මඩුවන්ගේ පියාසැරිය

    0
    11

    සදහටම මලානික සුදකින් වැහිල තියෙයි කියල හිතුව අහස නිල් පාට කවාකාර ඉරි කිහිපයකට පෑදී ගියා. සුදු පාට, ඉදිරි ක්ෂිතිජය මත යෝධ අහස් රාජධානියක් වගේ පර්වතයකට ගොඩගැහෙන්න වුණා. එපමණක් නෙවෙයි, මන්දාකිණිය වගේ බාහු ගැහෙමින් කරකැවුණු ගන වලා තීරු අතරින් අඳුරු ඡායා මතු වෙවී අතුරුදන් වුණා. මඩුවෝ! උන් අහස කලතනවා!

    වාහනය පිම්මේ දුවන්නේ ඒ දිහාට. කුණාටුවේ කේන්ද්‍රය දිහාට.

    විද්යුත් ආරෝපණ, පහත් ගුම් ගුම් නාදය, ඉදිරියෙන් ගොඩගැහෙන කුණාටුවේ ගොරොද්දය මේ හැම එකක්ම කැට්ට සැඟවී සිටින තැනින් නැගිටින්න බල කළා. මරණය නොවේ නිරාකරණය කරගත යුතු ප්‍රශ්නය, මරණය ගෙනෙන්නේ කුමනාකාර යක්ෂයෙක් ද යන වග. එහෙම නෙවෙයි ද, ලෝකයේ මරණය ගෙනෙන හේතුවට වඩා මරණයට බිය වූ කිසිම කෙනෙක් හමු වෙලා තියෙනව ද?

    රූපට්, වේග මානය දිහා බලමින්, බිම තව තවත් හිමෙන් නිදහස් වන ආකාරය බලමින්, ඇක්සලරේටරය අල්ලගෙන්න පුළුවන් තරම් වේලා ඉන්න බැලුවා. ඒත් බිම තාම තෙතයි. වාහනය නුපුරුදුයි වගේ. හුළඟ නොසන්සුන්. පැයට කිලෝමීටර් එකසිය දෙක. අරමුණට යන්න පුළුවන් ද?

    රූපට් ඒ වෙලේ කල්පනා නොකර ගවේශනයට යොමු කළ ප්‍රශ්නයත් මරණය; මරණයට මිනිස්සු බය ඇයි? වේදනාවට ද? එහෙනම් වේදනා විරහිත, වේදනා නාශක පිරැවූ මරණයකට? නෑ. මිනිස්සු බය මරණයට නෙවෙයි. මිනිස්සු බය මැරෙන වෙලාවට දැනෙන, මැරෙනව නම් මම මේ තරම් කල් ජීවත් වුණේ ඇයි කියන ප්‍රශ්නෙට. ඒ ප්‍රශ්නෙට කවදාවත් පිළිතුරක් නොලැබෙන එක ගැන. මේ තරම් කල් මහන්සි වෙලා ජීවිතය කියල ගොඩනගා ගත්ත දේවල්වලට තේරුමක් නැතුව යන එක ගැන. අන්න ඒකටයි බය. ඔහුට ඕනෑ වුණේ වේගය, පැයට කිලෝමීටර් එකසිය දෙක. එච්චරයි. ඒ තේරුම ඇති. මරණයෙන් ඊට වඩා වැඩක් නෑ. කිසිම වැදගැම්මකට නැති දෙයක්.

    කැට් ඊළඟට හිතුවේ ප්‍රායෝගික ප්‍රශ්නයක්. රූපට් අවධානයෙන් වාහනය ධාවනය කරන අතර හදිසියේ පිටුපසින් හඬක් හරි රූපයක් හරි මතු වුණොත් කුමක් සිද්ධ වෙයි ද යන්න. හදිසි අනතුරකින් අවසන් වෙන්න ඉඩ තියෙනවා. ඉතාම සුගම ලෙස තමා හඳුන්වා දෙන්න විදියක් තියෙනව ද?

    කැට් ඊළඟට කල්පනා කළේ ඇයි තමා හැංඟෙන්න කල්පනා කළේ යන්න. ඒ විතරක් නෙවෙයි තමා රූපට් එක්ක මේ වෙනකන් අපරාධකාරයා-රහස් පරීක්ෂකයා සෙල්ලම් කළේ ඇයි යන්න. ඒකට කිසිම හේතුවක් තිබුණේ නෑ. සමහර විට කාලගුණේ වෙන්න පුළුවන්. කැට් ඇද වුණු මුහුණෙන් හිතුවා. හැමදේම හීතල වෙලා. මළගිය පාට ගැහිලා. මිනිස්සු අතර අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ සැකය වෛරය වගේ ශීතල දේවල් විතරක් වෙන්න පුළුවන්. හදවත් ගල් ගැහිලා.

    කැට් සැඟවී සිටියත් නැතත් හදිසි අනතුරක් අනිවාර්‍යය වෙන්න පුළුවන්. එහෙම නැතත් ශීතල ටිකෙන් ටික මරණය ළං කරාවි. එහෙම නැතත් කාට ද මේ මූසල පාළු ලෝකේ තනියම, පොරෝනා ගොඩක් අස්සේ, ගිනි අඟුරු ගොඩකට පිඹ පිඹ ඉන්න පුළුවන්? කැට් එකපාරම නැඟිට්ටා.

