Gadget පිටුව

    0
    12

    ගෝලාකාර බිළාල ටොයිලට්

    සෑම කෙනකුම පාහේ සුරතල් සතුන් ඇති කිරීමට ආශාවක් දැක්වුව ද ඔවුන්ගේ මලපහ මෙන්ම ලෝම හේතුවෙන් සතුන් නිවෙස් තුළ ඇති නොකිරීමට සමහරු වගබලා ගනිති. කෙසේ වෙතත් බොහෝ අය බළලුන් වැනි සතුන් නිවෙස තුළ හුරතලයට ඇති කරති. බළලුන්ගේ මලපහ යනු ඒ සෑම කෙනකුටම මුහුණ පෑමට සිදුවන ගැටලුවකි.

    මේ ගැටලුවට ‘සර්කල් සීරෝ’ හොඳ විසඳුමක් වනවාට සැක නැත. දැන් බළලුන්ගේ මලපහ පිළිබඳ වද නොවී ඔවුන්ව ආදරයෙන් රැක බලා ගැනීමට හැකිය. ‘සර්කල් සීරෝ’ යනු ගෝලාකාර කුහරයකින් සමන්විත උපකරණයකි. එහි මලපහ කරවීමට බළලුන් හුරු කරවිය යුතුය. එවිට ‘සර්කල් සීරෝ’ මඟින් මලපහ වෙනමම කොටසකට යවා නිවෙස අපවිත්‍ර වීම මෙන්ම ගන්ධය ද නැති කර දමයි. තව ද මෙමඟින් බළලුන්ගේ චර්යා නිරීක්ෂණය කරන අතර ස්වාමියාගේ ස්මාර්ට් දුරකතනයට මෘදුකාංගයක් මඟින් තම සුරතලාගේ සෞඛ්‍ය තත්ත්වය ද දැන ගැනීමේ හැකියාව පවතී. එලෙසම පශු වෛද්‍යවරයකුට ද එම දත්ත පෙන්වීමෙන් ඔබගේ සුරතලා අසනීපයකින් පසුවනවා ද යන්න දැනගෙන ප්‍රතිකාර ගැනීමේ හැකියාවක් පවති.

    බළලුන් ‘සර්කල් සීරෝ’ තුළට ඇතුළුවත්ම එය ඊට සම්පූර්ණයෙන්ම සූදානම් වී විනාඩි 7ක් තුළ මලපහ ඉවත් වී පිරිසුදු වන අතර මලපහ වෙනම කොටසක එකතු වී පිරුණු පසු ඉවත් කිරීමට ද හැකිය.

     

    ඇඟට දැනෙන්න සින්දු අහන්න පටියක්

    තරුණ තරුණියන් සින්දුවක් ඇසීමේ දී, චිත්‍රපටයක් නැරඹීමේ දී ශබ්දය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීමට පුරුදුව සිටී. අතීතයට වඩා වර්තමානයේ තාක්ෂණයේ දැවැන්ත දියුණුවත් සමඟ නවීන පන්නයේ හෙඩ් ෆෝන් නිර්මාණය කර ඇති අතර ඒවා කොතරම් අධික මිලකින් යුක්ත වුව ද තරුණයෝ ඒවා මිල දී ගනිති.

    සංගීත සංදර්ශනයක දී, සිනමා ශාලාවක දී ශබ්දය ඇඟට දැනෙන අයුරින් විඳීමට ඔබට හැකියාවක් පවතිනා අතර බොහෝ පිරිස් එවැනි අත්දැකීමක් විඳ ගැනීමට දක්වන්නේ දැඩි ආශාවකි. ‘හාර්ට් එක බීට් වෙන්න’ යන කියමනින්ම තරුණයෝ පැහැදිලි කරනුයේ ඇඟට දැනෙන ශබ්ද රසයක් විඳ ගැනීමය. ඒත් හෙඩ් ෆෝන් එකකින් කිසිසේත්ම එවැනි අත්දැකීමක් ගැනීමට හැකියාවක් නැති අතර Woojer Edge වෙළෙඳපොළට පැමිණීමත් සමඟම මඟතොටේ දී, පෞද්ගලික ප්‍රවාහන සේවයක දී මෙන්ම ඔබට අවශ්‍ය ස්ථානයක සිට සංගීතය ඇඟට දැනෙන්න විඳීමේ හැකිය.

