බළ­කො­ටු­වක පුරා­වත

    0
    9

    රුවන්වැල්ල නගරයට ඇතුළු වන තැන කුඩා කඳු ගැටයක් සේ පිහිටි ගොඩැල්ලක් වැනි තැනකි. ලියලා ඇති තණපත් අතර, තැනින් තැන කුඩා සක්ක ගල් මතු වී පෙනෙයි. මේ පාර පුළුල් කරන අවස්ථාවක පුරා විද්‍යාත්මක ස්ථානයක් බව තහවුරු කරන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පාදා ගන්නා ලද ගල් ය. වර්තමානයේ රුවන්වැල්ල පොලිස් ස්ථානය පිහිටා ඇත්තේ මෙතැන ය. බළකොටුව අත්හැරීමෙන් පසු කාලයක් තිස්සේ ම තානායමක් හැටියට තිබුණු මෙතැන පසුකාලීනව පොලිසිය ස්ථාපනය කරන්නට යොදාගෙන තිබේ.

    බළකොටු භූමියේ පසුගියදා ඇරඹුණු පුරාවිද්‍යා කැණීමක් මෙම ලිපිය ලියන්නට මට ඇවැසි ආවේශය සැපයී ය. සබරගමුව සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ අරුණ නිල්මල්ගොඩ මහතාගේ මෙහෙයවීමෙන් කැණීම් නිලධාරි කමල් සිරිසේන, නිල්මිණි ජයරත්න, නිලුක්ෂි රණසිංහ, මංගලිකා වික්‍රමාරච්චි, තිළිණි දිසානායක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් කොවිඩ් රෝ බියෙන් ආතුර වූ මෙම වකවානුවේ කැණීම් කටයුතු සිදුවෙයි. එහිදී බලකොටු භූමිය තුළ කිසියම් මුර පොළක් යයි අනුමාන කළ හැකි එහෙත් නිශ්චිතව අදහස් දැක්විය නොහැකි පාදමක් මතුවී තිබෙයි.

    රුවන්වැල්ල බළකොටුව පිළිබඳව ලියන, කියන බොහෝ දෙන කතා කරන දේ තුළ නිශ්චිතව සනාථ කරන්නට නොහැකි දේ අන්තර්ගත ය. මුල් කාලයේ පටන් මෙම ස්ථානයේ සිංහල මුරපොළක් තිබිණැ‘යි බොහෝ දෙන කියනු මා අසා ඇත. සිංහල මුරපොළක් පුරාණ කොළඹ නුවර පාරේ කැලණි ගඟේ තීරණාත්මක තොටුපොළක් තිබුණු මංසන්ධියක තිබිය හැක. එහෙත් ඒ මෙතන ම තිබිණැ‘යි සිතන්නට සාධක නැත. තවත් අයට අනුව පෘතුගීසීහු හා ලන්දේසීහු ද මෙතන ම බලකොටු තැනූහ.

    අසවේදු ජනරාල්වරයා විසින් දැවයෙන් තනන ලද පෘතුගීසි බලකොටුවක් රුවන්වැල්ලේ තිබුණු බවත්, එය විමලධර්මසූරිය රජුගේ ප්‍රහාර හමුවේ පසුබසින පෘතුගීසීන්ට බළකොටුව අහිමි වූ බවත්, එය භාරව සිටි ලුවී ආබෘ ඝාතයට ලක්වූ බවත් පෝල් ඊ. පීරිස් සඳහන් කරයි. හැබැයි ඒ තිබුණේ කොතනදැයි සිතන්නට සාධක නැත. කන්නත්තොට ද පෘතුගීසි කොටුවක් තිබී ඇත. කන්නත්තොට හා රුවන්වැල්ල යනුවෙන් බලකොටු දෙකක් තිබිණි ද, නැත්නම් කන්නත්තොට තිබුණු කොටුව එදවස ආස්න්න කගරය වූ රුවන්වැල්ලේ නමින් හැඳින්විනි ද යන්න ගැටලුවකි.

    ලන්දේසීන් විසින් බළකොටුවක් තනවන ලද්දේ 1665 දී ය. දඬුවැටකින් වටකොට වටින් කණු ගසා සුරක්ෂිත කළ බලකොටුවේ ඇතුළත මැටියෙන් කළ බිත්ති දක්නට දක්නට ලැබුණු බව බෙල් සඳහන් කරයි. අවුරුදු කීපයකින් අත්හැර දමන ලද ලන්දේසි කොටුව පිහිටා තිබුණේ ගුරුගොඩ ඔය කැලණි ගඟට වැටෙන මෝයට ආසන්න ‘කොටුගොඩැල්ල‘ නම් ඉඩමේ ය. මෙම ලන්දේසි බලකොටුවේ සැලැස්මේ පිටපතක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්මේන්තුවේ දක්නට ලැබෙයි. ලන්දේසි දූත චාරිකාවකට 1665 දී එක්වූ ‘හර්පොට්‘ රුවන්වැල්ල බලකොටුව ගොඩනැගීම පිළිබඳ සටහන් තබයි.

    ඉංගිරිසි බළකොටුව බ්‍රිතාන්‍යයන් විසින් 1817 දී ගොඩනංවන ලද්දකි. එහි පිවිසුම් දොරටුවේ 1817 වර්ෂය රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ නමේ මුල් අකුරු සඳහන් වෙයි. මේ කටයුත්තට බ්‍රිතාන්‍යයන් විසින් අක්කර 47 ක බිම් ප්‍රමාණයක් ස්වදේශිකයන් වෙතින් මිලදී ගෙන ඇත. එහි සීමා උතුරින් හා නැගෙනහිරින් දනිතිගහ ඇළේ සිට බටහිරින් හා නැගෙනහිරින් ගුරුගොඩ ඔය දක්වා ය. බෙල් සඳහන් කරන ආකාරයට මෙම ඉඩම් ප්‍රමාණය දේශීය ඉඩම් හිමියන්ගෙන් මිලට ගන්නා ලද්දේ රික්ස් ඩොලර් 2851 කට ය.

