කිඹුල්වත

    0
    4

    1865 ජනවාරි 13 දා, දහවල් දොළහමාරට පමණ එලීනා ඉවනොව්නා මහත්මිය, සිය සැමියා සමඟ නගරයේ පැවැත්වෙන ප්‍රදර්ශනයක් නැරඹීමට යෑමට සූදානම් වූවාය.

    “මම හරි ආසයි කිඹුලව බලන්න. මං කවදාවත් කිඹුලෙක් දැකලා නෑ.”

    ඇය පැවසුවාය.

    ඇගේ සැමියා වූ, ඉවාන් මැට්විච් සිවිල් සේවකයෙකි. මේ දිනවල ඔහු සිටියේ නිවාඩුවක් ගත කිරීම සඳහා විදෙස් සංචාරයක යෙදීමට සූදානම් වෙමිනි. එදින විවේකී දවසක් වූයෙන්, ඉවාන් මැට්විච්, තම බිරියගේ ඉල්ලීමට එකඟ වූයේ සතුටිනි.

    ප්‍රදර්ශනයේ එක් තැනෙක, විශේෂයෙන් ඉදිකළ ටැංකියක, කිඹුලා නිසලව වැතිර සිටියේය. ප්‍රවේශපත්‍ර මිලදී ගත් ඉවාන් මැට්විච් යුවළ, කිඹුල් ටැංකිය අසලට ගියහ. මහත් කුතුහලයෙන් පසු වූ, එලීනා ඉවනොව්නා, කිඹුලා දෙස බලා, මුහුණ හකුලා ගත්තේ, විශාල බලාපොරොත්තුවක් බිඳ වැටුණු කලෙක මෙනි.

    “මගේ හිතේ තිබුණේ වෙන විදිහ කිඹුලෙක්.”

    ඇය සැමියාට කීවාය. කිඹුලා යනු දියමන්තියෙන් කළ ආභරණයක් බඳු අලංකාර සත්වයෙක් යැයි ඇය සිතා සිටියා විය හැකිය.

    ප්‍රදර්ශනය සඳහා, කිඹුලා ගෙනැවිත් තිබුණේ ජර්මන් ජාතිකයෙකි. ඔහු නරඹන්නන් හමුවේ පෙනී සිටියේ මහත් ආඩම්බරයෙනි.

    “මිනිහට එහෙම ආඩම්බර වෙන්න අයිතියක් තියෙනවා. කිඹුලෙක් අයිති වෙන කෙනෙක් මේ මුළු රුසියාවේ ම නෑ.”

    ඉවාන් තම මිතුරකු හා සෙමෙන් පැවසීය.

    “මේ ඇත්තම කිඹුලෙක් ද? මෙයාට පණ තියෙනවද?” ඉවනොව්නා මහත්මිය ජර්මන් ජාතිකයා ගෙන් ඇසුවාය. ඔහු පිළිතුරු දුන්නේ කැඩුණු රුසියන් බසිනි.

    “ඔව්. ඔව්. මැඩම්, ඉන්න මම පෙන්නන්න.”

    ඔහු තම අත තිබූ සැරයටියකින් කිඹුලා ගේ හිසට තට්ටු කළේය. තම පාදයන් දෙ පසට විහිදවූ කිඹුලා, නඟුට වැනුවේය. ඉන්පසු උගේ දිගු මුඛය හැර හඬක් නැගුවේය.

    මේ අනතුරුදායක සත්වයා දැකීමෙන් ඉවනොව්නා තුළ ඇති වූයේ, බියකට වඩා අප්‍රසන්නතාවය කි.

    “මම යනවා වඳුරො ඉන්න පැත්තට. උන් හරිම හුරතල් සත්තු. මේ කිඹුලා වගේ නෙවෙයි. හිතට සතුටක් ගෙන දෙනවා.”

