ගම දිනවන තරුණ අරුණ

    0
    28

    ගම්වලට පැමිණෙන බාහිර බලවේගයන්ගෙන් ගම් විනාශ නොවීමට ගම්වැසියන් නුවණක්කාර අයුරින් ක්‍රියා කළ යුතු ය. ගම්වල පවතින පෞරාණික නටබුන්, ස්වාභාවික සෞන්දර්යෙන් අනූන ස්ථාන, වන සතුන්, ඛනිජ සම්පත් වැනි වටිනා දෑ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගන්නාවා විනා ඒවා වංචනික පුද්ගලයන්ට නතු කර ගැනීමට ඉඩ නොදිය යුතුය.

    සංවර්ධනය පුළුල් මානව ක්‍රියාවලියකි. නූතන ලෝකයේ සෑම රටක්ම සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට විශාල පරිශ්‍රමයක් දරයි. එහි දී එම රටවල ගම් සැලකිය යුතු මට්ටමක සංවර්ධනයක් කරා යා යුතු වේ. අද වන විට සංවර්ධනය යනු විශේෂිත වුද, විවිධාංගිකරණය වුද, වඩාත් ජනතා සිතුම් පැතුම් සමඟ සම්බන්ධ වුද, සංකල්පයක් බවට පත්ව තිබේ. ගැමි ජනතාවගේ සංවර්ධනය යනු එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ගැටලුවකින් තොරව සපුරා ගැනීමට අවකාශය සැලසීම බව සැලකිය හැකිය. එහෙත් එය ඊට වඩා බොහෝ සංකීර්ණ ක්‍රියාවලියකි. ග්‍රාමීය අර්ථ ක්‍රමය තුළ පවතින්නේ පවුල කේන්ද්‍ර කර ගත් පරිභෝජනවාදී ආර්ථික ක්‍රමයකි. කෙමෙන් කෙමෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ දී ග්‍රාමීය ආර්ථිකය තවදුරටත් සරල ආර්ථික ක්‍රියාවලීන් මත රඳා පවතින්නේ නැත. පුද්ගල අවශ්‍යතා සංකීර්ණවත්ම ග්‍රාමීය ආර්ථිකයද සංවර්ධන විය යුතු ය. එසේ නොමැතිනම් විවිධ සමාජ ගැටලුවලට මුහුණපාන්නට සිදු වේ.මෙම සමාජ ගැටලුවලට විසඳුම් ලැබීමට නම් ග‍ම් සංවර්ධනය වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. වර්තමානයේ දී ග්‍රාම සංවර්ධනය සඳහා රටේ තරුණ ප්‍රජාවගේ දායකත්වය වැඩි කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු ය.

    ලෝකයේ වෙනත් රටවල පවතින ගම්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අවධානයට ලක් කළ යුතු ගම් විශාල ප්‍රමාණයක් පවතී. ගම් තුළ ජන වර්ගය, ස්ත්‍රී පුරුෂභාවය, පන්තිය, සහ ආගම් වැනි විවිධතා බොහෝමයක් පවතී. විවිධතාවයකින් යුතු ගම්වැසියන්ට තමන්ගේ දෛනික කටයුතුවලට අමතරව විවිධ අවශ්‍යතා පවතී.උදාහරණ වශයෙන් පුස්තකාල, ක්‍රීඩාගාර, ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන පෙන්වා දීමට පුළුවන. විශේෂයෙන්ම අවිධිමත්ව පවතින ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන විධිමත් කර ගැමියන් එම මධ්‍යස්ථාන වෙත යොමු කරවිය යුතු වේ. ග්‍රාමීය සංවර්ධනය යනු ගම් භෞතික වශයෙන් දියුණු වීම පමණක් නොවේ. මංමාවත්, ගොඩනැගිලි ඉදි කළ පමණින් ගම් සංවර්ධනය කළ නොහැකි ය. ආර්ථික, භෞතික මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද ගම් සංවර්ධනය විය යුතු වේ.

