ඕනෑ එපාකම්

    0
    10

    ඉස්සරෝම කාලෙ ගම්පළාත්වල උදවියට තිබු‍ණෙ බොහොම සීමිත ඕනෑ එපාකම්. පාන්දර කුඹුරට ගිහිල්ලා නිල් පාටට පීදෙන බණ්ඩි ගොයම දිහා බලලා හිත සන්තෝසෙන් පුරෝගෙන, ඊළඟ කන්නෙ ගතකරගන්න තරමෙ අස්වැන්නක් ලැබුණොත් වැහි දෙයියොන්ට පින් දුන්න ඒ ජීවිතවල පිරිලා ඉතිරිලා තිබුනෙ සරල කම.

    මිනිස්සුන්ට අවශ්‍යතා තිබුනෙ ඩිංගයි. ඒ මිනිස්සු ලෝකෙ දැක්කෙ පාට කීපයකින් විතරයි. පාට කවලම් කරලා අලුත් පාට හදන්න පුළුවන් විත්තිය ඒ උදවියට කියලා දෙන්න කවුරුවත් හිටියෙ නෑ. 1977 කියන තීරණාත්මක අවුරුද්දෙන් පස්සෙ සාමාන්‍ය ජන ජීවිතය කණපිට ගැහුවා වාගෙ වෙනස් වුණා. විවෘත ආර්ථිකය කියන අලුත් සංකල්පය ඉපදුනාට පස්සෙ මිනිස්සුන්ට පිටරටවල සිද්ධවෙන දේවල් වාරණයක් නැතුව අහන්න දකින්න ලැබුණා. පාට කලවම් කරලා අලුත් පාට හදන්න වගේම ලෝකේ විවිධාකාර පාට තියෙන බව දකින්නත් මිනිස්සු හුරු වුණේ ඊට පස්සෙ.

    හුළං පුරවපු බැලුන්බෝලයක් වාගෙ මිනිස්සුන්ගෙ අවශ්‍යතා එන්න එන්නම විසාල වුණා. එහා ගෙදර තියෙන්නා වාගේ රූප පෙට්ටියක්, අල්ලපු ගමේ රට ඉදලා ආපු මේනකා ළඟ තියෙන්නා වගේ පුංචි රතු පාට කාර් එකක්, ටිකක් වැඩිපුර සල්ලිකාරයෙක් නම් කොල්ලුපිටියෙන් තමංගෙම කියලා ෆ්ලැට් එකක් වගේ අලුත් ඕනෑකම්වලින් සාමාන්‍ය මනුස්ස ජීවිත පිරෙන්න පටන් ගත්තා.

    අලුත් උවමනා එපාකම් සපුරගන්න ඕසෙට සල්ලි කොල උවමනා වුණා. ගමේ ගොවිමහත්තයාගේ දුව ගාමන්ට් යන්න පටන්ගත්තේ, පොල් කඩන ජිනදාසගේ පුතා සුපර්මාකට් එකක රස්සාවට යන්න පටන්ගත්තේ අලුත් උවමනා එපාකම් පිරිමහගන්න යහමින් සල්ලිකොල ඒ රස්සාවලින් ලැබිච්චි හින්දයි. විදුලි බලයෙන් වැඩ කරන මහන මැෂින් ඉස්සරහා, සුපර් මාකට්වල රෑ වැඩමුර අස්සේ තරුණ ජීවිත දියවෙලා යන්න පටන්ගත්තේ එහෙමයි.

    මනුස්ස චිත්ත සන්තානෙ හැම වෙලේම එක ඕනෑකමක් සම්පූර්ණ කරගත්තට පස්සේ තව ඕනෑකමක් දිහාට හැල්මේ දුවනවා. මනුස්සයෙක් පළවැනි කාර් එක ගන්නේ අවශ්‍යතාවයකට. ඒත් හුඟක් වෙලාවට දෙවැනි කාර් එක ගන්නේ, පළවෙනි කාර් එක කැඩුණට පස්සේ නෙමෙයි. පළවෙනි කාර් එක ගැන තියෙන ආසාව අවම වෙලා වෙන ලස්සන කාර් එකකට හිත බැඳුණට පස්සේ. හුඟක් වෙළෙඳපොළ භාණ්ඩ අළෙවි වෙන්නේ මේ “එපාවීම” සහ “වෙන එකක් ඕනෑවීම” කියන සරල මූලධර්මය හන්දයි.

    අවශ්‍යතා අසීමිත වෙන්න පටන් ගත්තට පස්සෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න අමතක වෙනවා. අවට පරිසරයේ සුන්දරත්වය දකින්න, දරුවන් එක්ක ගත කරන්න, ලස්සන පොතක් පතක් කියවන්න තියෙන මුළු ජීවිත කාලෙම සල්ලි කොළ පස්සෙ දුවන්න වැයකරනවා. කාලෙකට පස්සෙ ආපහු හැරිලා බලද්දි බඩු මුට්ටුවලින් ජීවිතේ පිරිලා තිබුණට තමන් ජීවත් වෙලා නෑ නේද කියලා හිතෙනවා.