    කාසිචෙට්ටි Ceylon Gazetteer හි රුවන්වැල්ල වෙළඳපොළක් සේ දියුණු වීමේ රහස හෙළිකරයි. ඒ රුවන්වැල්ලේ ආරක්ෂක බලකොටුවක් ඉඳිකිරීම හේතුවෙන් වෙරළබඩ වෙළෙන්දන් රුවන්වැල්ලට පැමිණ පදිංචි වීමෙනි. බෙල්ගේ සටහන් අනුව 1818 දී නිලධරයන් පස් දෙනෙකුගෙන් හා මිනිසුන් 116කින් යුත් භට පිරිසක් රුවන්වැල්ලට යොදවා තිබිණි. මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දගේ උඩරට කැරැල්ල තුන්වන කාණ්ඩයට අනුව රුවන්වැල්ල බලකොටුවේ සේවයට යෙදවීමේ වාර්තා අනුව 19 වන ලංකා රෙජිමේන්තුවට අයත් නිලධාරීහු 30 දෙනෙක් හා 1 වන රෙජිමේන්තුවට අයත් 70 දෙදෙනෙක් ද යෙදවිණි.

    එදවස රුවන්වැල්ල බළකොටුව පිළිබඳ අපට කරුණු කියාදෙන හොඳම සාක්ෂිකරුවකු වන්නේ ආණ්ඩුකාර රෙබට් බ්‍රවුන්රිග්ගේ වෛද්‍යවරයා ලෙස සේවය කළ ජෝන් ඩේවි ය. ඔහු විසින් ලියන ලද ඉංගිරිසි කෘතියේ සිංහල පරිවර්තනය (ඩේව් දුටු ලංකාව) අද දක්වා ම සිංහල පාඨකයන් අතර භාවිතයේ පවතී. බ්‍රවුන්රිග් සමඟ පැරණි රජමාවතේ නුවර බලා ගිය ගමනේ විස්තර ඩේවි එහි සඳහන් කරයි. ආණ්ඩුකාරයා රාත්‍රී නවාතැන් ගත්තේ රුවන්වැල්ල බළකොටුවේ ය. තොටුපලේ දී ජනතාව ආණ්ඩුකාරයා පිළිගත් උත්සවාකාරී බව ද ඒ වෙනුවෙන් දෙපස සරසා කිබූ ආකාරය ද ඩේවි විස්තර කරයි.

    ඩේවි දුටු ලංකාවේ එන පහත විස්තරය කියවා බලන්න.

    “අවුරුදු තුනකට පෙර ජනශූන්‍ය ස්ථානයක් ව පැවති රුවන්වැල්ල අද සමෘද්ධිමත් නැවතුම් පොළකි. මෙය පැහැදිලි කැලණි ගඟ බොර සහිත ගුරුඟු ඔය හා එකතුවන තැන ප්‍රයෝජනවත් ලෙස පිහිටියේ ය. මෙහි කොටුව නිම වීමට ආසන්න ය. නිලධාරින්ට මෙන් ම හේවායන්ට ද මෙහි විශිෂ්ට නිවාස ඇත්තේ ය. කඩපොළක් පිහිටුවා තිබිණි. ලාභය පිළිබඳ අපේක්ෂාවෙන් පොලඹවන ලැබූ පවුල් දෙතුන් සියයක් මෙහි පදිංචිව සිටිති. අප මෙහි පැමිණි විට මේ කුඩා නගරයේ සීඝ්‍ර දියුණුව හා එහි විලාසවත් උත්සවශ්‍රීය දැක ප්‍රහර්ෂවත් විස්මයට පත් වීමු.” – ඩේවි දුටු ලංකාව (ඇල්ලෙපොල එච්. එම්. සෝමරත්න පරිවර්තනය)

    මුල් කාලයේ දී තුන් කෝරලයේ පරිපාලන කටයුතු සිදුවූයේ ද රුවන්වැල්ලෙනි. එහෙත් කෑගලු දිස්ත්‍රික්කය බිහිවුණු වහාම කෑගල්ලේ සිට පරිපාලනය සිදුවිය. එතෙක් රුවන්වැල්ල හරහා මහනුවර ගිය පාර වෙනුවට අලුක් කොළඹ නුවර පාරක් වඩා විධිමත් ව කැපිණි. බළකොටුව හුදෙකලා වූයේ එසේ ය. අක්කර 47 ක් වූ ඉඩම කෙට්ටු වී පාසල්, වෙළෙඳසල් ආදී ජනතා අවශ්‍යතාවන්ට යෙදවී, බලකොටු භූමියට සීමා විය. අණ දෙන නිලධරයාගේ බංගලාව තානායමක් බවට පත්වූ බව 1884 දී අයිවර්ස් මහතා සටහන් කරයි. අනතුරුව එතැන පැවතියේ තානායමකි.

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කෙරෙන කැණීම් හේතුවෙන් බලකොටු භූමියේ ඉතිහාසයට නැවුම් ආලෝකයක් ලැබෙති‘යි අපිදු විශ්වාස කරමු.

     

    මහානාම දුනුමාල

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here