    බාහිර පාර්ශ්වයන්ට නොරැවටීම

    ග්‍රාමීය සංවර්ධනය සඳහා ඒ ඒ ගම්වල වෙසෙන ජනතාව, ඒ ගමේ කටයුතු සඳහා කොතරම් දුරට සහභාගී වන්නේ ද යන්න සොයා බැලිය යුතුයි. විශේෂයෙන් ගමේ ජීවත්වන මිනිසුන්ගේ සහභාගීත්වයෙන් තොරව ගම් සංවර්ධනය කළ නොහැකි බැවිනි. කිසි විටකත් විදේශ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් කිසිම පාර්ශ්වයකට ගම තුළට බලෙන් ඇතුළු වීමට ඉඩ නොතැබිය යුතුය. අප රටේ ගම්වල තිබෙන ගැටලුකාරී දෑ පිළිබඳ හදුනන්නේ ඒ ඒ ගම්වල ජනතාවය. එසේ තිබිය දී ගම්වලට පැමිණෙන වෙනත් පාර්ශවයන් තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා ගම්වලට පැමිණ තම තමන්ගේ සිතැඟියාවන් ඉෂ්ට කර ගැනීමට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතු වෙයි.

    ගම්වලට පැමිණෙන බාහිර බලවේගයන්ගෙන් ගම් විනාශ නොවීමට ගම්වැසියන් නුවණක්කාර අයුරින් ක්‍රියා කළ යුතු ය. ගම්වල පවතින පෞරාණික නටබුන්, ස්වාභාවික සෞන්දර්යෙන් අනූන ස්ථාන, වන සතුන්, ඛනිජ සම්පත් වැනි වටිනා දෑ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගන්නවා විනා ඒවා වංචනික පුද්ගලයින්ට නතු කර ගැනීමට ඉඩ නොදිය යුතු වේ. ඒ සඳහා ගම්වල පමණක් නොව ලංකාවේ සෑම දරුවකුටම ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතු වේ. ඒ තුළින් සෑම දරුවකුම තමතමන්ගේ ගම්වල තිබෙන වටිනාකම ඉගෙන ගනියි. එවන්නෝ කිසිදිනෙක තම ගම විනාශ කිරීමට නොපෙලඹෙති.

    වර්තමානයේ බොහෝ දරුවන් තමන්ගේ රටේ පවතින වටිනාකම පිළිබඳව නිසි අවබෝධයක් ලබා නොමැත. එවැනි දරුවන් උසස් අධ්‍යාපනය ලබා වෘත්තීමය වශයෙන් ග්‍රාමීය සංවර්ධනය කරා යොමු වුණද ඒ ගම් බිම් ආරක්ෂා කර ගැනීමට උනන්දු නොවේ. ඒ හේතුවෙන් ලංකාවේ සෑම දරුවකුටම ශ්‍රී ලංකාවේ ගම්වල තිබෙන වටිනාකම, ඒ මඟින් ලෝකය වුව ද ජය ගත හැකි බව ඒත්තු ගැන්විය යුතුය.

    ප්‍රතිපත්තිගරුක

    සංවර්ධන සැලසුම්

    ග්‍රාමීය සංවර්ධනය මුල් කර ගනිමින් දශක ගණනාවක සිටම විවිධ ව්‍යාපාර ආරම්භ කෙරිණි. එහෙත් එම ව්‍යාපාර අතරමඟ දී අඩාළ විය. එසේ සිදු වූයේ ඒ ඒ ගම්වල ප්‍රධාන බලධරයන් තම තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට වෙහෙසුණු නමුත් ගම්වල ජනතාවගේ හෙට දවස පිළිබඳව නොසිතා කටයුතු කිරීම ය. ග්‍රාමීය සංවර්ධනය සඳහා අනිවාර්යයෙන්ම ප්‍රජා සහභාගීත්වය අවශ්‍ය වේ. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගම්වල තිබෙන දෑ, සහ අලුතින් ගමට අවශ්‍ය දෑ පිළිබඳව අවබෝධයක් තිබෙන්නේ ඒ ඒ ගම්වල ජනතාවටය. ඒ හේතුවෙන් ගම්වල ජනතාව සියල්ලක්ම එකට එකතු වී සතියකට වරක්, හෝ මාසයකට වරක් තම ගමේ තිබෙන ගැටලු සහ එම ගැටලු නිරාකරණය කර ගැනීමට කළ යුතු දෑ පිළිබඳව සාකච්ජා කළ යුතු ය. පසුව ඒ සියල්ලම ගමේ අදාළ බලධරයන්ට ලිඛිතව හෝ වාචිකව ප්‍රකාශ කළ යුතු වේ. එසේ නොමැතිව දේශපාලනඥයින්ට, අදාළ රජයේ නිලධාරීන්ට බැණ වැදීමෙන් පලක් නැත. මේ සඳහා ගම්වල වෙසෙන දැන උගත් පාර්ශ­්වයෙන් උදෙස් ලබා ගැනීම වඩාත් වැදගත් ය.