    ඇය ටැංකිය අසලින් ඉවතට පියමැන්නාය. තවත් මොහොතක් එතැන රැඳුණු ඉවාන් තම අත් මේසයක් ගලවා, එය කිඹුල් මුහුණ දෙසට වැනුවේය. ජර්මන් ජාතිකයා තම ආචාරශීලීත්වය දක්වමින් ඉවනොව්නා සමඟ වඳුරු කූඩු දෙසට පිය මැන්නේය. ඉන්පසු සිදුවූයේ ඇදහිය නොහැකි විපතකි.

    ඉහත දැක්වූයේ පියදෝර් දොස්තොව්ස්කි ගේ the crocadile (කිඹුලා) නමැති කෙටි කතාවේ ආරම්භයයි.

    ඔහුගේ නවකතා හා කෙටිකතා කිහිපයක්ම, සිංහලට පරිවර්තනය වී ඇති නමුත්, මෙය මෙතෙක් සිංහල පාඨකයාට හමු වී නැතැයි සිතමි.

    මට එය කියවන්නට ලැබුණේ, 1958 දී ප්‍රකාශයට පත්ව තිබූ නොරිස් හෝට්න් විසින් සංස්කරණය කරනු ලැබූ ශ්‍රේෂ්ඨ රුසියානු කෙටිකතා සංග්‍රහය තුළිනි. හෝට්න් “කිඹුලා” කතාව හඳුන්වනුයේ අග්‍රගණ්‍ය උපහාස ප්‍රබන්ධයක් ලෙසිනි. ඔහු සඳහන් කරන අන්දමට “පන්ච්” වර්ගයේ රුසියානු උපහාස සඟරාවක් වන “krokodil” සඳහා එම නම යොදා ඇත්තේ ද, දොස්තොව්ස්කි ගේ “කිඹුලා”ට කරන උපහාරයක් වශයෙනි.

    මෙම කතාව ප්‍රථම වරට පළ වී ඇත්තේ දොස්තොව්ස්කි විසින්ම ප්‍රකාශයට පත් කරන ලැබූ Epoch (1865) සඟරාවෙහිය. විශිෂ්ට කෙටි කතාවක් වුවද දොස්තොව්ස්කි ගේ නිර්මාණ අතර “කිඹුලා” තරමක් අප්‍රකට හෝ මඟ හැරුණු කතාවක් ලෙස සැලකේ. දොස්තොව්ස්කි ගේ ප්‍රියතම ලේඛකයා වූයේ ගොගොල් බැවින් ඔහුගේ ආභාෂය ඇතැම් කෘතීන් තුළ දක්නට ලැබේ. “කිඹුලා” ඊට හොඳම නිදසුනකි.

    දොස්තොව්ස්කි ගේ සිය ප්‍රථම නවකතාව වූ “අසරණ මිනිස්සු” (poor folk) රචනා කළේ, ඔහුට වයස අවුරුදු 22 වීමටත් පෙරය. එහි අත්පිටපත කියැවූ නික්‍රෙසෝව් නමැති, ප්‍රකාශකයා, බෙලින්ස්කි නමැති ලේඛකයාට ද එය කියවා බැලීමට දුන්නේ, “අපිට අලුත් ගොගොල් කෙනෙක් පහළ වෙලා.” යැයි කියමිනි.

    විශ්ව සාහිත්‍යය පිළිබඳව කෞතුකාගාරයක් ඉදි වුවහොත් එහි විශාල ශාලාවක් රුසියානු සාහිත්‍ය සඳහා වෙන් කිරීමට සිදුවනු ඇත. එම ශාලාවේ විශේෂ කුටියක් දොස්තොවුස්කි නැමැති මහා ගත් කතුවරයා සඳහා වෙන් කෙරෙනු නොඅනුමානය. ඔහුගේ සාහිත්‍ය සේවාව, ලේඛකයන් බොහෝ දෙනකු විසින් ඉටුකරලිය යුතු මෙහෙවරක්, තනි පුද්ගලයකු විසින් පරිපූර්ණ ලෙස නිමවා ලීමක් බඳුය.

