පැමිණිලි ඉක්මනින් විමර්ශනය කර ජනතාවට සහන සලසනවා

    0
    44

    ඕනෑම අයකුගේ මානව අයිතිවාසිකමක් හෝ මානව නිදහසක් සුරැකීමට කටයුතු කරනවා යන්න ලිඛිතව, වාචිකව සඳහන් කළාට ප්‍රමාණවත් වන්නෙ නැහැ. එය තමන්ගේ ජීවිතයේම කොටසක් බවට සෑමදෙනෙක්ම පත් කරගත යුතුයි. එලෙස පත්කර ගැනීමෙන් පමණක් මෙය වඩාත් සුරක්ෂිත වන බව මාගේ

    විශ්වාසයයි.

    මානව අයිතිවාසිකම් කියන උතුම් සංකල්පයත්, එය ආරක්ෂා කිරීමේ ක්‍රමෝපාය වැඩපිළිවෙළ විකාශනය වූ ආකාරයත්, ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ කටයුතුවල අනාගත වැඩපිළිවෙළ පිළිබඳවත් කරුණු පැහැදිලි කරමින් ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසූරිය මහතා දැක්වූ අදහස් සමුදායයි මේ.

     මානව හිමිකම් සංකල්පය පිළිබඳ ඔබගේ කියවීම කුමක් ද?

    මෙය ඉතා උතුම් පරමාදර්ශී සංකල්පයක්. ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ආගමික ශාස්තෘවරුන්, ආගමික නායකයන්, විශිෂ්ටතම මානව හිතෛෂී ක්‍රියාධරයන් ඉතා උතුම් ගුණාංගයක් ලෙස මෙය හඳුන්වා දී තිබෙනවා. මේ උතුම් සංකල්පය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සුරක්ෂා කිරීමට අවශ්‍ය යැයි කියන හැඟුම තමයි මට තිබෙන්නේ.

     

     මානව ඉතිහාසයේ පටන් අද දක්වාත් මතු අනාගතයටත් නොනැසී පවතින, පවත්වාගෙන යා යුතු උතුම් සංකල්පයක් තමයි මානව අයිතිවාසිකම් සුරැකීම. එය පෙර දවසේ පටන්ම නිසි අයුරින් සිදු වී තිබේ ද?

    ඇත්තටම මෙම උතුම් සංකල්පය තුළින් ජනතාවගේ මානව හිමිකම් සුරැකීම අනිවාර්යයෙන් කළ යුතු බවට නිල වශයෙනුත් නොනිල වශයෙනුත් කියවෙනවා තමයි. නමුත් අවාසනාවකට වාගේ මෙම සංකල්පය ක්‍රියාත්මක වීම ඕපපාතිකව සිදු වූවක් නොවන තැනට අද පමණක් නොව අතීතයේත් පත් වී තිබුණා. මානවවාදී ජන සමාජයක මානව හිමිකම් සුරැකීම ඉහළ යන්න පුළුවන්. සමහරවිට පසුබසින්නට පුළුවන්. මේ කරුණු දෙකම සිදුවන්නට විශේෂයෙන් බලපාන්නේ මිනිසාගේ ආධ්‍යාත්මික දියුණුවේ තරමයි. ඒ අනුව බැලූ විට ඊයේ අද පමණක් නොව හෙටත් මානව හිමිකම් සුරැකීම කාලානුරූපව උස් පහත් වෙමින් අඩු වැඩි වෙමින් පැවැති බවක් කිව හැකියි.

     

     මෙම සංකල්පය ඕපපාතිකව ක්‍රියාවට නැඟුණක් නොවන බව ද ඔබේ අදහස? එය තවදුරටත් පැහැදිලි කළ හැකි ද?

    ඔව්. විශේෂයෙන්ම මෙම සංකල්පය පිළිබඳව සියලු ආගම්වල ශාස්තෘවරුන් විටින්විට දේශනා කොට තිබෙනවා. සියලු ආගම්වල තුලනාත්මක විග්‍රහයක් ගත හොත් එහි කීමට උත්සාහ දරා තිබෙන්නෙ එකම අරමුණක්. Human Rights and Religion නමින් වූ ප්‍රකාශය කියවා බැලූවිට මේ තුලනාත්මක ස්වභාවය තේරුම් ගත හැකියි. මෙය සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික වශයෙන් විශ්වීය මානව හිමිකම් සංකල්පය ඇති වී තිබෙනවා. ඈත අතීතයේ මහා භාරතයේ අශෝක අධිරාජයාගේ සෙල්ලිපිවල පවා මෙම සංකල්පය පිළිබඳව කරුණු සඳහන් වී තිබෙන බව ප්‍රාග් ඓතිහාසික මානව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. එංගලන්තයේ මැග්නා කාර්ටා යුගයේදී මේ පිළිබඳව කතා වී තිබෙනවා. 1805 දී බ්ලොඩ් රයිට්ස් පිළිබඳ කතිකා වී තිබෙනවා. මේවා සියල්ල එළිදැක්වීමට හේතුව ආඥාදායක රාජ්‍ය පාලනයන්හි මානව හිමිකම් කඩවීම් වැඩි වී තිබෙන නිසා එය වැළැක්වීමට කටයුතු කළ කර ඇති බවට සාක්ෂි වශයෙනුයි.