    ගම් සංවර්ධනය කිරීමේ දී අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීම, ප්‍රතිපත්ති සම්පාදනය කිරීම මෙන්ම ප්‍රතිපත්ති පවත්වාගෙන යෑම වැනි සියල්ලක්ම විනිවිදභාවයෙන් යුක්තව සිදු කළ යුතුය. ශ්‍රී ලංකාවේ ආණ්ඩු වෙනස් වුවත් ඒ ඒ ගම්වල සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඉඩ ලබා නොදිය යුතු ය.

    ප්‍රතිපත්තිගරුක සංවර්ධන සැලසුම් සකස් කිරීමේ දී ඒ ඒ ගම්වලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබූ සිසුන් ඉගෙන ගත් දෑ උපයෝගී කර ගත යුතු ය. එපමණක් නොව ඒ ඒ ගම්වල වැඩිදුර අධ්‍යාපනය ලබා ගත් තරුණ ප්‍රජාව, නිර්මාණාත්මක කටයුතුවල නියැළෙන තරුණ ප්‍රජාව, සහ ස්වයං රැකියාවල නියැළුණු තරුණු ප්‍රජාවගේ උදව් උපකාර ලබා ගත යුතු ය. එවැනි තරුණ කණ්ඩායම්වලට තමන්ගේ ගම පිළිබඳව ආඩම්බර විය හැකි වපසරියක් සකස් කළ යුතු ය.

    ව්‍යවසායකත්වයන්ට යොමු කරවීම

    ගෙවී ගිය වසර ගණනාව තුළ දී ශ්‍රී ලංකාවට ජේ.වී.පී, එල්.ටී.ටී. ඊ මුස්ලිම් කණ්ඩායම්, දකුණේ කණ්ඩායම් වැනි විවිධ කෘරතර කණ්ඩායම්වලින් දැඩි බලපෑම් එල්ල විය. ඒ බොහෝමයක් තුළින් දැකිය හැකි වූයේ තරුණ අසහනයයි. සැබවින්ම එවැනි සංසිද්ධීන් තුළ දී තරුණයන්ව නොසලකා හැරි ස්වභාවයක් දැකිය හැකි විය. එවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වෙසෙන තරුණ ප්‍රජාවගෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට රටේ බලධරයන් ක්‍රමෝපායන් සකස් කළ යුතු වේ. තරුණ කණ්ඩායම්වල මිලේච්ඡ ක්‍රියාවලට හේතු වුයේ නිසි අධ්‍යාපනයක් නොලැබූ දේශපාලනඥයන් සහ වයෝවෘද්ධ දේශපාලනඥයන් බලයට පැමිණීම ය. එම නිසා තරුණ මතයට ඇහුම්කන් දී ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට නිදහසේ නිර්මාණශිලීව කටයුතු කිරීමට ඉඩ හසර සලසා දිය යුතු වේ.

    ලංකාව තුළ කොස්, දෙල්, බතල, සියඹලා වැනි එළවළු පලතුරු වර්ග බොහෝමයක් ගස් යට වැටී නරක් වී යයි. නිකරුණේ අපතේ යන එවැනි භෝග වර්ග තුළින් විවිධ නිෂ්පාදනයන් ඇරඹීමෙන් කිරීමෙන් නව ව්‍යාපාර ආරම්භ කළ හැකි ය. උදාහරණයක් වශයෙන් ටොපි වර්ග, පැණි රස කෑම වර්ග, සහ පෝෂ්‍යදායී ආහාර පිටරටින් ගෙන්වීමට වඩා ලංකාවේ දේශීය පලතුරු වර්ගවලින් ටොපි වර්ග, පැණි රස කෑම වර්ග, සහ පෝෂ්‍යදායී ආහාර වර්ග නිෂ්පාදනය කිරීම වඩාත් යෝග්‍ය වේ. ඒ ආකාරයෙන් අලුත් විදිහට සිතා බලා තම තමන්ට හැකි ආකාරයෙන් තමන්ගේ වත්තේ පිටියේ තිබෙන දෑ තුළින් තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමට තරුණයන් යොමු කළ යුතු වේ.

