ඔබ කොහේ ද? මම ඔබ සොය­නවා මනෝ

    0
    8

    මම මනෝ කොහෙද කියල හොයන්නෙ මොකට ද? මනෝ හැම තැනම. මනෝ පේනවා.මනෝ ඇහෙනවා. මට හිතුණෙ මනෝ අපිත් එක්ක කතා නොකරම හිටිය කියල.

     

    ‘‘මම මනෝ කොහේද කියා හොයනවා.”

    “ඉතිං ඇයි අද වගේ දවසක මනෝ හොයන්නෙ? ඇයි හදිස්ස්සියෙ මනෝ මතක් වුණේ? “

    “කිසිම හදිසියක් නෑ, ඒත් අද මතක් වුණා. ඔව් අද.”

    “ඇයි ඉතිං අදම මනෝ මතක් කරන්නෙ? “

    “අද මට විශේෂයි. අද ජනවාරි දොළොස්වෙනිදා.”

    “ඉතිං ඒකෙ තියෙන විශේෂය මොකක් ද? මට තේරෙන්නෙ නෑ .”

    “මතකද මනෝගෙ අන්තිම වේදිකා නාට්‍යය?” “ඔව් , හඬ නිහඬ නේ. අපේ පැරණි සිංදුවල විකාශය ගැන කියපු නාට්‍යය නේ. ඔව් ඒක තමයි.”

    “ඉතිං ඒකෙ නම හඬ නිහඬ නේ. අද වගේ දවසක තමයි ඒ හඬ ඇත්තටම නිහඬ වුණේ.”

    ” මට තේරෙන්නෙ නෑ මොකක් ද කියලා.” “එහෙනම් අහගන්න. අද 2021 ජනවාරි දොළොස්වෙනිදා. 2020 ජනවාරි දොළොස්වෙනිදා තමයි හැබෑවටම මනෝගෙ හඬ නිහඬ වුණේ. හැබැයි ඒ හඬ කවදාවත් එහෙම නිහඬ වෙන එකක් නෙවි. මතක නැද්ද මනෝ මුලින්ම පේරාදෙණි කැම්පස් ගියාට පස්සෙ රඟපාපු නාට්‍යය. ඩොක්ටර් සරච්චන්ද්‍ර ගේ පෙමතො ජායතී සොකො. මනෝ ඒකෙ රඟපෑවෙ උද්දාල බ්‍රාහ්මණයගෙ වැඩිහිටි චරිතය. මට නම් හොඳටම මතකයි. මම ඒක බැලුවෙ අපේ කැම්පස් එකේ, විද්‍යෝදෙ ෆයිනල් ඉයර් එකේ. ස්වර්ණතිලකාට රඟපෑවෙ මනුලා බටුගෙදර. ඒ නම මතක තියෙන්නෙ එයාම සරච්චන්ද්‍ර සර්ගෙ මහාසාර නාට්‍යයෙ බිසව විදියට රඟපෑව නිසා. පස්සෙ කාලෙක මනෝ කැම්පස් එකෙන් අවුට් වෙලා පෙමතො දෙවන නිෂ්පාදනයෙ ආපහු උද්දාල වෙනවා. මෙදා සැරේ ස්වර්ණතිලකා වෙන්නෙ මනමේ, සිංහබාහුවල කෝරස් කියපු ගෑනු ළමයෙක් තමරා ජයන්ති ද සිල්වා. සුප්පාදේවි මාලිනී රණසිංහගෙ නංගි. මුලින්ම දවස් හතරාක් එක දිගට,1972 ඔක්තෝබර් 1,2,3,4, රාත්‍රී අටට පෙන්නුවෙ පේරාදෙණිය කැම්පස් එකේ ඊ ෆැක් (E Fac) සුඛාවතී ශාලාවෙ. ඉංජිනේරු ෆැකල්ටි තියටර් එකේ. මනෝ, දිගා, මම, විමල් (කේ.එච් ) අපි කට්ටිය කොළඹින් පේරාදෙණි ගිහිං ඒ දවස් ටික එහේ ගත කළේ. පෙමතො සිංදුවලට ආසා කරන්න පටන් ගත්තේ ඒ කාලෙ. අපේ මහා කවියා ගුණදාස අමරසේකර 1996 සිංහල කාව්‍ය සම්ප්‍රදාය කියන පොතේ සරච්චන්ද්‍රගේ භාෂාව ගැන කියන්නෙ මෙහෙම. ‘ශ්‍රී රාහුල හිමියන්ගෙන් පසු සිංහල වියත් වහරෙහි ව්‍යංජනා ශක්තිය අතැඹුලක් සේ පිරිසිඳ දත් කවියා සරච්චන්ද්‍ර වෙයි’. ඔහු එහි දී උදාහරණ ගන්නෙ සිංහබාහු දෘශ්‍ය කාව්‍යයෙ ගීතයි. ඊට නොදෙවෙනියි පෙමතො ගීත.