    මානව හිමිකම් සුරැකීමේ පුනරුදය 1779 ප්‍රංශ විප්ලවයෙන් පසු ඇති වුණා. මානව හිමිකම් ආරක්ෂා වීම ඒ ඒ රටවල මූලික නීතියට ඇතුළත් කළ යුතු සංකල්පයක් බවට කතිකාවක් එදා ඇති වුණා. එලෙස සංකල්පමය වශයෙන් සමාජයේ කතාබහට ලක් වූ මාතෘකාවක් බවට මානව හිමිකම් ආරක්ෂා වීම කළ යුතු යැයි පැවසීම හොඳ දෙයක්.

     

     ආඥාදායක පාලකයන්ගේ කාලවලදී මානව හිමිකම් කඩවීම් ඉහළ යෑම ස්වාභාවිකයි. විශේෂයෙන් සම්පත් ඒකරාශි කරගැනීමේ නිරත වූ බලවත් පාලකයන් තම රටවැසියන් පීඩාවට පත්කර තිබෙනවා නේද? එය සරලව කීවොත් මානව හිමිකම් කඩකිරීමක් නෙවෙයි ද?

    ඇත්ත වශයෙන්ම ඔව්. එය මානව හිමිකම් කඩකිරීමක්. බලවතුන්, ධනවතුන් විසින් දුප්පතුන් පීඩාවට පත්කිරීම කුමන ආකාරයෙන් කළත් එය මානව හිමිකම් කඩකිරීමක්. එවැනි තත්ත්වයක් තුළ තමයි අමෙරිකානු නිදහස් අරගලය ඇතිවන්නේ. අමෙරිකානු ව්‍යවස්ථාව තුළම පුළුල් ලෙස අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් මානව හිතවාදී චින්තකයන් වූ තෝමස් පෙන්ට්, හෙන්ට් ස්ටිලර් මේල් වැන්නෝ මේ ගැන දැඩිව අදහස් දක්වා තිබෙනවා. 1848 යුරෝපා රටවල ඇතිවුණ අරගල වලින් පවා කියා තිබෙන්නේ මානව හිමිකම් සුරැකීම කළ යුතු බවයි.

     

     මානවයා‍ගේ ආරම්භයේ සිට විටින්විට තම අයිතීන් දිනා ගැනීමට කටයුතු කිරීමට සිදු වූ ඉතිහාසයක් ලෝකයටම තිබෙන්නේ යැයි පැවසුවහොත් එය සත්‍යයක් නේද?

    එය සත්‍යයක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. එහි ඉතිහාසය පවා යම් අයුරකින් පැහැදිලි කර ගැනීම වටිනවා. 1914 පළමු ලෝක යුද්ධයේදී මානව අයිතිවාසිකම් කඩවීම් රාශියක් සිදුවෙනවා. සමහරුන්ගේ ජීවිත දේපොළ අහිමි වුණා. ලක්ෂ විස්සක් පමණ ඝාතනය වුණා. ඒ අතර අංගවිකලභාවයන්ට, විවිධ රෝගාබාධයන්ට ගොදුරු වුණා. මෙය තවත් ඉදිරියට යමින් දෙවන ලෝක යුද්ධයේදී මිලියන 75ක් අංගවිකල තත්ත්වයට පත්වුණා. විශාල පිරිසක් මිය ගියා. මේ අතරවාරයේදී ජර්මනියේ නාසිවරුන් විසින් දසලක්ෂයක් පමණ යුදෙව් දරුවෝ, සමලිංගිකයෝ, මහල්ලු, කිසිම හව්හරණක් නොමැතිව දිවි ගෙවූ මිනිසුන් ඝාතනය කළා. අනිත් පැත්තෙන් ජෝශප් ස්ටාලින් රුසියාවේ ලක්ෂ ගණනක පිරිසකගේ මානව හිමිකම් කඩවීම්වලට දායක වී තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ තමයි ලෝකයේ වැඩි අවධානයක් මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් යොමු වීමට පටන්ගත්තේ.