    ඇත්තෙන්ම සංගීතයට පමණක්ම නොව පරිගණක ක්‍රීඩා ආදිය කිරීමේ දී ද ශබ්ද තරංග ඇඟේ ස්පර්ශ වන අයුරින් Woojer Edge ඔස්සේ විඳ ගැනීමට හැකිය. පටියකට සවි කර ඇති මේ කුඩා උපකරණය බද වටා පැලඳගෙන භාවිත කළ හැකි අතර ඔබ බෑගයක් පිටේ පැලඳ යන අවස්ථාවක දී නම් බෑගයේ පටියට ද සවි කිරීමේ හැකිය. ඩොලර් 399 සිට ඉහළට Woojer Edge මිල දී ගැනීමේ හැකියාව පවතින අතර ඔබත් මිල දී ගෙන ඇඟට දැනෙන්නම සින්දුවක් අසා බලන්න.

    අගුළු දාන ස්මාර්ට් කියුබ්

    රැකියා ස්ථානයේ, නිවෙසේ හෝ ඕනෑම ස්ථානයක ඔබටම කියා වෙන් කරගත් කබඩ් එකක් භාවිත කරනවා නම් එහි ආරක්ෂාව පිළිබඳ විවිධ ගැටලු පවතිනවාට සැකයක් නැත. එය අගුළු දැමූ පසු එහි යතුර නැති වීම, නිවෙසේ නම් කුඩා දරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඉබි යතුරු භාවිත කිරීමේ දී යතුර නැති වීම, එසේත් නැතිනම් එවැනි දෙයක් විවෘත කිරීමට තිබෙන යතුරු තැබූ තැන අමතක වීම ආදි ගැටලු රැශියකට මුහුණ පෑමට වීම සාමාන්‍ය දෙයකි.

    Smart Cube smart lock මඟින් ඔබව ඉහත කී සියලු ගැටලුවලින් නිදහස් කර දමයි. Smart Cube smart lock ඔබට අවශ්‍ය ස්ථානයේ සවි කර ගැනීමෙන් අනතුරුව ස්මාර්ට් දුරකතනය ඔස්සේ අගුළු දැමීමටත්, අගුළු විවෘත කිරීමටත් හැකිය. Smart Cube smart lockවලටම තිබෙන මෘදුකාංගයක් ඔස්සේ ඔබට නිවෙසේ එක් ස්ථානයකට පමණක් නොව අගුළු දැමීමට අවශ්‍ය ස්ථාන කිහිපයකට වුව ද ස්මාර්ට් දුරකතනය ඔස්සේ පහසුවෙන් හැසිරවිය හැකිය. ඩොලර් 79ක් වැනි මිලකට ඔබට වෙළෙඳපොළෙන් මිල දී ගැනීමේ හැකියාව ඇත.

     

    ගු වනින් භාණ්ඩ බෙදන ‘වින්ග් ඩ්‍රෝන්’

    මීට දසකයකට පමණ පෙර අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල මහජනතාව තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට වෙළෙඳපොළ භාවිත කිරීමට පුරුදුව සිටියහ. තමන්ට අවශ්‍ය දෙය වෙළෙඳපොළක් වෙත ගොස් ඇතැම් විට කිහිපයකටම ඇවිද ගොස් සොයා ගැනීමෙන් අනතුරුව එහිද මිල අධික නම් වෙනත් ස්ථානයකින් මිල දී ගෙන අවශ්‍ය සපුරා ගැනීමට පුරුදු වී තිබිණි.

    දිනෙන් දින තාක්ෂණයේ දියුණුවත් සමඟ තමන්ට අවශ්‍ය දෑ අන්තර්ජාලයෙන් ඇණවුම් කිරීමෙන් පසු ප්‍රවාහන සේවා සපයන ආයතනයක් මඟින් නිවෙසටම ගෙනැවිත් දීම සිදු කරයි. අද වන විට ප්‍රධාන පෙළේ කෑම අලෙවි කරනා අවන්හල්වලින් පමණක් නොව ගමේ කෑම කඩවලින් පවා ආහාර නිවෙසටම ගෙනැවිත් දෙනු ලබයි. එහි දී පාරිභෝගිකයා ඇණවුම් කළ කෑම වේල උණුවෙන් බලාපොරොත්තු වන අතර එය රැගෙන එන්නා ඉක්මනින්ම අදාළ පාරිභෝගිකයා වෙත ගෙනැවිත් දීමට දැඩි වෙහෙසක් දරයි. එහි දී දුර ප්‍රදේශවල කෑම ඇණවුම් භාර නොගන්නේ ඉහත කී උණුසුම්ව ආහාර ගෙන ඒමට නොහැකි වීම හේතුවෙනි.

