නිදන් සොරුන්ගෙන් රැක ගත යුතු දැඹව ටැම්පිට විහාරය

    0
    23

    දිවයිනේ විහාර චිත්‍ර කලාවේ දියුණුම කාලවකවානුව වනුයේ මහනුවර යුගයයි. මේ වන විට රට පුරා පැරණි විහාරස්ථානයන්හි වැඩියෙන්ම දක්නට ඇත්තේ මෙම යුගයේ අඳින ලද චිත්‍ර වේ. එමෙන්ම මෙම චිත්‍රයන්ට සමගාමීව ප්‍රතිමා ඉදිකිරීම් ද මෙම යුගයේ බහුලව සිදු කර ඇත.

    මේ අනුව විහාර පරිශ්‍රයන්හි ටැම්පිට විහාර වැඩි වශයෙන් ඉදිකිරීම ද බිහි වූයේ මෙම අවදියේය. අඩි දෙක තුනක් උසැති කළු ගල් කුලුනු මත ඉදිකර ඇති මෙම විහාරයන් වර්ග අඩි දෙතුන් සීයකට පමණ සීමා වී තිබේ. ලීයෙන් නිම වන ලද අත්තිවාරමක් මත වරිච්චි බිත්තියෙන් නිම කර ඇති මෙම ටැම්පිට විහාර ගොඩනැඟිලි ඉතා ශක්තිමත්ව නිම කිරීම ද මෙහි වි‍ශේෂත්වයකි.

    මාතලේ දිස්ත්‍රික්කයට අයත් කන්දපල්ල කෝරලයෙහි දැඹව පුරාණ විහාරස්ථාන පරිශ්‍රයෙහි ඉදිකර ඇති ටැම්පිට විහාරය ද මෙම යුගයට අයත් බව ඵෙතිහාසික ලේඛණවල දක්නට ඇත. පැරණියේ එක්තරා ඵෙතිහාසික ගමන් මඟක පිහිටි මෙම ටැම්පිට විහාරස්ථානය හමු වනුයේ මාතලේ ගලේවෙල මාර්ගයේ සැතපුම් විසිදෙකක් පමණ පැමිණ මාදිපොළ මංසන්ධියෙන් වමට හැරී තවත් සැතපුම් දෙකක් පමණ එම මාර්ගය ඔස්සේ ගමන් කළ විටය.

    එමෙන්ම මෙම ටැම්පිට විහාරයෙහි බිතුසිතුවම් බොහෝ දුරට දඹුලු ලෙන් විහාර චිත්‍රවලට සමානකම් දක්වයි. මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ අවධියේ රාජ්‍ය අනුග්‍රහය මත ප්‍රාදේශීය පාලකයකු විසින් මෙම විහාරස්ථානය ඉදි කළ බව සැලකේ.

    පසුකාලයේ මෙහි ඇති චිත්‍රයන්ගේ විශේෂත්වය ගැන සලකා රජය විසින් මීට වසර කීපයකට පෙර මෙම විහාර චිත්‍රයන් විදහා දැක්වෙන මුද්දරයක් ද නිකුත් කර ඇත.මේ අතර මේ වන විට මෙම ටැම්පිට විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව ඇති බැවින් මෙහි කිසිදු නඩත්තු කිරීමක් සිදු කිරීමට වෙනත් කිසිවකුට නොහැකිය. මෙම තත්ත්වය නිසා දිවයිනේ වෙනත් පුරාවිද්‍යා ස්ථාන ගරා වැටෙන ආකාරයට මෙම විහාරස්ථානය ද මේ වන විට ජරාවාස වෙමින් පවතී.

    තවද මෙම විහාරස්ථානයේ ඉදිකරන ලද ලීයෙන් තැනූ දිරා ගොස් තිබූ අත්තිවාරම පමණක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට වසර කීපයකට පෙර පිළිසකර කර ඇත. ඒ හැර වෙනත් කිසිදු සංරක්ෂණයක් මෙහි සිදුකර නොමැත.

    අතීතයේ මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන් යාකෙරෙන මාර්ගයක් මෙම විහාරස්ථානය අසලින් වැටී තිබු බවට සලකුණු තවමත් විද්‍යමානව පවතින බව පෙදෙසේ පැරැන්නෝ ද පවසති. ඵෙතිහාසික අම්බොක්ක දෙවොලට යන මාර්ගයේ ඇති පැරණි ගල්අම්බලම ද එහි මාර්ග සලකුණක් බව ඔවුන් පවසයි.

