පැලැ­ස්තර

    0
    14

    “මං ඈත ගමකට යන්නයි හිතා ගෙන ඉන්නේ.” කියා උන්නැහේ උදේම කීවේ කාටත් ඇහෙන්නටය.

    “ඒ මොකද උන්නැහේ… මොකක් හරි හදිස්සියක්ද? නැතිනම් නෑ කෙනෙක් බලන්න යන්නද?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

    “එහෙමම නෙවෙයි ටොම්සන් මහත්තයා… ඈත ගම්වල ඉස්කෝලවලට ගුරුවරු නෑනේ… ඒකට ඔය වෙන වෙන අයත් ගන්නවාලු උගන්නන්න… මටත් හොඳට උයන්න පිහන්න පුළුවන්නේ… ඉතිං මං කල්පනා කළා අර ගෘහ විද්‍යාව ගුරුවරයෙක් නැති ඉස්කෝලෙකට උගන්නන්න යන්න…” කියා උන්නැහේ කීවේ බර හඬකිනි.

    “කවුද උන්නැහේට එහෙම එන්න කියලා කිව්වේ…” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

    “නෑ ඉතින් කවුරුවත් කිව්වම නෙවෙයි… මං නිකම් හිතුවේ… ඒ අහිංසක දරුවන්ටත් ඉගෙන ගන්න ඕනැ නේ…”

    මේ කතා බහ අස්සේ ඇම්බන් මහත්තයා ගෙට ගොඩ වුණේය.

    “දැන් මේ උන්නැහේ සර් මොකද කියන්නේ…? කුස්සියේ ඔය වෑංජනයක් ඉව්වට – ඔය බත් එකක් ඉව්වට ගෘහ විද්‍යාව උගන්නන් පුළුවන් කියලා හිතනවද? අනේ උන්නැහේටත් ගිය කලක්…” කියා ඇම්බන් මහත්තයා කීවේය.

    “එහෙම අපහාස කරන්න එපා ඇම්බන් මහත්තයා… අපි වාගේ අය තමයි ඉස්කෝලවල උගන්නන්නේ… ඉතින් මට මොකද බැරි… මාත් කාලයක් ඉස්කෝලේ ගියානේ…” කියා උන්නැහේ නොරොක් වූයේය.

    ඇම්බන් මහත්තයා ‘හොක් හොක්’ ගා සිනහසුණේය.

    “අනේ උන්නැහේ… ඉගැන්නිල්ල ඔය තරම් හෑල්ලුවට දාලා කතා කරන්න එපා… ඒක බොහොම ගරු කටයුතු රස්සාවක්… එක අතකට රස්සාවකුත් නෙවෙයි… වෘත්තියක්…. අනාදිමත් කාලයක ඉඳලා දරුවන්ගේ ඇස් පෑදුවේ ගුරුවරු තමයි… උන්නැහේ කියන්නේ දොස්තරගේ වැඩේ කොන්දොස්තරට කරන්න පුළුවන් කියලද?”

    “එහෙමම බැරි වුණත් කොන්දොස්තරගේ වැඩේ දොස්තරට කරන්න පුළුවන් නේ… මාත් ඒ වගේ තමයි…” කියා උන්නැහේ කීවේය.

    ටොම්සන් මහත්තයා සැටියේ හිඳ ගත්තේ සිනාසෙමිනි.

    “මං මේ කල්පනා කළේ ඇම්බන් මහත්තයා… ඔය ඈත පුංචි ඉස්කෝලවලට ගුරුවරු නැති කම අද ඊයේ වෙච්චි දෙයක්ද? හැමදාම එකම දේ නේ වෙන්නේ… ටවුමේ ඉස්කෝලවලට ගුරුවරු වැඩි… ගමේ ඉස්කෝලවලට ගුරුවරු නෑ… ඒකට ඔය පැලැස්තර ගහලා හරි යනවාද? ඕකට හරි උත්තරයක් හොයන්න ඕනෑ නේ…”

    “කවුද ටොම්සන් මහත්තයා ඒ උත්තරේ හොයන්න ඕනෑ… ගමේ ඉස්කෝලේ දරුවෝද? නැතිනම් ඒ දරුවන්ගේ අම්මලා තාත්තලාද?” කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

    “අපොයි ඉතින්… ඒ අම්මලා තාත්තලා හරි දරුවෝ හරි මොනවා කරන්නද? ඒ ගොල්ලෝ බොහොම අහිංසකයිනේ… ඒ ගොල්ලෝ ඉතිං මොනවා කරන්නද? අර කතාවකුත් තියෙන්නේ… දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලා ගෙන ඉන්න කියලා… ඒක තමයි මෙතෙන්ට හරි යන්නේ…”

    ඒ කතා බහ වෙන අස්සේ ගෙදරට ඇතුළු වූයේ අල්ලපු ඉස්කෝලේ ලොකු මහත්තයාය.

    “මොකක්ද මේ ඉස්කෝලේ උගන්නන කතාවක් කියනවා ඇහුණේ…. මොකක් හරි ප්‍රශ්නයක්ද?” කියා ලොකු මහත්තයා ඇසුවේය.