    දොස්තොව්ස්කි චරිතය හා ඔහුගේ කෘතීන් අතර ද වැඩි වෙනසක් නැත. ඔහු ගූඨය. තවත් විටෙක මනෝවිද්‍යාත්මකය. හැම විටම මානව භක්තියෙන් පිරිපුන් ය. රුසියානු සාහිත්‍යය පෝෂණය කළ දොස්තොව්ස්කි වැනි ලේඛකයන් සෝවියට් සාහිත්‍යය තුළ බිහි වූයේද නැත.

    මෙම ලිපියෙහි අරමුණ දොස්තොව්ස්කි පිළිබඳ කතිකාවතකට යාම නොව. (එය මෙබඳු කෙටි ලිපියකින් කළ හැක්කක් ද නොවේ. ඔහුගේ ඒ අමුතු කතාව -කිඹුලා- පිළිබඳව සිංහල පාඨකයාට හඳුන්වා දීම බැවින් යළිත් එදෙසට යොමු වනු කැමැත්තෙමි.

    මෙම කතාව ගොඩ නැගෙනුයේ, කථකයකුගේ දෘෂ්ටිකෝණයෙනි. ඉවාන් ඔහුගේ මිත්‍රයෙකි.

    එලීනා, වඳුරු කූඩුව දෙසට ගිය පසු සිදුවූ පුදුමය නම්, ඉවාන් කිඹුලාට ගොදුරු වීමය. එහෙත් ඔහු මිය නොයයි. කිඹුල් කුස තුළ සිටිමින් පිටස්තර පුද්ගලයින් හා කතාබස් කරයි. තමා ගලවා ගැනීම සඳහා බිරියට උපදෙස් දෙයි. කිඹුලාගේ උදරය කපා ඉවාන්ගේ ජීවිතය ගලවා ගත හැකි වුවත් ජර්මන් ජාතික ව්‍යාපාරිකයා ඊට විරුද්ධ වෙයි. ඔහුට ඉවාන්ට වඩා කිඹුලා අගනේය. කිඹුලා මරා දැමීමට නම් ඒ සඳහා ඔහු විශාල මුදලක් ඉල්ලා සිටියි. රජයේ පරිපාලන නිලධාරියකු වුව, ඉවාන් නොවුවද එය ඉටු කිරීම දුෂ්කරය. බිරිය ද ක්‍රම ක්‍රමයෙන් සිය සැමියාගේ කිඹුල් වාසි ජීවිතය ඉවසා සිටීමට හුරු වෙයි. එහෙත් ඔහුගේ මිත්‍රයා (කථකයා) ඉවාන් ගලවා ගැනීම සඳහා උත්සාහ කරයි. එහෙයින් ඉවාන් ගේ උසස් නිලධාරියකු වන සෙමියෝනිච් හමුවීමට යන්නේ කිසියම් සහනයක් අපේක්ෂාවෙනි. සිදු වූ දෙය අසා සිටින සෙමියොනිච් මෙසේ කියයි.

    “ඉවාන් හැමතිස්සෙම තමන්ගේ දියුණුව ගැන හිතලා වැඩ කරපු මිනිහෙක්. ඒත් දියුණුවම හොයන උදවියට අත්වන ඉරණම හැටි. අනිත් අතට මිනිහා හොඳ උගතා. ඕනෑවට වැඩිය ඉගෙන ගත්තමත් හැම දේටම ඇඟිලි ගහන්න යනවා. මම නම් සාමාන්‍ය සොල්දාදුවෙක්ගේ පුතෙක්. ලොකු උගත් කමක් නෑ.”

    “නෑ. නෑ. ඉවාන් දිගටම ඔබතුමාට සේවය කරන අදහසින් ඉන්නේ. එයා, ඔබතුමාගේ උපදෙස් අගය කරනවා. ඒකයි මම ඔබතුමා ළඟට ආවෙත්. අපිට උදව් කරන්න. ඉවාන් ඇස්වල කඳුළු පුරවගෙන ඉල්ලා සිටියා ඔබතුමා මුණගැහෙන්න යන්න කියලා.”

