දහඩිය හෙළමින් ධාර්මිකව ධනය උපයන්න

    0
    12

    බප/ගම්/ තිත්තපත්තර කනිටු විදුහලේ විදුහල්පති, ශාස්ත්‍රපති, පණ්ඩිත, ත්‍රිපිටක විශාරද වේපතඉර ගුණසිරි හිමි

    කළමනාකරණයකින් තොරවීම හේතු කොටගෙන මිනිසා පිරිහීමට ලක්වන  ආකාරය පිළිබඳව පරාභව සූත්‍රයෙහි “ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ”  ආදී ගාථා පාඨයන් මඟින් පැහැදිලි කර දී තිබෙනවා. වැරදි කාම සේවනයට,  මත් ද්‍රව්‍යවලට සහ සූදුවට ලොල් වීම  හේතුවෙන් ලැබෙන දේ විනාශ වන බව  වත්මන් සමාජය දෙස බැලූ විට  අපට ඉතා හොඳින්ම දක්නට  ලැබෙනවා.

    බෞද්ධ දර්ශනය ලෝකෝත්තර දියුණුව සඳහා මෙන්ම ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ද යොදා ගැනීමට හැකි සාරගර්භ, පරිපූර්ණ දහමකි. නවීන ලෝකයෙහි කුදු මහත් කටයුතු අතරේ අතරමං වී සිටින මිනිසා නිවැරදි මාර්ගය වෙත යොමු කරන්නට බුදු දහම උපයෝගි කර ගත හැකිය. ආර්ථිකය බිඳ නොවැටී ශක්තිමත්ව පවත්වාගෙන යෑම පිළිබඳව බෞද්ධ දර්ශනයෙහි සඳහන් කරුණු කාරණා අන්තර්ගත කරමින් අද ධර්ම සාකච්ඡාව සඳහා එක් වන්නේ බප/ගම්/ තිත්තපත්තර කනිටු විදුහලේ විදුහල්පති, ශාස්ත්‍රපති, පණ්ඩිත, ත්‍රිපිටක විශාරද වේපතඉර ගුණසිරි ස්වාමීන් වහන්සේයි.

    l ස්වාමීන් වහන්ස බුද්ධ දේශනාවෙහි ධනය ඉපැයීම පිළිබඳව සඳහන් කර තිබෙන්නේ කෙබඳු අදහසක්ද?

    ධනය ඉපැයීම විවිධ මාර්ග ඔස්සේ සිදු කරන්න පුළුවන්. එහෙත් බෞද්ධ දර්ශනයට අනුව ධනය ඉපැයිය යුත්තේ ධාර්මිකවයි. බුදු දහම තුළ ආදායම් උත්පාදනය පිළිබඳ සඳහන් වන සෑම ස්ථානයකම ‘ධාර්මික’ කියන වචනය යොදා ගන්නවා. අංගුත්තර නිකායේ පත්තකම්ම සූත්‍රයෙහි “උට්ඨාන විරියාදි ගතේහී – බාහා බල පරිචිතේහි

    සේදාවක්ඛිත්තේහි – ධම්මකේහි ධම්ම ලද්දේහි” ලෙස සඳහන් වෙනවා. එයින් පැවසෙන්නේ ධනය ඉපැයීමේදී උත්සාහය, වීර්යය, ශක්තිය සමඟ දහඩිය හෙළමින් ධාර්මිකව ධනය ඉපැයිය යුතු බවයි.

    උපයන්නා සෑම විටම දක්ෂයෙක් විය යුතුයි. එසේම ඔහු අලසයෙක් නොවිය යුතුයි. එපමණක් නොවෙයි ඔහු උපායශීලී සහ විමර්ශනශීලී ද විය යුතුයි. වර්තමාන සමාජය දෙස බලන විට, බොහෝ දෙනා ධනය ඉප­ැයීමේ දී, මේ කියන කරුණු ඔවුන් තුළ නැති වග දක්නට ලැබෙනවා. එබැවින් ඔවුන් තුළ යම් කිසි පසුගාමී බවක් දක්නට ලැබෙනවා. ජාතක පොතෙහි සඳහන් චුල්ලසෙට්ඨි ජාතකය බොහෝ දෙනා අසා ඇති කතාවක්. එයින් වර්තමාන සමාජයට ගත හැකි ආදර්ශය ඉතා විශාලයි. චුල්ලසෙට්ඨි සිටුවරයා විසින් ඉවත දැමූ මී කුණක් දක්වා කරන ලද ප්‍රකාශය සිත්හි ධාරණය කරගත් චුල්ලන්තේවාසික ඒ අනුව ක්‍රියා කිරීමෙන් පසුව මහා ධන ඇති සිටුවරයෙක් බවට පත්වනවා. ඔහු තුළ තිබූ උත්සාහය, වීර්යය, විමර්ශනශීලී බව ආදී කරුණු වත්මන් සමාජය වෙත ද ආරෝපණය කර ගන්නට හැකි නම් ධනය උත්පාදනය කර ගැනීමේදී එය විශාල රුකුලක් බවට පත්වෙනවා.