    ඔබ වෙනත් භාණ්ඩයක් ඇණවුම් කළ විට ද දින කිහිපයක් හෝ ඇතැම් විට සති ගණන් ගතවන්නේ තම ප්‍රදේශයට ඇණවුම් කර ඇති භාණ්ඩ ප්‍රමාණය වැඩි වන තෙක් ප්‍රවාහන සේවාව සපයන ආයතනය බලා සිටීම හා එක් භාණ්ඩයකට වැඩි දුරක් ගමන් කිරීමෙන් එම ආයතනයට පාඩු විඳීමට සිදු වන බැවිනි. එලෙසම මෙවැනි භාණ්ඩ ප්‍රවාහන සේවා ආයතනවලට පවතින් තවත් ගැටලුවක් වන්නේ මිනිස් ශ්‍රමය හරිහැටි කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමයි.

    මෙවැනි ගැටලු සියල්ලකටම විසඳුමක් ලෙස Wing drone හඳුන්වාදීමට හැකිය. Wing යනු කුඩා සැහැල්ලු ගුවන් යානයක් වන අතර මෙමඟින් ආහාර, ඖෂධ, ගෘහ භාණ්ඩ ඇතුළු කුඩා ප්‍රමාණයේ භාණ්ඩ පාරිභෝගිකයන් සිටිනා ස්ථානයටම ආරක්ෂාකාරීව රැගෙන යා හැකි යානයකි.

    Wing මඟින් අවශ්‍ය ද්‍රව්‍ය ඇණවුම් කිරීමට එහි ඇති මෘදුකාංගයට පිවිස ස්මාර්ට් දුරකතනයෙන් ඔබගේ විස්තර දීමෙන් අනතුරුව සුළු මොහොතකදී භාණ්ඩය රැගෙන ඒම සිදු කරයි. Wing droneට ප්‍රවාහනය කළ යුතු භාණ්ඩය දීමෙන් පොළොව මට්ටමේ සිට මීටර 45ක් පමණ ඉහළින් පියාසර කරනා අතර ඇණවුම අයිතිකරු සිටිනා ස්ථානයට යෑමෙන් පසු මීටර 7ක් පමණ පහළට බැස එහි ඇති ලණුවක් ආධාරයෙන් රැගෙන ආ භාණ්ඩය පහතට ලබා දෙයි. ඇණවුම පාරිභෝගිකයාට සැපයීමෙන් අනතුරුව නැවතත් මීටර 45ක් පමණ ඉහළට නැඟ ස්වයංක්‍රියවම පැමිණි ස්ථානයට ගමන් කරයි.

    Wing drone ඔස්සේ රැගෙන යා හැකි උපරිම බර ප්‍රමාණය වන්නේ කිලෝග්‍රෑම් 1.5කි. යම් ඇණවුමක් මහා මාර්ගයේ රැගෙන ඒමේ දී වාහන තදබදවලට මුහුණ දීමට වන අතර මෙහි ඇති එකම වාසිදායක දෙය කිසිම අවහිරයකින් තොරව නිදහසේ පාරිභෝගිකයාට භාණ්ඩ බෙදා හැරීමයි. මෙමඟින් ඔබට යම් භාණ්ඩයක් ඇණවුම් කර සති ගණන් හෝ දින ගණන් බලා සිටීමට අවශ්‍ය නැත. විනාඩි කිහිපයකින් වුව ද අවශ්‍ය භාණ්ඩය ඔබ ළඟටම පැමිණේ.

     

     

    පිඟන්-කෝප්ප හෝදන්න ස්මාර්ට් බුරුසුවක්

    මුළුතැන්ගෙයි පිරිසුදුභාවය අනුව සෑම නිවෙසකම මිනිසුන් කොතරම් පිරිසුදු ද යන්නා මැනගත හැකිය. ඒ මුළුතැන්ගෙයි නිතරම ආහාර සැකසීම ආදී ක්‍රියා හේතුවෙන් සතුන් බෝ වීමට ඉඩකඩ ඇති බැවිනි. කෙසේ වෙතත් මුළුතැන්ගෙය නිවෙසේ වෙනත් තැන් මෙන් පිරිසුදුව තබා ගැනීම ලෙහෙසි පහසු නැත.

    මුළුතැන්ගෙයි උපකරණ පිරිසුදු කිරීමට විවිධ උපකරණ භාවිත කළ ද ඇතැම් විට 100%ක්ම හෝ ඊට ආසන්නව පිරිසුදු වීම් සිදු නොවේ.

