හමුදාවේ දැනුම දේශයේ උන්නතියට යෙදවීම මිලිටරිකරණය ද?

    0
    11

    හමුදාව සතු දැනුම, අත්දැකීම්, සංවිධාන ශක්තිය, සැලසුම් සහගත බව පරිණත බව මෙන්ම ඔවුන්ගේ ජවාධික බව දේශයේ උන්නතිය පිණිස යොදා ගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙළ අගය කළ යුත්තකි. පළමු හා දෙවන ලෝක යුද්ධ සඳහා නායකත්වය දුන් හමුදා නායකයන් සහ සොල්දාදුවන් යුද්ධයෙන් පසුව සමාජයේ විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා යොමු වූ අයුරු මේ සඳහා ඇති ලෝක මට්ටමේ උදාහරණයකි

    මේ වන විට මෙරට රජය, අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස හමුදා නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන්ගේ ප්‍රසාදය ද ඇතැම් පාර්ශ්වයන්ගේ විරෝධය ද එල්ල වෙමින් පවතී. මෙරට රාජ්‍ය සේවයේ නිලතල සඳහා හමුදා නිලධාරීන් පත් කිරීම ද රජය මඟින් සිදු කළ යුතු ඇතැම් සුබසාධන කාර්යයන් සඳහා හමුදාව යෙදවීම ද මඟින් වත්මන් රජය රට මිලිටරිකරණයකට ගෙන යමින් සිටින බවට ඇතැම්හු චෝදනා කරති. එසේම ඔවුහු ආණ්ඩුවේ මෙම ප්‍රතිපත්තිය නිසා ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වෙමින් පවතින බව ද පවසති.

    මේ වන විට මෙරට ක්‍රියාත්මක කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය ක්‍රියාත්මක වන්නේ යුද හමුදාපතිවරයාගේ මූලිකත්වයෙනි. එසේම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ වගකීම ද පසුගිය දා යුද හමුදාව වෙත පවරනු ලැබීය. එසේම මෙරට දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි අඩු පහසුකම් සහිත පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා හමුදාව යෙදවීම සම්බන්ධයෙන් වන යම් යෝජනාවක් මේ වන විට ඉදිරිපත් වී ඇත. විශේෂයෙන්ම මෙහිදී හමුදාව යොදා ගෙන ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්‍ෂණය වැනි විෂයයන් ඉගැන්වීම සම්බන්ධයෙන් දැනට යෝජනා වී තිබේ.

    ඒ අනුව ප්‍රථමයෙන් වව්නියාව වැනි අති දුෂ්කර පළාත්වල ගුරු හිඟය සහිත පාසල්වල ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්‍ෂණය විෂයන්ට අදාළ ඉගැන්වීම් සිදු කිරීම සඳහා ගුවන් හමුදාව සිය කැමැත්ත පළ කර ඇති බව ඇතැම් ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. මේ සම්බන්ධයෙන් රජය මෙතෙක් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර නොමැත. නමුත් එවැනි පසුබිමක මෙරට ගුරු සංගම් අවි අමෝරා රජයට පහර දෙන්නේ රජය මෙරට පාසල් පද්ධතිය මිලිටරිකරණයකට ලක් කිරීමට සැරසෙන බවට චෝදනා කරමිනි.

     

    සංවර්ධන කටයුතු

    මේ වන විට රජය සමාජ සුබ සාධන හා සංවර්ධන කටයුතු සඳහා යුද හමුදා නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තිය අප ගැඹුරින් සාකච්ඡා කළ යුතුය. මෙහි පවතින සාධනීය ලක්‍ෂණ අප අගය කළ යුතු වන්නා සේම නිෂේධනීය ලක්‍ෂණ බැහැර කළ යුතු ය. ඒවා නිවැරදි කර ගැනීමට රජයට සහාය වීම පුරවැසියන්ගේ වගකීමකි.

    ලෝකයේ විවිධ රටවලට අයත් හමුදා අතර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ඒ දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව වෙළාගෙන සිටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කිරීම හේතුවෙනි. එමෙන් ම ශ්‍රී ලාංකේය මොඩියුලයක් යටතේ එම ක්‍රියාන්විතය සිදු කළ නිසා ය. මෙහිදී ත්‍රස්තවාදය පරාජය කිරීම උදෙසා මානුෂීය ධර්මතා පදනම් කරගත් යුදමය ක්‍රියාමාර්ග අනුගමනය කළ ශ්‍රී ලංකා හමුදාව සිය සැලසුම් හා අත්දැකීම් ජාතියේ සුරක්‍ෂිත බව තහවුරු කිරීම පිණිස භාවිතයට ගත් බව පෙනේ.

