කවි කතන්දර අහුරු ඇහින්දෙමි

    0
    11

    ලොකු අම්මා ළමයි ඔක්කෝම බිම පැදුරු උඩ වටේට ඉන්දවලා පිඟන්වලට බෙදනවා. ඒකේ බත් පරිප්පු නං අනිවාරයෙන්ම.

    තව මොකුත් මාලු හොද්දක් එක්ක බත් කාලා, ඊට පස්සේ යනවා ගෙදෙට්ට, විගහට ලොකු තාත්තා එන්න කලියෙං. ගාලු පාරෙ සද්ද බද්දත් වැඩියි. ලොකු තාත්තගෙ සද්දෙත් වැඩියි. පන්සල ළඟ හොර පාරකින් යනව ගෙදෙට්ට.

    තවත් දවසක පාන්දරක් උදාවෙනවා. මල්ලිව නං මගෙ වැඩවලට එකතු කර ගන්නම බෑ. එයා බිම් බස්සා වගෙ පුන්චි අම්ම එක්කමයි. මං ආයෙම යන්නෙ තවත් තණ නිල්ලක් දකින්නත් එක්ක මහ පාන්දර. මහ සද්දන්ත රොබට් මාමලගෙ ගේ ළඟින් පැනපු ගමන් දිය කඩිත්තක්. එතනිං එතෙර වෙන්න තියෙන්නෙ පුංචි ලෑලි පාලමක්. ඒ දණඩක්. දිවි කදුරු ගස්වල හොඳටෝම පැහිච්ච ගෙඩි වැටිල වතුරට, පාවෙනව. කාඹරංගා ගහෙත් ගෙඩි එක සීරුවටම ඉදිලා. තනි නොතනියට වගෙ ඉන්නෙ කිරි පාට කොක්කු. තණ කොටුව මැදි කරගෙන වගෙ කුසුම නැන්දම්මලගෙ ගේ. ගේ ඇතුල නං, හරීම කරුවලයි. බිමට දාලා ගොම මැට්ට. හැබැයි හරි පිළිවෙලයි, පිරිසුදුයි. ගෙදර හිටියෙ හොඳ ආච්චියි, බේබි සීයයි, මහතුන් මාමයි, කුසුම නැන්දම්මයි, කරුණාදාස පුංචි මාමයි,

    තව කොන්ද දෑකැත්තක් වගෙ වක ගැහුනු මී ආච්චියි. දිමි ගොටු පිරිච්ච අනෝදා ගහෙන් ඉදිච්ච ගෙඩියක් පන්න ගන්න මායි ඉන්දරයි කොච්චනං වලි කෑවද? පස්සෙ පුංචා කඩල දුන්නා කටු ආත්ත ගෙඩියක්. කෙළ පෙර පෙර ආතා ගෙඩියෙ රස බැලුවෙ අපි හැමෝම එක්ක.

    තව චුට්ටකින් නීප්පට්ටු එනව යූ සී එකේ කුණු කන්දරාව කරත්තෙක පුරෝගෙන. තණ කොටුවටයි කුණු බාන්නෙ. පළාතෙම කුණු එකතු කරන් බානවට යූ සී එකේ ෆෝමන් මහත්තෙය ගෙවනව ගානක් නිප්පට්ටුට.

    “දවසේම රස්තියාදු ගහල….එනව ගෙදර”

    මට බැනුම්. කඩදහි කවරෙක ඔතල දුන්නු ඉදිච්ච අනෝදා ගෙඩිය දෙනව මං‍ෙ

    අන්චි පුම්මට.

    “මෙන්න දුන්න හොඳ ආච්චි.” අපේ ආච්චිටත් සතුටුයි ඉතින්.

    අපේ ගේ පිටිම පිටි පස්සෙයි තියෙන්නෙ, වල වැසිකිළිය. ළිඳ පහු කරල, කොහිල ගාලත් පහුකරල, ඇවිදිං තමයි එතෙන්ට ගොඩ වෙන්නෙ.

