යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් අවිශ්ක සංචිතයෙන් ඉවතට ‘ෆිට්නස්’ නැති ක්‍රිකට් ක්‍රීඩකයන් එංගලන්ත තරගාවලියෙන් එළියට

0
14

තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල්

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වෙයි. ඔහු පෙරේදා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇත. නිමා වූ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්වීමත් සමඟ අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවුවද දැනට ඔහු යෝග්‍යතා පරීක්ෂණය අසමත් හෙයින් සංචිතයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා ‘දිනමිණ’ට පැවසීය.

ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා පරීක්ෂණයේදී මීටර් 20ක් දුර දිවීම හා ඒ සඳහා ගත කරන කාලය මැනීම, ක්‍රීඩකයන් සතුව ඇති උපරිම ධරා ගැනීමේ ශක්තිය මනින විශේෂ පරීක්ෂණයක් වූ යෝ – යෝ පරීක්ෂණයකට (Yo – Yo test) ලක් කිරීම ආදී මිණුම් දඬු කිහිපයක් භාවිතා කොට ඇත. එහිදී ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තුළ තිබිය යුතු යෝග්‍යතා මට්ටම අවිශ්ක ප්‍රනාන්දු තුළ තිබී නැත.

“ෆිට්නස් එක හොඳ අයට විතරයි ක්‍රීඩා කරන්න පුළුවන්, ෆිට්නස් නැත්නම් ක්‍රීඩා කරන්න බෑ. හැම ක්‍රීඩකයෙක්ම ෆිට්නස් ටෙස්ට් එකට ඉන්නවා. ඒ ටෙස්ට් එක පාස් වුණොත් අනුමත කරනවා, නැත්නම් ඒ කවුරු වුණත් ක්‍රීඩාවට අනුමත කරන්නේ නැහැ”තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා පැවසීය.

මේ 14 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වන එංගලන්තය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයන් 21 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට පියවරගෙන ඇති අතර, තරගය ආරම්භ වන දිනයේ උදෑසන අවසන් කණ්ඩායම නම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

“දකුණු අප්‍රිකානු සංචාරයට වඩා දැන් අපේ ක්‍රීඩකයන් හොඳ තත්ත්වයක සිටිනවා. දකුණු අප්‍රිකාවේ අප ක්‍රීඩා කළේ නිසි පුහුණුවක් නැතිව. ටෙස්ට් තරගයක් පුහුණුවකින් තොරව ක්‍රීඩා කරන්න බෑ. ක්‍රීඩකයන් වැඩි වශයෙන් ආබාධවලට ලක් වන්නේ පුහුණුවකින් තොරව ක්‍රීඩා පිටියට ගියාම. දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හා ජොහැනස්බර්ග් කියන්නේ නුවරඑළියටත් වඩා ශීත ප්‍රදේශ. ඒ තත්ත්වය හුරුවෙන්නත් ටික දවසක් අවශ්‍යයි” මෙල් මහතා පැවසීය.

“එංගලන්තයට එරෙහිව හොඳ සැලසුමක් තියෙනවා. අපි මොන සැලසුම් හැදුවත් ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියට ගොස් ඒවා නිවැරදි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් නිසි ප්‍රතිඵලයක් ගන්න බෑ. තවම ගාල්ලේ තණතිල්ලේ දැන් තත්ත්වය දැකලා නෑ. තණතිල්ල බලලා හොඳම කණ්ඩායම නම් කරනවා. මොන දේ වුණත් හොඳ තරගයක් දෙන්න අප සූදානම්” තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

මේ අතර, හම්බන්තොට සිටි එංගලන්ත පිල ඊයේ ගාල්ලට පැමිණ පුහුණුවීම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබිණි. ඊයේ දිනයේ පෙරවරු කාලයේ ගාල්ලට තද වැසි ඇද හැලීමෙන් දෙපිලටම පුහුණු සැසි ආරම්භ කිරීම අවිනිශ්චිත තත්ත්වයක පැවැතිණි. පසුගිය සති අන්තයේ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ මොයින් අලි සමඟ සමීපව සිට නිරෝධායනයට ලක් කළ ක්‍රිස් වෝකර්ස් එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයන් සමඟ නැවත එක් විය. වොකර්ස් පසුගිය දින හතක කාලය තුළ හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ සිය කාමරයේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටියේය.

 

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here