බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් දෙන්න අගමැති මහින්දගෙන් රාජ්‍ය ඇමැතිට උපදෙස්

0
29

 

බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම් දෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ඇමැතිවරයාට උපදෙස් දී තිබේ.

මහා පරිමාණ හා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳීමට අගමැතිවරයා පෙරේදා (09) විෂය භාර රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතාට උපදෙස් දුන් අතර අන්තර්ජාල සූම් තාක්ෂණය ඔස්සේ මහා පරිමාණ හා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදක සංගම් අධ්‍යක්ෂ මණ්ඩල සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. අභිජනන සතෙකුගේ මිල රුපියල් 220 සිට රුපියල් 175 දක්වා පහළ දැමීම, වසරකට ගෙන්වන මව් සතුන් සංඛ්‍යාව අසූ දාහකට සීමා කිරීම, සත්ත්ව අහාර මිලදී ගැනීම හා ගබඩා කිරීමේ ණය සහන ලබා ගැනීම, නීතියට පටහැනි අභිජනන මධ්‍යස්ථාන තුනක කටයුතු නැවත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම්වල අධ්‍යක්ෂ මණ්ඩල මෙහිදී අගමැතිවරයාට යොමු කෙරිණි.

අදාළ ණය සහන පහසුකම් ලබාදීමේ කටයුතු සඳහා ඒ මොහොතේම නිලධාරීන් දැනුවත් කළ අගමැතිවරයා අනෙකුත් ගැටලු නිරාකරණය කිරීම රාජ්‍ය ඇමැති ඩී.බී හේරත් මහතාට උපදෙස් දුන්නේය. වෙළඳපොළ බිත්තර මිල මේ වනවිට පහළ ගොස් ඇති බව ද මෙහිදී අනාවරණය විය.

මෙම අවස්ථාවට ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, පශු සම්පත්,ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර අශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමිත් උඩුකුඹුර, බී.වයි.ජී රත්නසේකර, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම් සරත් රත්නායක මහත්වර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here