ධනංජය – කසුන් සංචිතයෙන් ඉවතට දික්වැල්ල මංගල ටෙස්ට් ශතකයට සිහින දකියි

0
41

දකුණු අප්‍රිකා සංචාරයේදී ආබාධයට ලක් වූ ධනංජය ද සිල්වා හා කසුන් රාජිත එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වෙති. ඔවුන්ගේ ආබාධ තවමත් යථා තත්ත්වයට පත් නොවීම හේතුවෙන් සංචිතයෙන් ඉවත්ව විවේක ගන්වා ඇතැයි ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී නිරෝෂන් දික්වැල්ල පැවැසීය. මෙයට පෙර පැවැති යෝ යෝ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කොට ඇත.

නිරෝෂන් දික්වැල්ල ගාල්ලේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ මාධ්‍ය හමුවට එක්වූ අතර මෙම තරගාවලියේදී තම මංගල ටෙස්ට් ශතකය ලබා ගැනීමේ සිහින දකිමින් සිටින බව සඳහන් කළේය. නිරෝෂන් දික්වැල්ල ටෙස්ට් තරග 39කදී අර්ධ ශතක 15ක් ලබා සිටින අතර තවමත් ටෙස්ට් ශතකයක් ලබා ගැනීමට නොහැකිව බලාපොරොත්තු දල්වා සිටී. ඔහු මෙතෙක් වාර්තා කළ හොඳම ටෙස්ට් ඉනිම පාකිස්තානයට එරෙහිව අබුඩාබියේදී ලකුණු 83 වේ.

“ ටෙස්ට් අර්ධ ශතක 15ක් ගහලා ශතකයක් ලබා නොතිබීම මට තරමක් මදිකමක් වගේ. මේ තරගාවලියේදී ඒ සිහිනය සැබෑ වෙයි කියා මා හිතනවා. ක්‍රීඩා කරන විට ශතක ගැන හිතන්නේ නෑ. කණ්ඩායම වෙනුවෙන් ඒ මොහොතේ කළ හැකි දේ කරන්න තමයි සෑම ක්‍රීඩකයකුම කල්පනා කරන්නේ. අපේ සෑම ක්‍රීඩකයෙක්ම පිටියට යන්නේ තරගය දිනන්න සැලසුම් ඇතිවයි. ප්‍රතිවාදීන්ගේ දුර්වලතා කල් ඇතිව අප සොයා බලනවා. සිදුවූ ඇතැම් අමිහිරි දේ අමතක කොට හොඳ තරගාවලියකට පිවිසීම අපේ එකම අපේක්ෂාවයි“ දික්වැල්ල මාධ්‍ය හමුවේ පැවැසීය.

“දකුණු අප්‍රිකාවේදී සිදු වුණේ පිතිකරණයේ දුර්වලතාවක් හෝ තාක්ෂණික අඩුපාඩුවක් නොවෙයි. ඇතැම් විට මානසික පීඩනය එල්ල වුණා. ඒක ක්‍රීඩකයෝ තනි තනිව හදාගත යුතු දෙයක්. නමුත් එංගලන්තය සමග තරගාවලිය අපේ රටේ පැවැත්වෙන නිසා අමතර වාසියක් අපට ලැබී තිබෙනවා. ඒ නිසයි මේ තරගාවලිය පිළිබඳ ධනාත්මකව හිතන්නේ“ දික්වැල්ල සඳහන් කළේය. දඟ පන්දු යවන්නන්ට හිතකර ගාලු තණතිල්ලේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් පෙරැළියක් කරනු ඇති බව දික්වැල්ලගේ විශ්වාසය විය.

මේ 7 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වන එංගලන්තය සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයන් 21 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here