     

    l ස්වාමීන් වහන්ස, බුදුදහම තුළ ධනය ඉපැයිය යුතු ක්‍රමවේදයන් සඳහන් කර තිබෙනවා ද?

    සිඟාලෝවාද සූත්‍රයෙහි දේශනා කරන ලද

    “භෝගේ සංහර මානස්ස – බමරස්සේව ඉරියතෝ

    භෝගා සංනිචයං යන්ති – වම්මිකෝ වූප චීයතී” යන ගාථාවෙන් කියැවෙන්නෙ ධනය උත්පාදනය කිරීමේදී එය සිදු කළ යුත්තේ බඹරකු මලකින් රොන් ගන්නා ආකාරයට බවයි. මල නොතලා රොන් පමණක් ගැනීම ඉන් අදහස් කරනවා. එසේ උපයන පුද්ගලයාගේ ධනය වේයන් බඳින තුඹසක් සේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වනවා. එයින් පැහැදිලි වන්නේ එකවර විශාල ධනස්කන්ධයක් උපයන්නට නොගොස් ක්‍රමයෙන් ධනවත්භාවය වැඩි දියුණු කර ගන්නා ආකාරයයි. ධනය ඉපයීමේ දී කිසිදු අවස්ථාවක තවත් කෙනකුට හානියක් සිදු නොකළ යුතු බව විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි.

     

    l යම් පුද්ගල­‍ෙයකුට තමා උපයන ධනය නිවැරැදිව පරිභෝජනය කරනවාද යන්න පිළිබඳව ස්වයං තක්සේරුවකට එළඹෙන්නට හැකි ද?

    අංගුත්තර නිකායේ අණන සූත්‍රය තුළ ගිහි සැප හතරක් සඳහන් වෙනවා.

    1. අත්ථි සුඛ 2. භෝග සුඛ 3. අනණ සුඛ 4. අනවජ්ජ සුඛ

    අත්ථි සුඛ ලෙස හැඳින්වෙන්නේ “දහඩිය මහන්සියෙන් ඉපැයූ ධනයක් මට තිබෙනවා”යැයි ඇතිවන සතුට. එම ධනය තමා විසින් පරිභෝජනය කරනවා කියන සතුට, භෝග සුඛ ලෙස හැඳින්වෙනවා. තුන්වන කරුණ ‘අණන සුඛ’. වර්තමාන සමාජය තුළ බොහෝ පුද්ගලයන්ට අත්පත් කර ගන්නට මදක් අසීරු කරුණක්. එයින් කියැවෙන්නේ “මම කිසිවකුට ණය නොවී ජීවත් වනවා” යන සතුට. සිව්වන කාරණයෙන් සඳහන් වන්නේ තුන් දොර සංවර කර ගනිමින් ධාර්මිකව ජීවත් වෙනවා යන සතුටයි.

     

    l ස්වාමීන් වහන්ස, නිවැරදිව ධන පරිභෝජනය කරන ආකාරය පිළිබඳව ධර්මයෙහි දැක්වෙන ඉගැන්වීම් මොනවා ද?

    සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් වන, “ඒකේන භොගේ භුඤ්ජෙය්‍ය – ද්වීහි කම්මං පයෝජයේ

    චතුත්ථං ච නිධාපෙය්‍ය – ආපදාසු භවිස්සති” යන ගාථාව ධනය වියදම් කිරීම පිළිබඳව තිබෙන හොඳම උපදේශයක් ලෙස දක්වන්නට පුළුවන්. එයින් කියැවෙන්නේ උපයන ධනය කොටස් හතරකට බෙදා ගත යුතු බවයි. එසේ බෙදා ගන්නා කොටස් සතරෙන් කොටසක් එදිනෙදා පරිභෝජනයට ගත යුතු බවත් කොටස් දෙකක් යම්කිසි ආයෝජනයක් සඳහා යෙදවිය යුතු බවත් ඉතිරි කොටස තැන්පත් කර යුත් තැබිය යුතු බවත් කියැවෙනවා. කොටසක් තැන්පත් කර තැබීමෙන් තමන්ට යම් කිසි කරදරයක් හෝ මඟහැරීමට නොහැකි අවශ්‍යතාවයක් ඇති වූ විට ප්‍රයෝජනයට ගන්නට හැකියි. බුදුදහමෙහි කළමනාකරණය පිළිබඳව දේශනා කරන ලද ඉතාම වටිනාම තැනක් ලෙස මේ ගාථාව හුවා දක්වන්නට පුළුවන්. වර්තමාන සමාජයේ බොහෝ දෙනා දරිද්‍රතාවයෙන් පෙලෙන්නේ උපයන ධනය නිසි කළමනාකරණයකින් යුතුව ප්‍රයෝජනයට නොගන්නා නිසා.