    “අන්න කිඹුල් කඳුළු, කාටද පුළුවන් ඕවා විශ්වාස කරන්න. අනික මිනිහා ලෑස්ති වෙලා හිටියෙ පිටරට නිවාඩුවක් ගත කරන්න. සල්ලි නැත්තං ඒවා කොහොමද කරන්නේ?”

    “ඉවාන් එයාගෙ බෝනස් එක ඉතිරි කරගෙන හිටියේ ඒකට…. මාස තුනක් ස්විට්සර්ලන්තෙ ගත කරන්න. විලියම් ටෙල් ගේ රට, ඊට පස්සේ නේපල්ස් යන්න. කෞතුකාගාර, සත්ව උද්‍යාන බලන්න.”

    “ඇයි මේ පීටර්ස්බර්ග් නුවර ඔය හැමදේම නැද්ද?”

    “ඉවාන් අපේ මිත්‍රයෙක්. එයා අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ උදව් කරන්න ඕන නේද? අඩුගානේ එයාගේ වැටුපවත් දෙන්න බලන්න.”

    නිලධාරියා නිවාඩු අනුමත කිරීමට කැමැති වුවත් වැටුප් ගෙවීමට එකඟ නොවෙයි. ඉවාන්ගේ තත්ත්වයට වඩා ඔහුගේ බිරිය පත්ව තිබෙන ශෝකී තත්ත්වය ගැන විමසීමට සෙමියෝනිච් වඩා උනන්දු වෙයි. මිතුරා නැවත ඉවාන් හමුවට ගොස් උසස් නිලධාරියා ගෙන් ලද ප්‍රතිචාරය දන්වයි. පුදුමයකට මෙන් ඉවාන් පවසන්නේ නිලධාරියාගේ තීරණය නිවැරදි බවය. රජයේ ආර්ථික ප්‍රතිපත්තිය එලෙසම ක්‍රියාත්මක විය යුතුය. තමා කිඹුල් කුස තුළ හොඳින් කල් ගෙවන බවත් එහි සිට වැඩ කටයුතු කරමින් ඉදිරියේ දී තම වැටුප් දෙගුණ කර ගැනීමට අදහස් කරන බවත් ඔහු පවසයි.

    මුළු කතාව ම ගලායන්නේ, මෙබඳු සියුම් උපහාසාත්මක සිදුවීම් හා සංවාද තුළිනි. එහෙත් මෙය හුදු උපහාසාත්මක උපහාසයකටම සීමා නො වූවක් බව “කිඹුලා” විවරණය කරන විචාරකයෝ පෙන්වා දෙති.

    “කිඹුලා” යනු, රුසියානු ආර්ථිකය ගිලගෙන සිටින විදේශීය ව්‍යාපාර ය. නිලධාරීහු ද ඒ කිඹුලාට ගොදුරු ව සිටිති. ඉන් මිදෙන්නට කිසිවකුට අවශ්‍යතාවයක් නැත. මෙය එක් විග්‍රහයකි. කිඹුලා විවිධ කෝණයන්ගෙන් දැකිය හැකි කතාවකි. ගොගොල් ගේ “නාසය” කෙටිකතාව හෝ “මළ මිනිස්සු” නවකතාව මෙන්ම, දොස්තොව්ස්කි ගේ “කිඹුලා” ද නිලධාරීවාදය පිළිබඳ කර්කශ උපහාසයකි.

    තවත් අර්ථ කථනයකට අනුව කිඹුලාගෙන් සංකේතවත් වනුයේ, යුරෝපයේ ගිල ගනිමින්, ව්‍යාප්තවෙමින් පැවති කාර්මීකරණය යි. වර්තමානයෙහි, එය නව අර්ථ කථනයකට ලක්කරන්නකුට “කිඹුලා” කෝවිඩ් වසංගතය බවට පත් කළ හැකිය. කිඹුලා සමග විසීම නව සාමාන්‍යකරණය යි.

    කපිල කුමාර කාලිංග

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here