     

     එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භයේදී මෙම විෂයය පිළිබඳ අවධානය යොමු කළා ද?

    ඔව්. 1948 එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීමත් සමඟ මානව හිමිකම් ප්‍රඥප්තියක් සකස් කිරීමට මුලපිරුවා. ‍ෙම් සම්බන්ධයෙන් විශාල උනන්දුවකින් ලෝකයේ බලවත් රටවල් මෙන්ම යම් හඬක් නැගිය නොහැකි රටවල් පවා ඒකාබද්ධ වෙමින් කටයුතු කළා. ප්‍රඥප්ති, ප්‍රතිපත්ති එළිදැක්වුවා. ඒවා සිදුවූවාට මානව හිමිකම් සුරැකීම එපරිද්දෙන්ම සිදුවුණේ නෑ. එයට හේතු ගොඩක් තිබ්බා.

     

     එසේ නොවීමට බලපෑ හේතු පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද?

    සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරනවා නම් ඕනෑම අයකුගේ මානව අයිතිවාසිකමක් හෝ මානව නිදහසක් සුරැකීමට කටයුතු කරනවා යන්න ලිඛිතව, වාචිකව සඳහන් කළාට ප්‍රමාණවත් වන්නෙ නැහැ. එය තමන්ගේ ජීවිතයේම කොටසක් බවට සෑමදෙනෙක්ම පත් කරගත යුතුයි. එලෙස පත්කර ගැනීමෙන් පමණක් මෙය වඩාත් සුරක්ෂිත වන බව මාගේ පෞද්ගලික විශ්වාසයයි. එසේ නොවන්නට කොපමණ ප්‍රඥප්ති, ප්‍රතිපත්ති එළිදැක්වුවත් ක්‍රමෝපායන් සකස් කළත් ඒවා ක්‍රියාත්මක කරන බවට උත්සවාකාරයෙන් අත්සන් තැබුවත් ප්‍රමාණවත් වන්නෙ නැහැ. හදවතින්ම එය ක්‍රියාවට නැංවිය යුතුයි.

     

     මෙය මානව වර්ගයාගේ උන්නතිය උදෙසා එකිනෙකාගේ ගරුත්වය ආරක්ෂා කිරීම උදෙසා ඉටු විය යුතු බව කාගෙත් පිළිගැනීමයි. එය අප ආරම්භ කළ යුත්තේ කොතැනින් ද?

    මම මුලින් කීවාක් මෙන් නැවතත් කිව යුත්තේ මෙයයි. ඔබ අප කවුරුත් පිළිගන්නා විවිධ ආගම් තිබෙනවා. විවිධ ආගමික නායකයන් සිටිනවා. මේ සියලුදෙනා තම තමන්ගේ ආගමික දර්ශනයක් තුළ මානව දයාව, කරුණාව, ආදරය, මෛත්‍රිය සෙනෙහස ආදී වටිනා සංකල්ප පිළිබඳව කොපමණ නම් කරුණු දක්වා ඇත් ද? විවිධ ලස්සන වචනවලින් මේවා පිළිබඳව දේශනා කොට තිබේ ද? මේවා කොපමණ ප්‍රශස්ත ලෙස සමාජයට ඉදිරිපත් කළත් ජනතාවගේ හදවත් තුළ එම ගුණාංග වැඩෙන්නෙ නැතිනම් එතනත් ප්‍රශ්නයක් තිබෙනවා. අප මානව හිමිකම්, මානව අයිතිවාසිකම් සුරැකීමට පළමුව කළ යුත්තේ තමාගෙන්ම එය ඉටුකිරීමට මුල පිරීම තුළිනුයි. තමා මුල්කර ගනිමින් මේ දේට සක්‍රීයව දායකවීම කාගේත් වගකීම සහ යුතුකම වන බව මගේ විශ්වාසයයි.

     

     ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඔබ රටේ ජනතාවගේ හිමිකම් සුරැකීමට කටයුතු කිරීමට කුමනාකාරයේ සූදානමක් ද තිබෙන්නෙ?

    මානව හිමිකම් කොමිෂන් සභා මූලස්ථානය කොළඹ තියෙන්නෙ. ප්‍රාදේශීය කාර්යාල 10ක් ප්‍රධාන අගනගර මූලික කර ගනිමින් රට පුරා පිහිටා තිබෙනවා. මෙයින් බස්නාහිර, මධ්‍යම, දකුණ, වයඹ, සබරගමුව, ඌව, උතුරුමැද පමණක් නොව උතුරු නැඟෙනහිර යන පළාත් නවයෙහිම ජනතාවට සේවය සැපයීමට පියවර ගනිමින් සිටිනවා. ගැටලු නැතුවාම නෙවෙයි. සම්පත්වල හිඟතාවක් පවතිනවා. එනමුත් අප පුළුල් ලෙස මෙම විෂය ක්ෂේත්‍රය ආවරණය කිරීමට ජනතාවට සේවයක් සැලසීමට කටයුතු කිරීමට සූදානමින් සිටින්නෙ.

