වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනයට තායිලන්තයට ආරාධනා

0
47

ශ්‍රී ලංකාව සහ තායිලත්නය අතර තිබෙන ව්‍යාපාරික සබඳතා තවදුරටත් වර්ධනය කරගනිමින් මෙරට කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා තායිලන්තයට ආරාධනා කරයි.

වැවිලි හා කෘෂිකාර්මික අංශයේ ආයෝජනය සඳහා තායිලන්තයට වැඩි හැකියාවක් පවතින බව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චුලාමනී චාර්ට්සුවාන් මහත්මිය සිය සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම යෑමට පෙර විදේශ ඇමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් හා දෙරටට වැදගත් තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකචිඡා කළහ.

මේ හමුවේ දී විදේශ ඇමැතිවරයා හා තානාපතිනිය අතර දෙරට අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කිරිම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරුණු ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා ඉදිරියට ගෙනයාම සඳහා 2018 දී අත්සන් තබන ලද උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය ක්‍රියාත්මක කිරීම තුළින් වෙළඳ ගිවිසුමේ භාවිතයට නොගත් ක්ෂේත්‍ර යළි පණගැන්වීමට හා වේගවත් කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා සඳහන් කළේය.

විදේශ ඇමතිවරයාට සිය සුබ පැතුම් එක්කරමින් තානාපතිවරිය කියා සිටියේ ඇය ශ්‍රී ලංකාවේ වසර තුනක් සහ මාස හතක් සේවය කර ඇති බවත්, සිය ධුර කාලය තුළ දී විශිෂ්ට සබඳතා ගොඩනඟා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ අන්‍යෝන්‍ය අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමටත්, පුද්ගලාන්තර සබඳතා ගොඩනඟා ගැනීමටත් ලැබීම භාග්‍යයක් ලෙස සලකන බවයි.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා දෙරට අතර මිත්‍ර සබඳතා පිළිබඳව අවධාරණය කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ බිම්ස්ටෙක් වැනි ජාත්‍යන්තර සංසදවල දී ශ්‍රී ලංකාව සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් තායිලන්තයට සිය ස්තූතිය පුද කළේය. බිම්ස්ටෙක් සංවිධානයේ සභාපතිත්වය සඳහා තායිලන්තය ශ්‍රී ලංකාවට සිය උපරිම සහයෝගය ලබාදෙන බවට තානාපතිවරිය සහතික වූවාය. කල්‍යාණ මිත්‍ර ජාතියක් ලෙස තායිලන්තය දුෂ්කර කාලවල දී ශ්‍රී ලංකාව සමඟ එක්ව සිට තිබේ.

බෞද්ධාගමික, පුහුණු හා දැනුම හුවමාරුව යන අංශයන්හි දී තායිලන්තය ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති සංවර්ධන සහයෝගීතාවය වෙනුවෙන් ස්තූති කළ ඇමතිවරයා, තායිලන්තය විසින් සපයනු ලබන කෘෂිකර්මාන්තය සහ පුහුණුව ශ්‍රී ලංකාව සඳහා ඵලදායී වී ඇති බව පැවසීය.

 

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here