය කිරීමට යම් දිනක හැකියාව ලැබේ නම්, එය අවිවාදයෙන්ම දන්ත වෛද්‍ය විද්‍යාවේ අග්‍රගණ්‍යම සොයා ගැනීම වනවා නියතය. ඇතැම් විට ‘ටයිඩ්ග්ලුසිබ්‘ ඖෂධය සම්බන්ධයෙන් සිදු කළ මෙම නවතම සොයාගැනීම, තව දුරටත් මන: කල්පිතයක් නොවූ එම යථාර්ථවාදී ඉලක්කය කරා යන ගමනේ දැවැන්තම කඩඉමක් විය හැකිය.

    ‘ටයිඩ්ග්ලුසිබ්‘ ඖෂධය දන්ත වෛද්‍ය විද්‍යාවේ කරළියට පා තැබීමට ප්‍රථම මානව කලල සෛලවලින් ගත් ප්‍රාථමික සෛල ඇසුරෙන් දතක ප්‍රාරම්භක අවධිය ලෙස සැලකෙන ‘මෞලිකය‘ නැමැති මුල්ම ප්‍රාථමික කොටස නිර්මාණය කිරීමට මහාචාර්ය ෂාප් සමත්ව සිටියද ඊට බාධා එල්ල වුණේ ඇමරිකානු රජයේ හා සදාචාරාත්මක නීතිවලිනි. මන්ද කලල සෛලවලින් ප්‍රාථමික සෛල ගැනීම සදාචාරාත්මක හා නීතිමය පසුබිමක් තුළ ගැටලු සහගත වූ බැවිනි. ‘ටයිඩ්ග්ලුසිබ්‘ ඖෂධය යනු ඒ වෙනුවෙන් යොදාගත හැකි වඩාත්ම කාර්යක්ෂම, ඵලදායී මෙන්ම හැමතින්ම ආරක්ෂාකාරී විකල්පයක් බව දැනටමත් ඔප්පුව හමාරය. දත් ගැලවීමටත්, පිරවීමටත් තිත තබන දිනය වැඩි ඈතක නොවන්නේ එබැවිනි.

     

    රුක්ලන්ති පෙරේරා

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here