    තමන්ට අයිති බඩු භාණ්ඩ අනුව ජීවිතේ වටිනකම් තීරණය කරන්නේ ලංකාවේ උදවිය විතරක් නෙමෙයි. පිටරට උදවියත් එහෙම කරනවා. ලී කියන්නේ අවුරුදු විසි පහක යස ඉලන්දාරියක්. එයා එයාගෙ නෝනට අරන්දෙන දියමන්ති මුද්ද ඩොලර් විසිදාහක්. ණයට ගන්න මුද්දෙ ණය පියවන්න එයාට තව මාස ගාණක් කන්තෝරුවට දාඩිය මහන්සිය දිය කරන්න වෙනවා. ලීට වැඩිය අවුරුදු විස්සක් වයස කෙසී මේ මුද්දේ වටිනාකම අහලා ඇස් නළලේ තියාගන්නවා. “අපරාදෙ ඔයාට අලුතෙන් ඉඩමක් ගන්න මේ සල්ලි අරන් තියාගන්න තිබුණනේ…” කෙසී හැඟීම් හිතේ තියාගන්නෙ නැතුව වචන කරනවා. කෙනකුට මේක පරම්පරා පරතරය කියලා හිතුනත් මට හිතෙන්නේ මේ කාලයත් එක්ක ඇති වෙච්ච අවශ්‍යතාවල විකාශනය කියලයි.

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ, උතුරු පැත්තේ ටවුමට කිට්ටුවම නගරෙක සුප්‍රසිද්ධ ගණකාධිකරණ ආයතනයක් තියෙනවා. රස්සාවෙ පඩිපෙළ අමාරුවෙන් නැඟපු හුගක් උදවිය මේ කන්තෝරුවේ රස්සාව කරනවා. අවුරුදු විසි ගණන්වල අන්තිම අවුරුද්ද ගෙවමින් හිටපු ඇලෙක්ස්ට දෙසැම්බර් මාසෙ අග හරියෙ දවසක තමන්ගෙ ප්‍රධානියාගේ කාමරේට එන්නය කියලා පණිවිඩයක් ලැබෙනවා.

    ඇලෙක්ස්ට ආයතනය ඇතුලෙ ලබන්න පුළුවන් උසස්ම තලයේ උසස්වීම ලැබිලාය කියලා එයාගෙ ප්‍රධානියා එයාට දැනුම් දෙනවා. “දැන් ඉතින් ගිහිල්ලා සතුට සමරන්න….” ඇලෙක්ස්ගේ මැනේජර් මහත්තයා එයාට කියනවා.

    අවුරුදු විසි ගණනකින් ඒ වගේ තනතුරක් ලැබෙනවා කියන්නේ හීනයක්. ඇලෙක්ස් ඒ විත්තිය දන්නවා. ඒත් එයා අපහු තමන්ගෙ කන්තෝරු කාමරේට ගියාට පස්සේ ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලනවා. යාලු මිත්‍රකම්, නෑදෑකම් කොච්චර නම් මේ ගමන් එන්න කැපකරාද කියලා එයාට හිතෙනවා. ඒ වගේම මේ තනතුර භාරගත්තොත් තමන්ගෙ ජීවිතේම කාසිවලින් වටවෙච්ච හිස් හිරගෙයක් ඇතුලෙ හිර වෙනවා කියලා එයාට පේනවා. ඊට පස්සෙ එයා හැටවෙනි තට්ටුවේ ඉඳලා පළවෙනි තට්ටුව වෙනකල්ම පඩි පේළිය දිගේ බැහැලා ආයේ කන්තෝරුව දිහා නොබලාම ගෙදර යනවා. ඉල්ලා අස්වීමේ ලිපිය පහුවෙනිදා තැපැල් කරනවා.

    මග ඇරිච්ච යාලු මිත්‍රකම් ආයෙමත් අලුත් කරගන්න උනන්දු වෙනවා. අඩු ඕනෑ එපාකම් ප්‍රමාණයක් ඇතුළෙ අලුතෙන් ජීවිතේ ගොඩනගාගන්න එයාට පුළුවන් වෙනවා. සල්ලි වියදම් කරලා දෙයක් ගන්න කලින් “මේ දෙයින් මට ප්‍රයෝජනයක් තියෙනවද?” කියලා එයා ආයෙ තමන්ගෙන්ම අහනවා. එහෙම අහලා කඩෙන් බඩු ගන්න පටන් ගත්තට පස්සෙ ඇලෙක්ස්ට වැඩිය ස්ල්ලි වුවමනාවෙන්නෙ නෑ.

    ළඟදි මූණුපොතේ මම අපූරු සටහනක් දකිනවා. හෝමෝ හැබිලිස්ගේ (Homo Habilis) ඉඳලා හෝමෝ සේපියන් (Homo Sapiens) දක්වා පරිණාම චක්‍රය ඒ රූපසටහනේ තියෙනවා. හෝමෝ සේපියන් තවත් ඉස්සරහට පරිණාමය වෙන්නේ නැතුව ආපහු හැරිලා එන විත්තිය රූපසටහනේ ඇඳලා තියෙනවා. විහිළුවක් වගේ පෙනුණට ඒ රූපසටහන විහිළුවක්ම නෙමෙයි නේද කියලා ආපහු කල්පනා කරාම තේරෙනවා. හීන සල්ලි දීලා ගන්න, වටපිට බලන්නේ නැතුව හතිදාගෙන දුවන එක නවත්තලා ආපස්සට හැරිලා එන්න කාලෙ හරි කියලා මට හිතෙනවා.

    දසුනි හෙට්ටිආරච්චි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here