    මේ කළමනාකරණයකින් තොරවීම හේතු කොටගෙන මිනිසා පිරිහීමට ලක්වන ආකාරය පිළිබඳව පරාභව සූත්‍රයෙහි “ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ” ආදී ගාථා පාඨයන් මඟින් පැහැදිලි කර දී තිබෙනවා. වැරදි කාම සේවනයට, මත් ද්‍රව්‍යවලට සහ සූදුවට ලොල් වීම හේතුවෙන් ලැබෙන දේ විනාශ වන බව වත්මන් සමාජය දෙස බැලූ විට අපට ඉතා හොඳින්ම දක්නට ලැබෙනවා. ඉහත කරුණුවලට අමතරව පාප මිත්‍ර සේවනය ද උපයන ධනය විනාශ වීමට හේතුවක් ලෙස බුදු දහමෙහි පෙන්වා දෙනවා.

     

    l ධන පරිභෝජනය සන්තුෂ්ටි දායක ලෙස සිදු කරන්නට නම් වර්ධනය කර ගත යුතු මනෝභාවයන් මොනවා ද?

    වර්තමාන ලෝකය සකස් වී තිබෙන්නේ අධිපරිභෝජන රටාවකින්. මිනිසා දැඩි ආශාවන්වලින් ගහන වීම හේතුවෙන් ධනය පරිභෝජනය කළමනාකරණයකින් තොර වීම සහ සතුටුදායක මනසකින් යුතුව ජීවත් වීමට නොහැකි වී තිබෙනවා. තම සීමාවට එහා වියදම් කිරීම තුළ තමන්ගේ සිතැඟි තෘප්තිමත් කර ගැනීමට මිනිසුන් හුරු වී තිබීම ගැටලු රැසක් නිර්මාණය කරන්නට හේතු වී ඇති බව පෙනෙනවා. ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම නිසා අපහසුතාවයට පත් වී සිටි කොසොල් රජතුමාට අඩුවෙන් ආහාර ගැනීමෙන් අපහසුතා මැඩ ගන්නා ආකාරය පිළිබඳ, බුදුරජාණන් වහන්සේ දුන් උපදෙස බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන සිදුවීමක්.

    අධි පරිභෝජනය සෑම විටම කායික සහ මානසික අපහසුතාවන්ට හේතු වනවා. අඩුවෙන් පරිභෝජනය කිරීම යනුවෙන් සඳහන් වන්නේ තමාට සෑහෙන ප්‍රමාණය නිවැරදිව දැන ගෙන පරිභෝජනය කිරීමයි. ආහාර හෝ වේවා වෙනත් ඕනෑම භෞතික සාධකයක් හෝ වේවා එය තමන්ට අවශ්‍ය ද?, අවශ්‍ය නම් කොතරම් ප්‍රමාණයකින් ද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් සෑම කෙනෙක් තුළම තිබිය යුතුයි.

    නිවැරදි ආර්ථික කළමනාකරණයකින් තොරව ජීවත් වීම නිසා පවුල් ප්‍රශ්න ආදී සමාජ ගැටලු රැසකට මුහුණ දෙන්නට මිනිසුන්ට සිදු වෙනවා. ජීවිතය සරල සහ අල්පේච්ඡ වන තරමට දැනෙන අපහසුතා සහ මුහුණ දෙන්නට සිදුවන ගැටලු අවම වෙනවා. එසේම විවිධ ඇබ්බැහිවීම් සහ ඇලීම් ගැලීම් තුළින් සිදුවන්නේත් ධන උත්පාදනය සඳහා තිබෙන වටිනා කාලය විනාශ වී යෑමයි. මේ අනුව බුද්ධ දේශනාවෙහි ඇති ලෞකික ජීවිතයට ගලපා ගත හැකි වටිනා කරුණු මඟින් ජන ජීවිතය කොතරම් දුරට සාර්ථක කරගන්නට හැකි ද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබන්නට පුළුවන්.

    දිල්රූ ජයසේකර

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here