    යුද්ධයක දී සතුරු පාර්ශ්ව පරාජයට පත් කිරීම සඳහා පිරිස් බලය, සන්නාහ සන්නද්ධ බලය, වෙඩි බලය පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ. එහෙයින් නවීන යුද උපකරණ තිබූ පමණින් ත්‍රස්තවාදය පරාජයට පත් කළ නොහැකිය. ඒ සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.

    යුද්ධය සඳහා නායකත්වය සපයන ප්‍රධාන පෙළේ හමුදා නායකයින් ඥානාන්විතව එම කාර්යය මෙහෙය විය යුතු ය. යුද්ධමය කාර්යයක් සඳහා සොල්දාදුවකු නිසි පරිදි මෙහෙය වීම පසු පස ඇත්තේ සංවිධානාත්මක සහ සැලසුම් සහගත වැඩපිළිවෙළකි. එය ඥානය මෙහෙයවමින් පමණක් සිදු කළ යුතුය. යුද්ධයේ නියැළී සිටින සොල්දාදුවා පසුපස පවතින සැලසුම් සහගත වු ද, සංවිධානාත්මක වුද, ඒකාබද්ධ වූ ද, වීරත්වය සහ අදීනත්වය පදනම් කරගත්තා වූ ද සියලු ක්‍රියාමාර්ග යුද්ධයේ ජයග්‍රාහී නිමාව පිණිස හේතු වේ. එමෙන්ම එම සැලසුම්සහගත වැඩපිළිවෙළ යම් හෙයකින් සමාජ සංවර්ධනය සඳහා ද භාවිත කළ හැකිය.

    එෙහත් මෙරට පශ්චාත් යුද කාලීන සමාජ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සතු සුවිශාල ඥාන දර්ශනය නිසි පරිදි භාවිතයට ගත් බවක් නොපෙනේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී නාගරික සංවර්ධන කටයුතු, පරිසර අලංකරණ කටයුතු ඉදිකිරීම් කටයුතු, ආපදා කළමනාකරණ කටයුතු පිණිස හමුදාව යොදා ගත්තේය. නමුත් එවක ආරක්‍ෂක ලේකම්වරයාගේ මේ ප්‍රයත්නයටද මිලිටරිකරණ චෝදනාව එල්ල විය. 2015 මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය සඳහා ද සිවිල් සමාජ මිලිටරිකරණ චෝදනාව යම් හෙයකින් බලපෑ බව පෙනේ.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසුව මෙරට රාජ්‍ය සේවයේ ඇතැම් කටයුතු සඳහා ද ඇතැම් සමාජ සුබසාධන කාර්යයන් සඳහා ද ත්‍රිවිධ හමුදාව දායක කර ගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව මිලිටරිකරණ විවේචන එල්ල කෙරිණි. නමුත් මෙරට හැටනව ලක්‍ෂයක් ජනතාව මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝඨාභය මහතා ජයග්‍රහණය කර වූහ. අද වන විට ඇතැම්හු ජනාධිපතිවරයාගේ මේ ප්‍රයත්නය සඳහා ද පරණ පුරුදු සමාජ ‘මිලිටරිකරණ’ චෝදනාව එල්ල කරමින් සිටියි. මෙමඟින් ප්‍රජාතන්ත්‍රවාදය වළ පල්ලට වැටෙනු ඇතැයි ඔවුහු චෝදනා නඟති.

    මෙරට ත්‍රිවිධ හමුදාව සෑම අතින්ම විනයගරුක සහ දක්ෂ හමුදාවකි. එසේම අපට සිටින්නේ තමන් පුහුණු පාසලේ ඉගෙන ගත් දෑ යුද භූමියේ ප්‍රායෝගිකව අත්හදා බලමින් සාර්ථක ජයග්‍රහණ අත්කර ගත් හමුදාවකි. ස්වකීය ප්‍රජාව මුහුණ දෙන ඕනෑම ව්‍යසනයකදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පෙරට එන හමුදාවකි. සුවිශාල ඥාන ධාරාවකට හිමිකම් කියන හමුදාවකි. සමාජ වටිනාකම්, අගනාකම් සහ උසස් සමාජ සංස්කෘතික සම්ප්‍රදායක් දේශයේ උන්නතිය පිණිස අනුගමනය කරන හමුදාවකි.

