රිදී රේඛා

    0
    7

    වත්සුනු දියවී සැබෑ වත හෙළිදරව් වූ ලාලනියක සේ නගරය මුසුප්පුව හිඳින්නේ, විටින් විට වසින වැස්සෙන් සිය සෝබමානත්වය පළුදු කර ගනිමිනි. නිබඳ රිය සක ගැටීමෙන් අබලන් වන මාවත දෙපස වතුර වලවල් නඟරයේ උජාරුවට හානි කරයි.

    වැස්ස තුරල් වුව ද අහසේ සැඟව ගිය හිරු හේතු කොටගෙන තෙත බරියං පොළොව විගසින් නොවියැළෙයි.

    පාර අද්දර වතුර වලක් සමීපයෙ මුණින් අතට වැටී හුන් මිනිසා දුටු මම තිගැස්සුනෙමි. ඔහු බීමතින් අවසඟව නොසිටින බව ඔවුන්ගේ ගැහෙන සිරුර පෙන්වා දෙයි.

    සැණෙකින් මගේ මතකයට ආවේ අපස්මාරයයි. මොහු නිසැකවම අපස්මාර රෝගියකු විය යුතුය. සමීපයෙහි රෙදිපිළි සාප්පුවෙන් සහ කඩයෙන් ද යාබද සැලුන් එකෙන් ද දිව ආ තරුණයාත් තරුණියන් දෙදෙනාත් ඔහු ඔසවාගෙන යන අයුරු මා බලා සිටියේ විස්මයෙනි. හදිසියේ මහ මග ගමන් කරමින් තිබූ මෝටර් රියක් ද නැවතිණ. ඒ තුළින් පිටතට පැමිණි කාන්තාවක ද නාඳුනන රෝගියා පිළිබඳව කරදර වූවාය. මෙවන් වසංගත සමයක පවා කැලුම් දෙන මනුෂ්‍යත්වය දැකීමෙන් මම අප්‍රමාණ සතුටට පත්වීමි.

    ‘නොනිදන නගරය’ යන විරුදාවලියෙන් හැඳින් වෙන දඹුලු පුරවරයේ දී මහ මඟ ඇද වැටුණු තරුණයකු කිසිවකුගේ උපකාරය නොලැබ මියගිය බව සිහියට නැඟෙන කල, මේ නාඳුනන මිනිසාට උපකාර කළ පිරිස කෙරෙහි ජනිත වන්නේ අප්‍රමාණ ගෞරවාදරයකි.

    ජාති, කුල, ආගම් යනුවෙන් බෙදී වෙන්වී සිටිය ද ලොව කොතැනක හෝ වෙසෙන මිනිසා තවත් මිනිසකු ගේ ලේ නෑයෙක් නොවන්නේද? තමාම නිර්මාණය කරගත් දෙවියන් හෝ තමා අදහන ශාස්තෘවරයා හෝ නෙක මායා මත හේතුකොටගෙන සියලු සාගර පිරවිය හැකි තරමට රුධිර වගුරන්න නමුදු මිනිසා වූ කලී මිනිසාගේ සහෝදරයා ය.

    D.S water motor centre සහ NSB fashion house හි තිළිණි ද නිලන්ති ද නාඳුනන මිනිසකු වෙනුවෙන් වෙහෙසුනේ මාරාන්තික කොවිඩ් වෛරසය ද අමතක කර දමමිනි. Rio Salon හි ශාන්ත නොහොත් සමන්ත අරුණ සොහොයුරා සංවේදී සිදුවීමක් ආවර්ජනය කළේය.

    “මට මතක් උනේ මගේ තාත්තා. තාත්තටත් ඔය අසනීපෙම තිබුණා. මහ ඇළේ නාන්න ගිහින් තමා තාත්තා නැතිවුණේ. පාරෙ වැටිල උන්නු කෙනා වැඩක් හොයාගෙන ලු ආවේ. මට දුක සල්ලි කීයක් වත් දීලා අරින්න බැරි වුණු එක ගැන. මේ කොරෝනා හින්දා අපි කාටත් දැන් වගතුවක් නැති එකේ තව කෙනකුට උදව් කරන්නේ කොහොමද ?”

    කවර අර්බුදයක් අභියස වුවද සුපුෂ්පිත වන මනුෂ්‍යත්වයේ සුවඳ අති මහත්ය. ඛේදවාචකයන් හි දොම්නස මකා දමමින් එය අපට අඳුරු අහසෙ දිලෙන විදුලිය රේඛාවක් නොවන්නේ ද?

    අපස්මාරය සඳහා වර්තමානයේ ඔසු ඇතත් රෝගියා වෛද්‍ය උපදේශයකින් තොරව නියමිත ඔසු ලබා ගැනීම නවතා නොදැමිය යුතුය. නියමිත පරිදි ඔසු ලබා ගන්නේ නම් සාමාන්‍ය දිවි පෙවතක් ගත කළ හැකි බව අපි දනිමු.

    “ඔයාලා හරි හොඳ වැඩක් කළේ. ඔයාලා උදව් නොකළා නම් ඒ වතුර වලේ වතුර ටිකත් ඇති ඒ මනුස්සයා මැරෙන්න. මුණින් අතට නේ වැටිල හිටියෙත්.”

    මම තිළිණි, නිලන්ති සහ ශාන්තට බෙහෙවින් ස්තුති කළෙමි. තිළිණි පැවසුවේ

    “අනේ අපි පොඩි උදවුවක්නේ කළේ.” යනුවෙනි.

    “නෑ. මේ වගේ කාලෙක ඒක පොඩි උදව්වක් නෙමේ. කොරෝනා ආසාදිතයෙක් ද කියලාවත් හරියටම නොදැන, ඒ මනුස්සයව උස්සගෙන ගිහිල්ලා ප්‍රථමාධාර දීම ඇත්තටම වීර ක්‍රියාවක්.”

    ඔවුන් පෑ අවිහිංසක සිනාවන් ඒ තුරුණු හදවත් තුළ දයාව ද කරුණාව ද පිළිබිඹු කරයි.

     

    ශාන්ති දිසානායක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here