මනසින් මනසට සන්නිවේදනය කිරීමට හැකි නම්

    0
    14

    ඔබ තනිව ගමන් කරමින් සිටියදී, පාළු හුදෙකලා ප්‍රදේශයක දී ඔබේ මෝටර් රථය අනතුරකට ලක් වූවා යැයි සිතන්න. යටිකුරුව පෙරළුණු වාහනය තුළ සිර වූ ඔබේ ජංගම දුරකතනය ද අත පෙවිය හැකි මානයක නැත. කරකියාගත දෙයක් නොමැතිව සිටින ඔබේ සිතේ තෙරපෙන එකම සිතුවිල්ල වන්නේ මොනයම් ක්‍රමයකින් හෝ මෙම උපද්‍රවයෙන් ගැලවෙන්න සහාය ඉල්ලන්නේ කෙසේ ද කියාය. ඔබව පුදුමයෙන් පුදුමයට පත් කරමින් එක්වරම ඔබට අවබෝධ වන්නේ එලෙස සිතීමෙන් පමණක්, සිතිවිලි තරංග ඔස්සේ උදව් ඔබ කරා පැමිණ ඇති බවය. උදවු පතා ඔබ කළ චෛතසික ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් හදිසි උපකාර සේවා ගිලන් රථ ඔබ වෙත පැමිණෙද් දී ඔබේ මනසේ පසුබිමින් නැඟෙන සැනසිලිසහගත හඬකින් ඔබව සන්සුන් කෙරෙනු ඇත. ඒ හඬ ගිලන් රථ සේවා නිලධාරියකුගේ බව ඔබට තේරුම් යනු ඇත. මනසින් මනසට කෙරෙන මෙබඳු සන්නිවේදනයක් යම් දිනෙක දී යථාර්ථයක් බවට පත් විය හැකි ද?

    වචනයෙන් ප්‍රකාශ නොකර සිතුවිලි, මනසින් මනසට සෘජුවම සන්නිවේදනය කිරීමට හැකියාව ලැබේ නම් අදහස් ප්‍රකාශ කිරීම කෙතරම් වේගවත්ව සිදු කිරීමට හැකි වනු ඇති ද? හැඟීම් වචනයට නොපෙරළා මනසින් ප්‍රකාශ කිරීමට ලැබේ නම් එය කෙබඳු අත්දැකීමක් වනු ඇති ද? එකිනෙකාගේ මනස කියැවීමට අපට හැකියාව ලැබේ නම් තව දුරටත් අපේ පෞද්ගලිකත්වය හා හැඟීම් අපටම සීමා වූ රහසක් ලෙස තබා ගැනීමට නොහැකි වනු ඇති ද? දළ වශයෙන් ගත් කළ දිනක දී ඕනෑම පුද්ගලයකුට සිතුවිලි පනස් දහසක් පමණ පහළ වුව ද ඒ සියල්ල වචනයට පෙරළීමට අප කවුරුත් උත්සාහ දරන්නේ නැත. උත්සාහ දැරුව ද වර්තමානයේ අප සතුව ඇති සීමිත වේගයකින් යුතු සන්නිවේදන මාධ්‍යන් භාවිතයෙන් එය ළඟා කර ගත නොහැකි ඉලක්කයක් බව ද අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් පරචිත්තඥානය (telepathy) ඇසුරින් මනසින් මනසට අදහස් සන්නිවේදනය කළ හැකි නම් ඉන් දැනට සතුව ඇති තාක්ෂණය අපට සිතාගත නොහැකි අන්තයන්ට විස්තාරණය කිරීමට සේම සමස්ත මානව සංහතියම පරිණාමයේ නවතම ඉසව්වකට ඔසවා තැබීමට ද හැකි වනවාට සැක නැත. එය යථාර්ථයක් වනු දැකීමට නම් දැනට පවත්නා තාක්ෂණය වඩාත් ක්ෂුද්‍ර, ආරක්ෂිත මෙන්ම සවිමත් බවට විය යුතුය. නවෝත්පාදනයේ දොරගුළු විවෘත කරවන ප්‍රධානම යතුර අදහස් හුවමාරුව වන බැවින්, එකිනෙකාගේ මොළ එකිනෙකට සම්බන්ධ වූ දැවැන්ත ‘මනස් ජාලයක්‘ ඔස්සේ ක්ෂණිකව දැනුම හා තොරතුරු හුවමාරු කර ගැනීමට හැකිවීමෙන්, ඒවා විශ්ලේෂණයට, විචාරයට ලක් කෙරෙන හා විස්තාරණය වන වේගය ශීඝ්‍රයන් ඉහළ යනු ඇත.