    උද්දාල බ්‍රාහ්මණයා, වැරදුණා මනෝගෙ ගීතය – සෙනෙහසට නිර්වචනය.

    ඈත සිට පිරිනමන භක්තිය

    ගෙනත් පාමුල තබන බුහුමන

    ඒ එකක්වත් නොවේ සෙනෙහස

    දිවා රෑ දෙක හද සමීපේ

    දෑස නොපියා බලා ඉන්නා

    දෙයකි සෙනෙහස

    නොලැබ පරිභව මුත් කිසිත් අන්

    මොළොක් තෙපුලක් ලබා ගැන්මට

    ජීවිතය තුරු

    මුහුණ මත ඇස් රඳා ඉන්නා

    දෙයකි සෙනෙහස

    ස්වර්ණතිලකා උද්දාල ඇදුරුතුමාගෙන් සෙනෙහස ඉල්ලා සිටින මේ ගීතය

    මට ඒ දවස්වල ඉඳලා කටපාඩම්. ඒ තරමට හදවතට ළඟ හදවත සසල කරවන අර්ථයක්. ජයන්ත අරවින්දගෙ ගී තනුව, ජයන්තිගෙ ගායනයෙන් මතු වුණු ආයාචනය? මේ නම් අමරසේකර කී ලෙසම රාහුල හාමුදුරුවන්ට පස්සෙ බිහි වුණු අපේ මහා කවියාම නොවේද සරච්චන්ද්‍ර?

    ඇදුරුතුමා වන්න මගේ

    නොදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර

    ජීවිතයේ ගිරි දුර්ගය

    නගින්ට අත් වැලක් දෙන්න

    මහට දෙන්න ගුරු උපදෙස්

    වියෝ වෙතත් මා ඔබගෙන්

    නිරන්තරව සිහියට එන

    සමීපයෙන් ඉවත් නොවී

    දුකටත් සැපටත් දෙකට ම

    නොහරින හිත මිතුරෙකු සේ..

    නාට්‍යය පෙන්නපු දවස් හතරෙම උදේ කාලේ අපිට වැඩක් තිබුනෙ නෑ. කොළඹින් ගිය අපි කණ්ඩායමට පේරාදෙණියෙන් එකතු වුණු මහින්ද සමරසිංහ,සරත් චන්ද්‍රසේකර එක්ක නුවර රවුම් ගැහිලි, පේරාදෙණි ගාර්ඩන් එකෙ ගිඩු පැනිලි, ඩොක්ටර් මයිකල්ගෙන් ලෝන් ගහගෙන නුවර ගිහිං ඩ්‍රාෆ්ට් බීර බීම්, සුන්දරයි මනෝ ඒ ජීවිතේ.මතක ද මනෝ අපි දෙන්නා නුවර ලක්සලට ගිහිං සිප්පිකටුවලින් හදපු පුංචි කුරුළු ජෝඩුවක් ගත්තා. මම ඇහුවෙ නෑ කාටද මොකටද කියලා. පස්සෙ කාලෙක ස්වර්ණතිලකා ඇදුරුතුමාට නාට්‍යයෙ වගේ ආයාචනා කරමින් සිංදු කිව්වෙ නෑ, ඇදුරුතුමා ගෙදරම ඉන්න නිසා. එතකොටයි මට ලක්සල තෑග්ගෙ රහස මතක් වුණේ.