     

     දැනට මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබී තිබෙන පැමිණිලි නිසි ලෙස විමර්ශනය කරමින් කටයුතු කිරීම පිළිබඳව සෑහීමකට පත් විය හැකි ද?

    ඒ පිළිබඳ එකවරම අදහස් දැක්වීමට මාගේ එතරම් කැමැත්තක් නෑ. අපට පෙර පත්වූ කොමිෂන් සභාව කටයුතු කර තිබෙන ආකාරය පිළිබඳ කරුණු දැක්වීමට මා ඉක්මන් වන්නෙ නෑ. නමුත් අපට පැවරී තිබෙන වගකීම ඉටුකිරීමේදී වඩාත් කාර්යක්ෂමව ජනතා හිතවාදීව සේවය සැලසීමට මූලිකත්වය දීමට පමණක් කටයුතු කරන බව කිව යුතුයි. දැනට වාර්තා වන අන්දමට මෙතෙක් කොමිසමට ලැබී තිබෙන විමර්ශනය නොකළ පැමිණිලි සියල්ල ඉක්මනින් විමර්ශනය කොට ජනතාවට යම් සහනයක් ලබාදීම තමයි අප කොමිසමේ සියලුදෙනාගේ අරමුණ වී තිබෙන්නේ.

     

     ඒ සඳහා තිබෙන ක්‍රියාකාරී වැඩපිළිවෙළ කුමක් ද?

    මෙහිදී අප කොමිසමට සේවය ලබා දෙන නීතිඥවරුන්ගේ හිඟය ඉක්මනින් මඟහරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මානව හිමිකම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට රට පුරා පළාත් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් සම්මන්ත්‍රණ, දේශන වැඩමුළු පැවැත්වීමට සූදානම් කොට තිබෙනවා.

     

     මානව හිමිකම් සුරැකීම පිළිබඳව එහි අවශ්‍යතාවය පිළිබඳව මුලින්ම දැනුවත්භාවය දීමට සුදුසුම කණ්ඩායම කවුරුන් ලෙස ද ඔබ කල්පනා කරන්නෙ?

    මානව හිමිකම් සුරැකීමේ අගය වටහා දීමට කණ්ඩායම් කිරීමක් කළ යුතු යැයි මා විශ්වාස කරන්නෙ නෑ. නමුත් අනාගත පරම්පරාව වඩාත් නීතිගරුක යුක්තිගරුක, සාධාරණ සමාජයක හිමිකරුවන් බවට පත්කිරීම අද දවසේ වැඩිහිටි අපගේ වගකීමයි යුතුකමයි. ඒ අනුව විශේෂයෙන් මානව හිමිකම් සුරැකීම පිළිබඳව සහ එහි අගය වටහාදීම සඳහා සුදුසුම කණ්ඩායම ලෙස පාසල්වල උසස් පෙළ අධ්‍යාපනය ලබන සහ ඉන් ඉහළ අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් තෝරාගෙන පළමුව එය සිදුකිරීම සුදුසු බව මාගේ හැඟීමයි.

     

     මෙහිදී ආගමික නායකයන්ගේ සමාජ ක්‍රියාකාරීන්ගේ දායකත්වය ගැනීමක් සිදුකළ යුතු යැයි ඔබ සිතනවා ද?

    එයත් අනිවාර්යයෙන්ම කළ යුත්තක් තමයි. අප මේ සියලුදෙනාගේ සහාය කැපවීම උනන්දුව මත වඩාත් මානව හිමිකම් සුරැකි සමාජයක් බිහිකිරීමට දායක විය යුතුයි. එය අප ජන සමාජයේ ආගමික දේශපාලනික සාමාජික ආර්ථික පමණක් නොව සෑම අංශයකම ලොකු කුඩා සියලුදෙනාගේ සිත්වලට ඇතුළත් කළ යුතුයි. ඒ හරහා අපට වඩාත් හරවත් බුද්ධිමත් මානව හිමිකම් සුරැකෙන එහි අගය වැටහෙන සමාජයක් බිහිකරගත හැකියි. ඒ සඳහා රටත් ජනතාවත් සූදානම් කිරීම අප කොමිසමේ එකම අරමුණයි.

     

     

    ජයසිරි මුණසිංහ

    ඡායාරූප-ලලිත් සී. ගමගේ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here