    හමුදා, ක්‍රීඩා, හා විනෝදාත්මක සේවා වැනි සාමුහිකව ක්‍රියාත්මක වන අංශවලට නිහඬව එකිනෙකා හා අදහස් හුවමාරු කරගැනීමට හැකියාව ලැබීමෙන් එකී සේවා වඩාත් උපායශීලී, උපක්‍රමික හා කාර්යක්ෂම තත්ත්වයට පත්වනු ඇත. මනසින් සිදු කරන අදහස් හුවමාරු ගැන කතා කිරීමේ දී අමතක කළ නොහැකි තවත් එක් සුවිශේෂීම ක්ෂේත්‍රයක් වන්නේ කෘත්‍රිම බුද්ධියයි. මනසින් මනසට සිදු කරන සන්නිවේදන සේම මනස හා පරිගණක එකිනෙක යා කෙරෙන අන්තර් මුහුණුවල විප්ලවීය නැඟී සිටීම හමුවේ මිනිසාට කෘත්‍රිම බුද්ධින් සමඟ මනසින් සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබෙනවා ඇත. ඔබේ මෝටර් රථය, ජංගම දුරකතනය හෝ ඇතැම් විට රොබෝ සුරතලාව කෘත්‍රිම බුද්ධියකින් පණ ගැන්වුණු යුගයක ඒවා එක් සිතුවිලි තරංගයකින් හැසිරවීමේ විශ්මිත හැකියාව ඔබ සතුවනු ඇත. අන්‍යන්ගේ සිත් එලෙස හැසිරුව ද ඔබේ මනස එලෙස සිතූ සේ හැසිරවීම ද අනුන්ට අවස්ථාව නොලැබෙනු ඇත්තේ එවැනි නොහොබිනා ක්‍රියාකාරකම් වැළැක්වීමේ යාන්ත්‍රණයක් ද කරළියට පැමිණෙන නිසාය. ඕනෑම අයෙකුට ඕනෑම මනසක් කියැවිම හැකියාව වළක්වා, තමන් තෝරාගත් අදහස් පමණක් මනසින් මනසට සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබෙනවා ඇත. තව දුරටත් වචන හෝ ස්වරතන්ත්‍රවල අවශ්‍යතාවයක් නැති වනු ඇත. භාෂාව අභාවයට ගොස්, ලෝකය වඩාත් නිහඬ ස්ථානයක් බවට පත්වීම නොවැලැක්විය හැකිවනු ඇත.

    ත්‍රස්තවාදීන් හා මිනීමරු චේතනාවන්ගෙන් යුතු මානසික රෝගීන්ව පහසුවෙන් හඳුනාගත හැකි වනු ඇත. මෙවන්වූ අසීමිත, විස්මයජනක හැකියා සමඟ මින් පෙර නුවූ අන්දමේ බියකරු අවධානම් ද මතු වනු ඇත. පරිගණක දත්ත සොරාගන්නන් සේම අපගේ කැමැත්තට පටහැනිව මනසට කඩා වැදී මනසින් දත්ත සොරාගන්නන් සේම, හානිකර දත්තවලින් මනසට බලපෑම් කරන්න ‘චෛතසික හැකර්වරුන්ගේ‘ පිබිදීමක්, මෙවන් යුගයක දී බලාපොරොත්තු විය යුතුය. එසේම මනසින් මනසට කෙරෙන සන්නිවේදන අතර අතරමං නොවී සිටීම ද අභියෝගයක් වනු ඇත. අපගේ මොළයෙන් පිටතට යවන සංඥා සේම මොළයට පිටතින් ලැබෙන සංඥා යන දෙවර්ගයම එකම ස්නායුමය සහ සම්බන්ධකම් මත රඳා පවත්නා බැවින්, පරචිත්තවිඥාණික සංවාද පැවැත්වීමට නම්, ඒවා වෙන්කර හඳුන ගැනීමට තරම් අප බුද්ධිමත් විය යුතුමය.

    අපට නින්ද අවශ්‍ය වන්නේ මන්ද, අපේ සිහිබුද්ධිය ක්‍රියාත්මක වන්නේ කෙසේද වැනි කාරණා ද ඇතුළු අපේ ස්නායු පද්ධතිය පිළිබඳ වැඩියමක් අප නොදන්නේ වුව ද, මොළය යම් පමණින් ‘කියවීමට‘ අප දන්නෙමු. මොළයට ලැබෙන සංඥා පිරිසැකසුමට ලක්කොට එම තොරතුරු විද්යුත් හා රසායනික සංඥා ලෙස සම්ප්‍රේෂණය කිරීම සිදු කරන්නේ ස්නායු විසිනි. එකී සංඥා විද්යුත් නිකර්පණ රේඛණය (EEG–Electroencephalography) ඔස්සේ කියැවීමට අපට දැනටමත් පුළුවන. එපමණක් නොවේ, එකී තොරතුරු මොළයකින් තවත් මොළයක් වෙතට සම්ප්‍රේෂණය කිරීමට සමත් තාක්ෂණයක් ද අපට තිබේ. Trans cranial MagneticSimulation(TMS) නම් මෙම තාක්ෂණයෙන් ග්‍රාහකයෙකුගේ මනසට විද්‍යුත් තරංගයක් යැවීමෙන් එහි කිසියම් සුළු කොටසක්, එනම් තොරතුරු යවන්නාගේ මොළයේ ඒ මොහොතේ ක්‍රියාකාරීව පවත්නා කොටසට අනුරූපී කොටසම උත්තේජනය කිරීමට හැකියාව තිබේ. EEG හා TMS තාක්ෂණ ද්විත්වයේ සංයෝජනයෙන් ස්ථාන දෙකක සිටින පුද්ගලයන් දෙදෙනකුට ඉදිරිපත් කළ ප්‍රශ්නාවලියකට, මනසින් මනසට විද්යුත් තරංග හරහා ‘ඔව්‘ හා ‘නැහැ‘ යන පිළිතුරු හුවමාරු කරගැනීමේ හැකියාව අපට දැනටම තිබේ. නමුත් පරචිත්ත විඥානය යන සංකල්පයට අනුව අදහස් හුවමාරු කර ගැනීමට නම් මෙයට වඩා වඩාත් සංකීර්ණ තාක්ෂණයක් තිබීම අත්‍යවශ්‍යය. ස්නායු සෛල සමඟ හරි හරියට සහයෝගයෙන් ක්‍රියාත්මක වන ඩිජිටල් උපාංග, මොළය තුළ ක්‍රියාත්මක වෙමින් අපගේ සිතිවිලි, අදහස් හා පරිකල්පන නියෝජනය කරන ස්නායු සංඥා කියවමින්, ඒවා අපට අවැසි වෙනත් පුද්ගලයන්ට සම්ප්‍රේෂණය කිරීමට ද හැකි වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

     

    රුක්ලන්ති පෙරේරා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here