    මනෝත් එක්ක නාට්‍ය ජීවිතෙ මතක කන්දරාවක් තියෙනවා. මනෝට මතක ද අපි දෙන්නා එක දවසක විද්‍යාලංකාරෙ( අද කැලණි කැම්පස් එකේ ) සිංහබාහු පෙන්නපු එක රෑක මම මේක්අප් ඉවර කරල මනෝ වැසියගෙ කොටස ඉවර කරලා, හෝල් එක පිටි පස්සට ඇවිත් සිගරට් එකක් බිබී කවි පොතක් කරමු කියල කතා කළ දවස?කොළඹ ඇවිත් විද්‍යෝදෙ සිංහල ස්පෙෂල් ෆයිනල් ලියන්න පාඩම් කරමින් හිටිය සුනිල් ආරියරත්නත් හවුල් කරගෙන දොළොස් මහේ පහන දල්වන්න පටන් ගත්ත විදිය?1971 දි දල්වපු දොළොස්මහේ පහන දෙවනි වතාවට දල්වපු දවස මතක් වෙනවා මනෝ, 2020 අගෝස්තු 30 මාතර සුරස පොත් මැදුර විවෘත කළ දවස? දෙවැනි මුද්‍රණයෙ ප්‍රකාශකයා, ප්‍රේම් දිසානායකගෙ සර්ප්‍රයිස් පොත් දොරට වැඩීම. දුක හිතුණා මනෝ පොත පිළිගන්වන කොට සුනිලුයි මමයි විතරයි. ඔබ නෑ. දෙවනි මුද්‍රණයෙ තුන්දෙනාගෙ සටහන්වල ඔබේ පින්තූරෙ විතරයි. සටහනක් නෑ. පිටුව හිස්, හරියට ඔබ නැතුව අපේ ජීවිත හිස් වෙලා වගේ. ජීවිතේ එහෙම හිස් තැනක් දකින්න වීම අදහගන්න බැරි මොහොතක්. ඒත් ජීවිතේ එහෙම දේවල් වෙනව නේ ද මනෝ? දොළොස් මහේ පහන අලුත් මුද්‍රණය දකින හැම මොහොතකම මට ඔබ මතක් වෙනවා. සුනිල්ගෙ විභාගෙ නිසා අපි එයාට කරදර කරන්නෙ නැතුව මරදානෙ අයි පී බී (IPB) ප්‍රෙස් එකේ කාපු කට්ට, ඉස්කෝලෙ මහත්තය හීන් නූලෙන් අපිට කියන උපහාසය පිරුණු කතා අහගෙන හැන්දෑවට සෝමෙ එක්ක අඩියක් ගහලා ඉස්කෝලෙ මහත්තයගෙයි ධම්ම ජාගොඩගෙයි ඇහෙන්නෙ නැති ගාණට හුවමාරු කරගන්නා සාකච්ඡා අනුකරණය කරමින් ගෙවපු කාලෙ සුන්දරයි මනෝ. කවි පොතෙන් කෙටිකතා පොතට. මනෝ ඔබ හිටියෙම නෑ ඒ වැඩේට. මම තනියමම දීපානියෙ රැග් වුණා වැඩේට. මුලින්ම අපි තුන් දෙනෙකුගෙ කවි, දැන් අපි දෙන්නගෙ කෙටිකතා. මෙදා සැරේ අයිතිය ඔබේ. ජයලත් මනෝරත්න, බුද්ධදාස ගලප්පත්ති සමග ලියූ පියසේන සහ කුමාරිකාව. ඊට පස්සේ අපේ හවුලෙ පොත් නෑ, ඒත් නාට්‍යවල අවුරුදු හතළිහකටත් වැඩි කාලයක හිත මිත්‍රකම, සංසාරගත බැඳීමක් ද මනෝ?”