    එබැවින් හමුදාව සතු දැනුම, අත්දැකීම්, සංවිධාන ශක්තිය, සැලසුම් සහගත බව පරිණත බව මෙන්ම ඔවුන්ගේ ජවාධික බව දේශයේ උන්නතිය පිණිස යොදා ගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙළ අගය කළ යුත්තකි. පළමු හා දෙවන ලෝක යුද්ධ සඳහා නායකත්වය දුන් හමුදා නායකයන් සහ සොල්දාදුවන් යුද්ධයෙන් පසුව සමාජයේ විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා යොමු වූ අයුරු මේ සඳහා ඇති ලෝක මට්ටමේ උදාහරණයකි. එම හමුදා සොල්දාදුවන් අධ්‍යාපන ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, ජනමාධ්‍ය ක්ෂේත්‍රය ආදිය පෝෂණය කිරීමට දායක විය. නමුත් මෙරට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී උවදුර නිමාවට පත් කිරීමෙන් පසුව ත්‍රිවිධ හමුදාව සතු දැනුම හා අත්දැකීම් අප සමාජයේ විවිධ ක්‍ෂේත්‍ර පෝෂණය කිරීම සඳහා භාවිත කිරීමට අවකාශය පැවතුනි. විවිධ හේතු සාධක නිසා එය ව්‍යර්ථ වී ගිය බව පෙනේ.

    එහෙත් මේ වන විට ඒ සඳහා සුදුසු අවස්ථාවක් උදා වී ඇත. එබැවින් අප මෙරට හමුදාව සතු දැනුම, අත්දැකීම් හා සැලසුම් සහගත බව මූලික කරගත් ඥාන ධාරාව සිවිල් සමාජයේ උන්නතිය සඳහා උකහා ගත යුතුය. ඒ සඳහා මෙරට විශ්වවිද්‍යාල ප්‍රමුඛ උසස් අධ්‍යාපන ආයතන සැලසුම් සහගත වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අවධාරණය කරමු. රජය ද හමුදා නිලධාරීන් තනතුරුවලට පත් කිරීමට එහා ගිය වැඩපිළිවෙලක් ඔස්සේ හමුදාව සතු වෘත්තීය ඥානය සමාජ සංවර්ධනය සඳහා යොදා ගැනීමට ක්‍රියා කළ යුතුය. එමෙන්ම දැනටමත් හමුදාව යොදා ගනිමින් සිදු කරමින් සිටින සමාජ සංවර්ධන හා සුබසාධන කාර්ය තවතවත් පුළුල් කිරීම උචිත බව අපගේ හැඟීමයි.

    අප රට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා දශක හතකට අධික කාලයක් ගත වී ඇත. මේ කාලය තුළ මෙරට ක්‍රියාත්මක වූ නාමික ප්‍රජාත්නත්‍රවාදයට සාමාන්‍ය ජනයාගේ ජීවිත නඟා සිටුවීමට නොහැකි වූ බව කනගාටුවෙන් වවු ද මෙහිලා සඳහන් කරමු. මෙකී ප්‍රජාතන්ත්‍රවාදය මඟින් මෙරට ජනතාවට උරුමකරදී ඇත්තේ අවිනිශ්චිත බව, අපේක්‍ෂාභංගත්වය හා දිළිඳුකම පමණකි. ප්‍රජාතන්ත්‍රවාදය මෙහෙය වූ පාලකයෝ ධන කුවේරයෝ බවට පත් වී සිටිති. ප්‍රජාතන්ත්‍රවාදය පිළිපදිමින් ප්‍රජාතන්ත්‍රවාදය මඟින් සිය ජීවිත සුඛිත මුදිත වනු ඇතැයි අපේක්‍ෂා කළ ප්‍රජාව අසරණ දිළින්දන්ගේ තත්ත්වයට පත් වී සිටිති. එහෙයින් හමුදාව සමාජ සංවර්ධන කටයුතු සඳහා දායක කර ගැනීම නිසා මෙකී නාමික ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී යනු ඇතැයි ඇතැම්හු බිය වෙති. ඒ නාමික ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව ඔවුන්ට පැවැත්මක් නොමැති හෙයිනි.

    නිදහස ලබාගත් තැන් පටන් මෙරට ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් සකස් වුණු රාජ්‍ය සේවකයක් පවතී. මේ වසර හැත්තෑවක කාලය තුළ මෙරට බලයට පත් ඇතැම් පාලකයෝ රාජ්‍ය සේවයේ ඇතැම් වගකීම් පෞද්ගලික අංශයට පවරනු ලැබූහ. ඒ මෙරට රාජ්‍ය සේවය වඩා කාර්යක්‍ෂම කරමින් ඵලදායි ජනතා සේවයක් සිදු කිරීමට යැයි පවසමිනි. කෙසේ වෙතත් දැනට මෙරට ක්‍රියාත්මක රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ගැටලු රාශියක් පවතී. දූෂණය, නාස්තිය සහ අකාර්යක්‍ෂම බව මෙරට රාජ්‍ය සේවය පුරා ව්‍යාප්තව පවතින අයුරු හඳුනාගත හැකිය.