    එමෙන්ම 1848 වසරේදි බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව ඇතිවු උඩරට කැරැල්ලෙහි කැරලිකරුවන් මෙම මාර්ගය ඔස්සේ කුරුණෑගල දක්වා ගමන් කළ බව ද අනාවරණය වේ.

    මහනුවර යුගයේ උඩරට සෑම පළාතකම පාහේ ටැම්පිට විහාර රාජ්‍ය මෙන්ම ප්‍රභූවරුන්ගේ අනුග්‍රහය මත ඉදිවුවත් දැඹව ටැම්පිට විහාරස්ථානයේ චිත්‍රයන්ගේ යම්කිසි විශේෂත්වයක් දක්නට ඇත. එදා මෙම පෙදෙසේ ගම්වාසීන් රැසකට වැඳුම් පිදුම් කිරීමට තිබුණේ ද මෙම විහාරස්ථානයයි.

    එමෙන්ම මෙම විහාරස්ථානයේ ඇති අඩි එකහමාරක් පමණ උසැති සඳුන් පිළිමයක් ද මීට පෙර අවස්ථා කීපයකදීම සොරා ගෙන ගොස් ඇතත් පසුව එය සොයා ගැනීමට හැකිව ඇත්තේ මෙම ස්ථානයේ පවතින අනුහසින් බව පැරැන්නන්ගේ මතය වී ඇත.

    කෙසේ වෙතත් මෙම ටැම්පිට විහාරය නඩත්තු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු නොවීම නිසා මෙහි චිත්‍ර දැන‍ට විනාශ වෙමින් පවතී. බිත්ති බදාම පුපුරා තැනින් තැන ඉරිතලා යෑම නිසා මෙහි චිත්‍ර පතුරු වශයෙන් ගැලවී යෑමට ද පටන් ගෙන තිබේ. එමෙන්ම මෙම චිත්‍ර සහ ප්‍රතිමා සියල්ල ද මේ වන විට දුර්වර්ණ වෙමින් පවතී.

    එපමණක් නොව මෙම විහාර ගෙයි වියන් චිත්‍ර ද සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගොස් ඇති අතර මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත් දැඹව ටැම්පිට විහාරයේ ඉතිරි චිත්‍ර මෙන්ම ප්‍රතිමාවන් ද විනාශ වී යෑම නොවැළැක්විය හැකි බව පෙදෙස්වාසීහු අවධාරණය කරති.

    ‍දිවයිනේ ඇති පුරාවිද්‍ය ස්ථාන වැඩි ප්‍රමාණයක් නඩත්තු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇති අතර එම ඵෙතිහාසික නටබුන් තවදුරටත් විනාශ වී යෑමට ඉඩ නොදී විහාර පරිශ්‍රයන්හි ඇති පුරාවිදු නටබුන් සියල්ල අදාළ විහාරස්ථානයන්ට භාර දෙන්නේ නම් මෙම ස්ථාන ආරක්ෂා කිරීමට හැකි වන බව ජනතාවගේ විශ්වාසය වී ඇත. එසේ නොමැතිව මෙම නටබුන් ඇති ස්ථාන පුරාවිද්‍යා රක්ෂිත ලෙස ප්‍රසිද්ධියේ නම් කිරීමෙන් නිදන් හොරුන්ට සිය අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා මෙය හොඳ අවස්ථාවක් වන බව මොවුහු වැඩිදුරටත් සදහන් කරති.

    මේ සම්බන්ධයෙන් විහාරාධිපති පූජ්‍ය දේවහුවේ චන්දානන්ද නාහිමියන් පැවසුවේ මෙසේය.

    ‍”මහනුවර යුගයේ ඉදිකර ඇති මෙම ටැම්පිට විහාරයෙහි චිත්‍ර විදහා දැක්වෙන මුද්දරයක් ද රජය විසින් නිකුත් කර තිබෙනවා. මෙම විහාරස්ථානය අතීතයේ සිට පවතින ඉතා වටිනා බෞද්ධ සිද්ධස්ථානයක්. මෙය සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා නිලධාරින්ගේ අවධානය යොමුවීම කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. මෙහි දිරාගිය ලී අත්තිවරම පමණයි පිළිසකර කර තිබෙන්නේ. වෙන කිසිවක් සංරක්ෂණය කර නෑ. එබැවින් මෙම වටිනා ටැම්පිට විහාරය සංරක්ෂණය කර අනාගත පරපුරට එය ලබා දිය යුතුයි.”

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here