    මම මනෝ කොහෙද කියල හොයන්නෙ මොකටද? මනෝ හැම තැනම. මනෝ පේනවා. මනෝ ඇහෙනවා. මට හිතුණෙ මනෝ අපිත් එක්ක කතා නොකරම හිටිය කියල. හිටිය නේන්නම්, බොරලැස්ගමුවෙ අබේරත්න මාවතට ගිය අන්තිම දවස්වල මනෝ ඇස් දෙක ඇරල යාන්තම් බැලුව විතරයි. කතා කරන්න, මතක් කරන්න, හුඟාක් දේ තියෙනව කියන්න වගේ බලාගෙන හිටියා. සමහර දවසක අතින් අල්ලගෙනත් හිටියා. නීල්ට මතකද? නීල් අලස් ඔව් එදා මමත් මනෝ බලන්න ගිහිං හිටියෙ. මම මනෝට කිව්වා අපි දෙන්නගේම යාළුවා කපිලට, කපිල කුමාර කාලිංගට ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණ කියලා. මනෝ කල්පනා කරල කිව්වෙ ‘කොච්චර කාලෙකට ඉස්සර ලැබෙන්න ඕන එකක් ද?’ කියලා.. එදා ද මනෝ අන්තිමටම මාත් එක්ක කතා කළ දවස? 2020 ජනවාරි 12 වෙනිදට දවස උදා වුණේ මට සන් මිත්‍රයෙක් වුණ, මුළු රටේම රසික ජනතාවගෙ ආදරය දිනාගෙන හිටපු ගුරුතරුව කඩා වැටුණා කියන, ඒ තරම් ඉක්මනට කිසිම දාක අහන්න බලාපොරොත්තු නොවුණු දුක්බර පුවතත් සමග. මට ඇහෙනව මනෝ ලියපු සින්දුවක්. ලකී, ලක්ෂ්මන් විජේසේකර ගායනා කළේ අවුරුදු ගණනාවකට ඉස්සර. සඳ කඩා වැටී වෙරළේ,,, ඒත් ඇයි මනෝ ලිව්වෙ නැත්තේ ගුරු තරුව කඩා වැටේ කියලා. ගුරු තරුව, සිංහල ගුරුවරයගෙ කියාගන්න බැරි ප්‍රේමය රත්නා ලාලනී ගුරුතුමියට කවියෙන් ප්‍රකාශ කළා අමතක වෙනවද? ප්‍රසන්න විතානගේගෙ ‘ද්විත්ව’ රඟපාපු කාලෙ මනෝගෙ රඟපෑම? මොහොතකින් වෙනස් වෙන චරිතය? ඇඟ පුරා බැන්ඩේජ් වෙළන්න ලකී මල්ලි වින්ද වධයක්? ඒත් මොකද, 1991 රාජ්‍ය නාට්‍ය උත්සවේ හොඳම වේදිකා පරිපාලක වෙන්න චන්දන නිශාන්ත පීරිස්ට ලැබුණේ ඒ නිසා නේ. හොඳම පරිවර්තනයට, හොඳම අධ්‍යකෂණයට, හොඳම නාට්‍යයට ප්‍රසන්න විතානගේ සම්මාන ගන්න කොට ඉතිරි සම්මාන තුන මනෝට ලකී මල්ලිට හා මට. සම්මාන 6 ක් එක්ක, මනෝගෙ රඟපෑමට හොඳම නළු සම්මානය, ලකී මල්ලි හොඳම් Stage Manager, එතකොට මම හොඳම Make up artist. රාජ්‍ය සම්මාන හයක් මැද මට මනෝගෙ මුහුණ පේනවා මනෝ.

    ක්‍රිකට් ක්‍රීඩාවෙ සමහර වාර්තා තියෙන්නෙ බිඳින්න අමාරුයි කියල හිතෙන. ඒ වගේ වාර්තාවක් මනෝට තියෙනව කියල ඔබට මතක ද මනෝ? රාජ්‍ය නාට්‍ය උත්සව පහක දී ම පස් වතාවක් හොඳම නළු සම්මානයට හිමිකම් කීම. 1974 රතු හැට්ටකාරි ,1985 පුත්‍ර සමාගම,1988 තල මල පිපිලා,1990 සොක්‍රටීස්,1991 ද්විත්ව. ඒකෙත් පුදුමෙ බලන්න මනෝ, ඒ සම්මාන පහෙන් තල මල පිපිලා, සොක්‍රටීස් හැරෙන්න ඉතිරි චරිත තුනේම, රතු හැට්ටකාරී ( ගුරුන්නාන්සේ හෙවත් රජ ), පුත්‍ර සමාගම(රුසියානු ජාතික ට්‍රම්පට් වාදකයා ෂරෆ්නොව්), ද්විත්ව (ඉතාලි ජාතික අන්තෝනියෝ – ෆියට් කොම්පැනියෙ ලොක්කා) එකකට එකක වෙනස් චරිත තුනටම ඕන මනෝගෙ මුහුණෙ වේෂය නිර්මාණය කිරීමට මට ලැබීම වාසනාවක් නේ ද මනෝ? අපි සංසාරගත බැඳීමක මිත්‍රයො නිසා ද එහෙම අහඹු සිදුවීම්?

