රුධිරගත තෙල් නසන දේශීය වෙදකම

    0
    12

    වෛද්‍ය ජයන්ත අමරසිංහ

    (MBBS කොළඹ) දිස්ත්‍රික් රෝහල ගම්පහ, පාරම්පරික දේශීය වෛද්‍ය

    කොලෙස්ටරෝල් කිවූ සැණින් මිනිසුන් බියට පත් වේ. ඇත්තටම මොනවද මේ කොලෙස්ටරෝල්? කොලෙස්ටරෝල් කියන්නේ රුධිරයේ තිබෙන සංඝටක වර්ගයක්. කොලෙස්ටරෝල් කියූ සැණින් බිය විය යුතු නොවේ. අපේ ශරීරයේ හොඳ කොලෙස්ටරෝල් සහ නරක කොලෙස්ටරෝල් යනුවෙන් වර්ග දෙකක් තිබෙනවා. LDL සහ‍ HDL යනුවෙන් එය හැඳින්වෙනවා. HDL යනු ශරීරයේ තිබිය යුතු හොඳ කොලෙස්ටරෝල්. LDL සහ VLDL යනු අහිතකර කොලෙස්ටරෝල්ය. එනම් එම කොලෙස්ටරෝල් නහරවල බැඳීම සිදු වෙනවා. අප ශරීරය තුළ නියමිත ආකාරයෙන් කොලෙස්ටරෝල් පැවතීම රෝගිභාවයට හේතුවක් වන්නේ නැහැ. අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය ශරීරය තුළ ඉක්මවා තිබීම රෝගිභාවයන්ට හේතුවක්. LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය මිනිස් සිරුරක තිබිය යුත්තේ 130 ට හෝ ඊට අඩුවෙනි. සමස්ත කොලෙස්ටරෝල් ප්‍රමාණය 200ට අඩුවෙන් තිබිය යුතුයි. හොඳ කොලෙස්ටරෝල් ලෙස හඳුන්වනු ලබන HDL තිබිය යුත්තේ 45ට වැඩියෙනි.

    රුධිරයේ තිබෙන තෙල් ප්‍රමාණය හඳුන්වනු ලබන්නේ ට්‍රයිග්ලිසරයිඩ්ස් යනුවෙනි. ඒවා මිනිස් සිරුර තුළ තිබිය යුත්තේ 150ට අඩුවෙනි.

    සිරුරේ තිබෙන කොලෙස්ටරෝල් ප්‍රධාන වශයෙන්ම නිපදවනු ලබන්නේ අක්මාව මඟිනි. මෙය ශරීරයට අත්‍යවශ්‍ය දෙයකි. සීනි ද ශරීරයට අත්‍යවශ්‍ය වේ. එහෙත් මේ කිසිවක් වැඩිපුර තිබීම අහිතකරය. අඩුවෙන් තිබීම ද අහිතකරය. රුධිරයේ සීනි අඩු ප්‍රමාණයක් තිබුණු විට පුද්ගලයකු මරණයට පත්වීම පවා සිදුවිය හැකිය. සීනි සහ ඔක්සිජන් නොමැතිව කෙනකුට ජීවත් විය හැක්කේ විනාඩි දෙකක් තරම් සුළු වේලාවකි.

    LDL යන නරක කොලෙස්ටරෝල් වැඩි වීම නිසාවෙන් හෘදයේ කිරීටක ධමනි පටු වීම සිදු වෙනවා. මේ නිසා හෘදයාබාධයක් ඇති වීමට පවා ඉඩ තිබෙනවා. මේ නිසා හෘදයේ විතරක් නොවේ මොළයේ රුධිර වාහිනීවල, කකුල්වල සහ බෙල්ලේ වුවද රුධිර වාහිනී පටු වීම සිදු විය හැකියි. මේ නිසා මොළයට ඇති වන හානිය නම් ආඝාතය ඇති වීමයි. ඇවිදින විට කකුල් කැක්කුම් ඇති වන්නේ කකුල්වල නහර පටු වීම නැතහොත් අවහිර වීම නිසයි.

    මෙම කොලෙස්ටරෝල් නිසා ඇති වන රෝගාබාධයන් අපට දකින්නට ලැබෙන්නේ මෑත දශක තුන හතරක කාලයක සිටයි. එහෙත් රුධිරගත මේදය එනම් ට්‍රයිග්ලිසරයිඩ්ස් තත්ත්වය අතීතයේ පටන්ම පැවතිණි. අප කෑමට සහ බීමට භාවිත කරන රසායනික ද්‍රව්‍යයන් නිසා තමයි රුධිර වාහිනී අවහිර වන කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වී ඇත්තේ.

    මේදහර ක්වාතය, මේදහර වටී, අර්ජුන අරිෂ්ඨය වැනි දේශීය ඖෂධ මඟින් රුධිරගත මේදය අඩු කර ගත හැකියි. නහර වැඩි ප්‍රමාණයක් අවහිර වී නොමැති අවස්ථාවන්වලදී මෙම ඖෂධ භාවිත කිරීමෙන් රෝගියා යම් තරමකට රෝගයෙන් පාලනය කර ගත හැකියි.

    ඒ වගේම බෝ නොවන රෝග ගණයට වැටෙන මෙම හෘදය රෝගවලින් මිදීම සඳහා සාමාන්‍ය ආයුර්වේද දින චරියාව අනුගමනය කිරිම වුව ප්‍රමාණවත්. මෙහිදී ආහාර රටාව පාලනය කිරීම, ව්‍යායාම කිරීම සහ දේශීය ඖෂධ භාවිත කිරිම මඟින් කොලෙස්ටරෝල් නිසා ඇති විය හැකි රෝගවලින් බොහෝදුරට ආරක්ෂා විය හැකියි.

    පිරිසුදු පොල් තෙල් භාවිත කිරීම වෙනත් තෙල් වර්ග භාවිතයට වඩා ගුණදායකයි. වෙනත් තෙල් වර්ගවලින් සිරුරට අහිතකර මේද අම්ල සෑදෙන අතර ඒවා රුධිර වාහිනිවල බැ‍ඳෙනවා. ඒ වගේම ලුණු අධික ආහාර, කුළුඩඩු අධික ආහාර, ෆ්රයිඩ් රයිස්, කොත්තු, පැණි බීම සහ කඩවල ඇති තෙල් බැදුම් කෑම, කෙටි ආහාර, අජිනමොටෝ වැනි රසකාරක භාවිතයෙන් ඈත් වී සිටීම කොලෙස්ටරෝල්වලින් ඇත් වී සිටිමට උදවු වේ. දේශීය කැඳ වර්ග පානය, දේශීය සහල් භාවිතය මෙන්ම නැවුම් පලතුරු සහ එළවළු භාවිතය වඩාත් සුදුසුයි.

     

    චතුමී පිටිපන

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here