    “කලබල වෙන්න එපා මිස්ටර් රූපට්. මම කැතරින්, මට කැට් කියල කියන්න.”

    ඇය ගැහෙන හදින් ඉදිරි ආසන දෙක මැදින් පේන්න අසුනේ ඉඳගත්තා. ඒත් රූපට් විස්මයට පත් වුණේ නෑ, ඒ නිසාම කැට් විස්මයට පත් වුණා. කණ්ණාඩියෙන් දෙවරක් විතර බලපු රූපට් පාර දිහා ඇස් තියාගත්තා.

    “හොරෙන් ම වාහනේට නැග්ගා නේද? රස්නෙට වෙන්න ඇති…”

    ඊළඟට ඔහු ඔහුගේ වම්පස ආසනේට තට්ටුවක් දැම්මා. “ම්ම් … එන්න … ඉඳගන්න.”

    කැට් කිසිම දෙයක් කියාගන්න බැරුව බලාගෙන හිටියා. රූපට් ආයෙත් සීට් එකට තට්ටු කළා. “එන්න එන්න ඉස්සරහට.” ඔහු කතා කරන විදිය හරි අමුතුයි.

    මිනිස්සුට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණාම පාලනය කරන්න ලේසියි. හරස් පොලු කපල ඉවත් කරල තිබුණු නිසා කැට්ට ආසන දෙක මැදින් රිංගලා ඉස්සරට යන්න පුළුවන් වුණා. ගිය රට කකුල වද්දා නොගන්න පරිස්සමින් ඈ වම් පස ආසනයට වැටුණා. එහෙම්ම හිටියා.

    “මොකද කම්මැළි කමේ ද හිටියේ? නැත්නම් බඩගින්නෙ ද?” රූපට් කැට්ගේ ඔළුව අතගාලා ඇහුවා. කැට් ඇස් ලොකු කරගෙන රූපට් දිහා බලලා වින්ඩ්ස්ක්‍රීන් එකෙන් එහ උමතුවෙන් පිටුපසට යන ලෝකය දිහා බැලුවා.

    “කිරි ටිකක් දෙන්න ද?” රූපට් ආයේ කැට්ගේ ඔළුවට තට්ටු කළා. කෙළින් පාර. ආයේ ඇක්සලරේටරය තද කළා.

    “කිරි ටිකක් දෙන්න ද?” කැට් තමන්ටම කියා ගත්තා.

    “මම මිස්ටර් රූපට් ජයසිංහ හම්බෙන්න ආවේ විශේෂ හේතුවකට…” කතාව ආරම්භ කරන්න වෙන විදියක් නෑ, බොහොම එපා කරන විදියට ඇය කතා කරන්න ගත්තා.

    “මොකද මොකද මේ කියන්න හදන්නේ?” රූපට් ළමයෙක් හු‍රතල් කරනවා වගේ අමුතු විදියකට කැට්ගේ ඔළුව අතගාලා ආයෙත් තට්ටුවක් දැම්මා. “ඔහොම දඟ කරන්නැතුව ඉන්න.”

    කැට් ආයෙත් වචන හිරකර ගත්තා.

    වාහනය සීතලෙන් වෙව්ලුවමින් දැවැන්ත ඡායාවක් වාහනයට ඉහළින් සමාන්තරව පාවෙන බව වින්ඩ්ස්ක්‍රීනයේ ඉහළ කොනේ සටහන් වුණා. ටිකෙන් ටික ඒ මඩුවා අහසට නැගුණා.

    ඉදිරි මාර්ගය සෘජුයි. ඇටසැකිලි වගේ ගස් හිම ඉහගෙන කඩා වැටෙනවා. නිල් පාට එළිය! විදුලි එළි! පහත් ගෙරැවුම. අකුණුවලට වඩා වෙනස්. ඉදිරියේ එතෙන වලා ගැබ සහ පොළොව අතර විදුලි පොළා පැනීම්. දෙන්නාගේ අත්වල රෝම දිගෑදිලා. කොණ්ඩේ අහසට නැගෙන්න අරගෙන. “මිස්ටර් රූපට්. කොහෙද මේ යන්නේ?” කැට් එක පාරම ඇහුවා.

    “අන්තිමට එහෙනම් ආවා නේද මගෙත් එක්ක.” රූපට් කැට් දිහා ක්ෂණයක බැල්මක් හෙලන්න විතරක් කාලය අරගෙන වේග මානය දිහා බැලුවා. ඔහුගේ මූණේ හිනාවක්. වේගය පැයට කිලෝමීටර් අසූ දෙක පැන්නා.

    අහා! කැට් ආයේ ඉස්සරහ බැලුවා ආයේ රූපට් දිහා බැලුවා.

    මං පූසෙක් ද? කැට් අර අමුතු සිතුවිල්ලට ආයේ වැටුණා. මං පූසෙක් ද?

     

    මතු සම්බන්ධයි

    තාරක කල්දේරා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here