    Skadu යනු ඊට ඔබට බෙහෙවින්ම උපකාරී වන දෙයකි. මෙමඟින් මුළුතැන්ගෙයි ඇති පිගන්, කෝප්ප ඇතුළු ඕනෑම භාණ්ඩයක් පිරිසුදු කර ගැනීමට හැකි අයුරින් කොටස් සවි කර ගත හැකි අතර බුරුසු වැනි කොටස් කරකැවීමෙන් අවශ්‍ය භාණ්ඩ නිසි ලෙස පිරිසුදු කර ගැනීමට හැකිය. අනවශ්‍ය ලෙස අතින් ඇතිල්ලීමේ වදයෙන් නිදහස් කරලීමට Skaduහි කරකැවෙන කොටස් බෙහෙවින් උපකාරී වේ. ඒ අනුව පහසුවෙන් වැඩි වෙහෙසකින් තොරවම ඔබට මුළුතැන්ගෙයි සියලු උපකරණ පිරිසුදු කර ගැනීමට දැන් Skadu මඟින් හැකිය.

     

    තැන් දෙකක සිට චෙස් ඇදීම

    කෙසෙල් ගෙඩියක් කමින් ප්ලේන්ටියක් බිබී දාම් අතක් අදින්න අතීතයේ ගමේ කඩේට මිනිසුන් එක් වන්නේ දෛනික පුරුද්දක් වශයෙනි. අද වන විට එවැනි දසුන් දැක ගැනීමට ඇත්තේ ඇතැම් රූපවාහිනි කතාංගවල පමණි. පසුව චෙස් ක්‍රීඩාව ද කරළියට පැමිණීමෙන් පාසල්වල බව බොහෝ ප්‍රචලිත විය. ඒ ක්‍රීඩා දෙකට දාම් ලෑල්ලක් අවශ්‍ය වන අතර කාන්දම් ඇල්ලූ ඉත්තන් සහිතව නිර්මාණය වූ බෝඩ් එකක් වෙළෙඳපොළට පැමිණියේය.

    ස්මාර්ට් දුරකතන, පරිගණක පැමිණීමෙන් පසු ඒ ඔස්සේ ද ක්‍රීඩා කළ හැකි වූ අතර Square off neo ඔස්සේ ඔබට වෙනස්ම අත්දැකීමක් විඳීමට හැකිය. ඔබ තනිව සිටී නම්, වෙනත් කෙනකු නැතිනම් ඔබට තනිව මේ ක්‍රීඩා කළ නොහැකි අතර Square off neo මඟින් වෙනත් ස්ථානයක සිට දෙන ලද විධානවලට කෙනකු සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබේ. එලෙසම මෘදුකාංගයක් ඔස්සේ දුරකතනයට සම්බන්ධ කර ඔබට කෙනකු නැතිව හෝ තනිව ක්‍රීඩාවේ යෙදිය හැකිය. තව ද ඉත්තන් විධානයන්ට අනුව ස්වයංක්‍රියව ගමන් කරවීමට ද හැකිය.

     

    එසැණින් ප්‍රින්ට් දෙන පොකට් ගැජට්

    අප ගන්නා ඡායාරූපයක් මුද්‍රණය කර ගැනීමට ස්ටූඩියෝවකටම යෑම අවශ්‍යය. එහෙත් තාක්ෂණයේ දියුණුවත් සමඟ ඡායාරූප මුද්‍රණයෙන් මිනිසා මඳක් ඈත් වී ඇත්තේ ඩිජිටල් තාක්ෂණය පැමිණීමත් සමඟය.

    ඒත් ඔබට අවශ්‍ය තැනක දී එසැණින් ඡායාරූපයක් මුද්‍රණය කර ගැනීමට අවශ්‍ය නම් දැන් එය ද කළ හැකිය. Prynt Pocket යනු එසැණින් මුද්‍රණය කර ඔබේ අතට ඡායාරූප දෙන උපකරණකි. මෙය තමන්ගේ ස්මාර්ට් දුරකතනය හා සම්බන්ධ කර සෙල්ෆි ඡායාරූපයක් ගන්නවාත් සමඟම මුද්‍රණය වී ඔබේ අතට ලබා දෙන අතර ප්‍රියයන් සමඟ ඡායාරූප ගැනීමේ දී බෙහෙවින් උපකාරී වේ.

     

     ගයාන් සංජය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here