    මනෝ අපි දෙන්නා එකට දුක සැප බෙදාගෙන ජීවත් වුණු මිත්‍රයො දෙන්නෙක්. මතක නේ මනෝගෙ පොත් දොරට වැඩුමක දි උත්සවේ වැඩ ඔක්කොම කරට අරගෙන කළ මට පහන පත්තු කරන ආරාධනාව කරන්න අමතක වෙච්ච හැටි. ඒ ගැන මම ලියපු කවිය. එදාම මහ රෑ මාව හොයාගෙන ඇවිත් පොත දීලා වැළඳ ගත්ත හැටි. අපි දෙන්නගෙ ජීවිත කාලයෙන් තුන් කාලක්ම එකට හිටපු මිත්‍රයා ගැන 2017 සැප්තැම්බර් 18 දා මගේ පොත් දොරට වැඩුමට ඇවිත් කළ කතාව. You tube වීඩියෝවක පැය බාගයක් තිස්සෙ යුවරජු ලුම්බිණියෙදි අප්පුහාමි වුණ හැටි පෙන්නපු ප්‍රාසාංගික ජවනිකාව කොහොම අමතක කරන්න ද මනෝ? 2021 ජනවාරි 06 වෙනිද වෙනකොට ලෝකය පුරා ඉන්න නරඹන්නො 73424 දෙනෙක් මනෝගෙ ජවනිකාව නැරඹුව viewed කියන එකෙන් තේරෙන්නෙ ඔබ මොන විදියෙ දක්ෂ රූපණ ශිල්පියෙක් ද කියන එක නේ ද මනෝ? සිංහබාහුවලට ආපු අපේ මිත්‍රයා දන්තුරේ බණ්ඩාරට වෙච්ච අලකලංචිය වගේම ඒ වෙලාවෙ ප්‍රේක්ෂාගාරයෙ හිටපු නවා, නවරත්න ගමගේගෙ අභිනය ගැන කළ කතාවත් මනෝගෙ සුපුරුදු රංගනයෙම කොටසක් බව එදා හැමෝම දැනගත්තා.දැන් මම මනෝ කොහේද කියල හොයන්නෙ නෑ. මට මනෝ පේනව. මට ඇහෙනවා. වෙනද වගේ හවසක BRC එකේදි හරි OPA එකේදි මුණ ගැහිලා ප්‍රීති ප්‍රාමෝද්‍යයෙන් ගත කරන හවසක මනෝ මට හමුවෙනවා. මනෝ අපි හැම දෙනාම එක්ක හැම තැනකම. ඉතිං මනෝ අදට මේ ඇති නේ ද? අවුරුද්දක් ගෙවුණා කියල දැනුණෙම නෑ මනෝ, ඒ තරමට අපි බැඳිලා. අපේ මතක. අවුරුදු හතළිහක මිත්‍ර සන්ථවයක මිහිරි මතක ටික ටික ලියල තියමු නේ ද මනෝ? අපි අතරෙ අවුරුදු හතළිහකට වැඩි කලක් තිබුණු මිත්‍ර සන්ථවයෙන් බිඳක තොරතුරු මතක් කළා.

    ආයෙ ඒ දවස එන තෙක් සමුගන්නම්. පතීගෙ අහස්ගව්වෙ සිංදුව මතක් වෙනව මට. “කඳුළක් සුසුමක් හදින් ගලන තෙක් එකමුතු වී අපි ඉමු මිතුරෝ…”

     

    බුද්ධදාස ගලප්පත්ති

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here