    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ රජයේ සහ පෞද්ගලික ආයතන තුළ කොතරම් ව්‍යවසායකත්ව අධ්‍යයන පාඨමාලා පැවැත්වුව ද, ග්‍රාමීයව වෙසෙන තරුණ ප්‍රජාවට එවැනි දෑ ඉගෙන ගැනීමට අපහසු ය. එම නිසා ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය, විශ්වවිද්‍යාල පද්ධතීන්, සහ වෘත්තීය පුහුණු ආයතන යනා දී සියල්ලක්ම එක්වී ග්‍රාමීය තරුණ ප්‍රජාවගේ කුසලතා, ආකල්ප සංවර්ධනය කරමින් ඔවුන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම වඩාත් වැදගත් ය. එවිට යම් තරුණයකුට ගමේම හිඳ තමන්ගේම ව්‍යාපාරයක් අරඹා තම ආර්ථිකය දියුණු කර ගනිමින් රටේ ආර්ථිකයට ද ශක්තියක් විය හැකිය.

    තරුණයන්ගේ ආකල්පමය වෙනසක්

    කොළඹට කිරි, ගමට කැකිරි යන සාම්ප්‍රදායික කියමන වෙනස් කිරීමට දැන් කාලය එළඹ ඇත. ගමේ ඉපිද, ගමේ හැ දී වැඩුණු තරුණයින් කෙසේ හෝ එදා වේල පිරිමසා ගැනීම සඳහා කුලී වැඩ කිරීම, පොල් කැඩීම, ත්‍රී රෝද පැඳවීම යන වෘත්තීන්වලින් මිදීමට ද දැන් කාලය එළඹ ඇත. එවැනි වෘත්තිකයන් ගම්වලට අනවශ්‍ය යැයි කීම නොව ගම්වල තරුණ ප්‍රජාව එවැනි වෘත්තීන්වල පමණක් සිර කිරීම නොකළ යුතු වේ. විශේෂයෙන්ම ලංකාවේ අති දුෂ්කර ගම්වල දරුවන්ට කුඩා කළ සිටම යමක් තනියෙන් සිතා බලා නිර්මාණාත්මකව කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතුය. නමුත් එවැනි ගම්වල සිටින අධ්‍යාපනය තුළින් ඉදිරියට යා හැකි දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ඒ ඒ ගම්වල බලධරයන් කටයුතු කළ යුතුය. යම් තරමකට ඉගෙන ගත් හෝ විශ්වවිද්‍යාල ගිය තරුණයකුට අනිවාර්යයෙන්ම රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් කළ යුතු බව කියන පටු ආකල්පය ඉවත් කළ යුතු වේ. රටේ දැවැන්ත ව්‍යාපාරිකයන් අධ්‍යාපනික වශයෙන් ඉහළට නොගොස්, තමන්ට තිබෙන දෑ මැනවින් කළමනාකරණය කරමින් කටයුතු කර ඇත. ඒ බව අවබෝධ කර ගෙන තරුණ ප්‍රජාව තමන්ට තිබෙන දෙයින් උපරිමය කිරීමට සිතා ගත යුතු වේ.

    සෑම තරුණයෙක්ම තමන්ගේ දක්ෂතා හඳුනා ගැනීම වඩාත් වැදගත් ය. ඒ තුළින් තමන්ට කළ හැකි උපරිම කාර්යභාරය නොපිරිහෙළා ඉටු කළ යුතු ය. ශ්‍රී ලංකාව තුළ ලෝකය ජය ගෙන තිබෙන බොහෝ දෙනෙක් ගම්වල ඉපිද හැදුණු වැඩුණු පුද්ගලයෝ ය. ඔවුහු තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ගමෙහි ඉපදුණු අයකු වීම කිසි විටක ගැටලුවක් කර නොගත්හ. වර්තමානයේ දී ඔවුන් තමන්ගේ උපන් ගම පිළිබඳව ආඩම්බරයෙන් කතා කිරීම සැබවින්ම වටිනා දෙයකි. තමන් ගමෙහි උපනනකු වීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වනු විනා එය කිසිවිටක ගැරහීමට ලක් නොකළ යුතු ය.

    මදාරා මුදලිගේ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here