    මං දැන් ඉන්නෙ ඈත දුර ගමනක් යන්න. ගමට. ගෙදරින් බැඳල දෙනව බත් මුලක්, සොපී හරි පුංචි අම්ම හරි, බත් ඔතන්නෙත් කෙහෙල් කොළේක. මං කැමති එහෙමනෙ. වතුර බෝතලයක්, පැදුරක්, කොට්ටයක්, තව මගෙ පොත් පත්තරයක් පෑනක් රූල් තියෙන කොළයක් දෙකක්. ලියන්ට. වත්ත කොනේම තියෙන්නෙ අපේ ලී මඩුවක්. කෙටි බිත්තියට නැගල, එතනිං අල්ලගෙන ලෑලි කොණක්, නගිනව මං වැසිකිළි වහලෙට. වහල කිව්වට ඒක හොඳ කොන්කිරිට් තට්ටුවක්. මඩුවෙ කොස්ස අරං උඩ වැසිකිළි සඳැල්ල අතුගාලා එලාගන්නව පැදුර කොට්ටෙ, තව පැත්තක බත්මුල, තව තැනක පොත්පත් ලියකියවිලි මං එක්කම.

    හුළඟ ගලන්නෙ සුදුමුදු ගතියෙන්, අල්ලපු වැටේ ඇට්ටේරිය මල් සුවඳ උහුලන්නත් බැරි තරං. වත්තෙ එක සීරුවට පිපිච්ච දාස්මල්වලට ඇවිදිං සමනල්ලු. අහස පුරාම ගලාගෙන යන්නෙ කිරි සුදු වළාකුළු. හිමාලයෙ හිම කඳු කැටිති වගෙ.

    නීල් පාට සද්දන්ත ආකාසෙ නේක රටා මවන්නෙ වලා කැටිතිවලින්. පියාඹනව කුරුල්ලොත් සිංදු කිය කියා. ගේ කුරුල්ලො, පැණි කුරුල්ලො, බට්ටිච්චො කොච්චරක් කියලද? අරලිය මලක වහපු ඇබිත්තං ඇණි කුරුල්ලෙක් කිරිල්ලට කියනව වගෙ රහසක්. හදවතේ හැම හතර දිග් බාගෙම පිරිල තියෙන්නෙ හිතෙන් දැකපු හීනවල පිරී තිරී තියෙන නේක සුන්දර සිතුවම්. කව් ගී කතා අහුරු අහුරු ලියන්නට වත්ත පහළ පුංචි කොන්කිරිට් සඳැල්ල හේතු වාසනා වුණු හැටි….

    එහා වත්ත ඉස්සර අපෙ ආච්චිලගෙ බදු ඉඩම්. දැං අරං තියෙන්නෙ සින්නකරේට විලියම් ග්රයින්ඩින් අයිති මුදලාලි. පුංචිසිංඤඤෝ වැඩ කරන්නෙම වත්තෙ ගස් එක්ක. හැන්දෑවට වැඩ වරල උන්දැ එන්නෙ කඩේට පාන් බාගෙ තේකක පොඟෝ ගෙන කන්න කියල. මෙහා වත්තෙ ඉන්නෙ ජේන්. ඈ ඇගේ මුළු තරුණ කාලෙම කැඹුරුවෙ ගාල්ලෙ හාමුලාට. පිටි කොටන්නෙ ජේන්, කුකුළු කූඩු සුද්ද කරන්නෙ ජේන්. වත්ත පිටිය අමදින්නෙ ජේන්. උයන්නෙ පිහන්නෙ ජේන්….

    අහස උසට බලාපොරොත්තු ලියලනවා. නේක රටා මවන අහස හැන්දෑවකට පාට හොයනවා. බත් මුල පිළුණු වෙන්න කලියෙං, කන්නවෙනව. ඇහෙනව වගෙ ගෙදරින් මට එන්න කියනවා…..

    “ශා….න්…තී….!”

    “එ..න.වා…….!!!!” ලක්ෂ්මී බෝම්බුවල

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here