     

    ජනතා අවශ්‍යතා

    මේ නිසා ජනතා අවශ්‍යතා සපුරාලීමේදී මෙරට රාජ්‍ය සේවය මන්දගාමි ස්වරූපයක් ගනු ලබන අයුරු නිරීක්‍ෂණය වේ. එහෙයින් මෙරට රාජ්‍ය සේවය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බව අපගේ හැඟීමයි. දැනට මෙරට රාජ්‍ය සේවය පුරා පවතින ගැටලු රාශියකි. රාජ්‍ය සේවකයන් සඳහා නිසි වැටුපක් නොලැබීම, වැටුප් විෂමතා පැවතීම, විධිමත් සහ විනිවිද දැකිය හැකි බඳවා ගැනීමේ පටිපාටියක් නොමැති වීම, විධිමත් උසස් වීම් පටිපාටියක් නොමැති වීම, නිසි පුහුණුවක් නොලැබීම, විධිමත්ව සිදු කෙරෙන ස්ථාන මාරු ක්‍රමවේදයක් නොමැතිවීම යනාදිය මේ අතරින් කැපී පෙනේ. මෙම ගැටලු විසඳා රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු බව අවධාරණය කළ යුතුය. එහෙයින් මෙරට රාජ්‍ය සේවය ශක්තිමත් කරන අතරතුරු රටේ අවශ්‍යතාවන්ගේ ප්‍රමුඛතාවය අනුව ජනතා සේවා ඉටු කිරීම සඳහා හමුදාව යෙදවීම කාලීන අවශ්‍යතාවයක් බවට පත් වී ඇත.

    එහෙයින් මෙරට රාජ්‍ය සේවය මගින් කාර්යක්‍ෂම හා ඵලදායි සේවාවක් ලබා ගැනීම ක්ෂණිකව සිදු කළ නොහැකි වන්නේ වසර හැත්තෑවක් පුරා පැන නැඟුණ නොයෙක් ගැටලු සහ දුෂ්කරතාවලින් රාජ්‍ය සේවය හෙම්බත් වී ඇති නිසාය. මෙම පසුබිම තුළ කඩිනම් සමාජ සංවර්ධන කාර්යයක් ඉටු කිරීමේදී ඒ සඳහා උචිතම ක්‍රියා මාර්ගය වන්නේ අවශ්‍යතාව අනුව ත්‍රිවිධ හමුදාවේ ශ්‍රමය ඒ සඳහා භාවිත කිරීමයි. හමුදාව යනු කාර්යක්‍ෂම ශ්‍රම බළකායකි. එමෙන්ම නිසි පුහුණුවක් සහිත විනයානුකූලව ගොඩනැගුණ ශ්‍රම බළකායකි. එහෙයින් පුළුල් සමාජ සංවර්ධන කාර්යයක් සඳහා හමුදාව සතු හැකියාව භාවිත කිරීම කාලෝචිත බව අපි විශ්වාස කරමු.

    මෙතෙක් කල් මෙරටට අවශ්‍ය රියදුරු බලපත්‍ර මුද්‍රණය කරනු ලැබුවේ අප්‍රිකානු සමාගමක් විසින් යැයි පැවසේ. ඒ සඳහා විශාල ධනස්කන්ධයක් වැය වී ඇත. නමුත් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ වගකීම සහ ඒ ආශ්‍රිත කටයුතු යුද හමුදාවට පැවරීම මඟින් රටට විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බව පැවසේ. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ හා නිකුත් කිරීමේ කටයුතු කාර්යක්‍ෂම වීම මෙන් ම ඒ ආශ්‍රිතව සිදු වූ නාස්තිය සහ මූල්‍ය අක්‍රමිකතා නැති වී යෑම හේතුවෙන් රටට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට පිළිවන.

    එබැවින් ජනාධිපතිවරයා හමුදාවේ ශ්‍රමය යොදා ගනිමින් අනුගමනය කරන මෙම කඩිනම් සංවර්ධන කාර්යය ‘මිලිටරිකරණය’ වශයෙන් හැඳින්වීම කිසිසේත් සාධාරණ නොවන බව අප අවධාරණය කරමු. එසේම ජනාධිපතිවරයා ජනතාවගේ උන්නතිය උදෙසා හමුදා ශ්‍රමය යෙදවීමට ගනු ලබන තීරණ ඔහුට එරෙහි දේශපාලන සටන් පාඨයක් කර නොගත යුතුය. එය මෙරට ජන ජීවිතය නගා සිටුවීම පිණිස ගනු ලබන උසස් තීරණයකැයි සිතා අප සැමදෙනාගේම සහාය ජනාධිපතිවරයා වෙත ලබා දිය යුතු ය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here