    “ප්‍රශ්නයක් නේන්නම්…”

    “කාටද?”

    “අපට නම් නෙවෙයි… අර ඈත ගම්වල ඉස්කෝලවල ඉන්න අහිංසක දරුවන්ට…”

    “ඒකට ඉතින් ඒ දරුවෝවත් දරුවන්ගේ අයිතිකාරයෝවත් නෙවෙයි ගුරුවරුන්ගේ අයිතිකාරයෝ තමයි වග කියන්න ඕනෑ…” කියා ලොකු මහත්තයා කීවේ සැටියේ හිඳ ගනිමිනි.

    “ඒ කියන්නේ ලොකු මහත්තයා…. ගුරුවරුන්ගේ අයිතිකාරයෝ කියලා… ඒ කවුද?” කියා උන්නැහේ පුදුමයෙන් ඇසුවේය.

    “ගුරුවරුන්ගේ අයිතිකාරයෝ කියන්නේ ඔය අර පායේ ඉඳලා ලංකාව පුරාම තියෙන කලාපවල ඉන්නේ… නිලධාරි මහත්තුරු… ඒ ගොල්ලෝ තමයි අයිතිකාරයෝ… ඒ ගොල්ලන්ට ඕනැ විදිහට තමයි ඉස්කෝලවලට ගුරුවරු දෙන්නේ.. ලංකාවේ ගුරුවරු මුළු ගාන බැලුවම අඩුවක් නෑ… ඒ වුණාට හැමදාම නගරෙට වැඩියි… ගමට අඩුයි… ඕක හරියට බෙදා හරින්න කාටවත් බෑ…” කියා ලොකු මහත්තයා පැහැදිලි කළේය.

    “ඉතින් ලොකු මහත්තයත් වග කියන්න ඕනැ නේ…” කියා ඇම්බන් මහත්තයා කීවේය.

    “ඔව්… මාත් වග කියන්න ඕනැ තමා… මං ඉතින් හැම අවුරුද්දෙම අපේ ඉස්කෝලේ වැඩි ගුරුවරු ගැන කලාපෙට ලියලා යවනවා…. නියම ක්‍රමයට නම් වැඩියෙන් ඉන්න ගුරුවරුන්ට ගෙවන පඩිය විදුහල්පති හැටියට මගෙන් කපන්න ඕනෑ… ඒක හරියට වෙනවා නම් උන්නැහේ වගේ අය ගෘහ ආර්ථික විද්‍යාව උගන්නන්න ඈත ගම්වලට යන්න ඕනැ නෑ… ඒවාට ඇති තරම් ගුරුවරුන් ලැබෙනවා…” කියා ලොකු මහත්තයා කීවේය.

    “මට නම් පේන්නේ ලොකු මහත්තයා… මේ මොකකටවත් සැලැස්මක් නැති විත්තියයි. අර සැලසුම් භාර අයත්, අධ්‍යාපන සංවර්ධනය භාර අයත් අර පායේ ඉන්නවානේද? මං දන්න හැටියට නම් දශක කිහිපයක්ම එකම තැන…. හැබැයි හැමදාම බැලුවාම ගුරු පුරප්පාඩු එහෙමමයි… ඒවාට සැලසුම් ඇත්තෙත් නෑ… අධ්‍යාපන සංවර්ධනයත් නෑ… බලධාරින් වෙනස් වුණාට මේ තනතුරු එකක්වත් වෙනස් වෙන්නෙත් නෑ… ඒ අය දන්නවා තමන්ගේ ජාම බේරා ගන්නේ කොහොමද කියලා… උන්නැහේලා කවදා හරි ගෙදර යන තුරු එතනම තමයි… ඒ ගියත් ඔය ගුරු ප්‍රශ්නය එහෙමමයි…” කියා ටොම්සන් මහත්තයා කීවේය.

    “ඉතින් එතකොට මට උගන්නන්න යන්න ලැබෙන්නේ නැද්ද ලොකු මහත්තයා..?” කියා උන්නැහේ බොහොම දුකින් ඇසුවේය.

    “මොනවා උගන්නන්නද උන්නැහේ…? ඕනැ නම් ඔය ඇම්බන් මහත්තයාටයි, ටොම්සන් මහත්තයාටයි උයන පිහන හැටි ටිකක් කියා දෙන්න… උගන්නනවා කියන එක ඔය තරම් බාල කරලා හිතන්න එපා…”

    “අනේ ඉතින් ලොකු මහත්තයා… උගන්නන එක බාල කළා නෙවෙයි… ඒක බොහොම ගරු කටයුතු වෘත්තියක් නේ… ඉස්කෝලේ උගන්නලා පුරුද්දක් නැති අයට විෂය මාලා හදන්නයි. ගුරුවරු පුහුණු කරන්නයි පුළුවන් නම්, මෙච්චර හොඳට උයන්න පිහන්න දන්න මට බැරි මොකද ඒක උගන්නන්න… අනේ ලොකු මහත්තයා…” කියා උන්නැහේ බැගෑපත් වූයේය.

    ලොකු මහත්තයා ‘හොක් හොක්’ ගා සිනහසෙමින් එළියට බැස යන්නට ගියේය.

    බන්දුල පී. දයාරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here