සැබෑ වූ සිහින මැද අතු­රු­දන් වූ ජීවි­තය Jyeshthoputro

    0
    16

    කෙනකුට යමක් ලැබෙන්නේ තවත් බොහෝ දේවල් අහිමි කරමිනි. අප බොහෝවිට සියල්ලම ලබා ජයග්‍රහණය කළේ යැයි සිතන මිනිසුන්ගේ සැබෑ ආත්මය සොයා යන විට අපට දැනෙන්නේ ඔවුන් කිසිවක් දිනා නොමැති බවය. ලොව මහා සිනමා කෘතිය ලෙස සැලකෙන Citizen Kane චිත්‍රපටයට පවා Orson Welles පාදක කරගන්නේ එබඳු මිනිසෙකුගේ කතාවකි.

    ඉන්ද්‍රජිත් ගංගෝපාධ්‍ය නමැති සුප්‍රකට සිනමා සුපිරි තාරකාව දෙස බලන සෑම කෙනකුටම දැනෙන්නේ ඔහු සියල්ලෙන් ආඪ්‍ය වූ මිනිසකු හැටියටය. එහෙත් ඔහුගේ අභ්‍යන්තරය සොයා බලන කල්හි ඔහුට ඇත්තේ කවරක් ද? මේ ගෞරවය හෝ සියල්ල එක මොහොතෙන් මිනිසකුට අහිමි විය නොහැකිද? එවිට අභ්‍යන්තර හෘදය සාක්ෂිය ඔහු සමග තරග කරන්නේ කෙලෙස ද?

    එක්තරා දවසක බටහිර බෙංගාලයේ ඈත පළාතක චිත්‍රපටයක් රූපගත කරනු අපට දක්නට ලැබේ. අති විශාල රසිකයන් පිරිසක් දර්ශන තලය වටා රැඳී සිටින්නේ තම සුපිරි නළුවා ඉන්ද්‍රජිත් ගංගෝපාද්‍යගේ අංශුමාත්‍රයක් හෝ දැක ගන්නටය.

    ලබන විවේකයකදී ඔහුට දුරකථන පණිවිඩයක් ලැබෙයි. මේ දුරකථන පණිවිඩය ලබා දෙන්නේ ද බොහෝ වැර වෑයමෙනි. එයට හේතුව ඔහු ඒ මොහොතේ ඉතාම කාර්යබහුලව, චරිතයට ඒ තරම්ම කැපවී සිටීමය. දුරකථන පණිවිඩයෙන් ලැබෙන්නේ සිය පියා අභාවප්‍රාප්ත වූ පුවතය. ඒ සමඟ සියලු රූපගත කිරීම් නතර කරන්නට ඉන්ද්‍රජිත් තීරණය කරයි. ඔහු යා යුත්තේ ඔහුගේ උපන් ගමට ය. මේ ආරංචිය ලද සැනින් බටහිර බෙංගාලයේ මහ ඇමතිවරයා ඔහුට දුරකථන ඇමතුමක් ලබා දෙන්නේ ශෝකය පළ කරන්නට ය. එපමණක් නොව ස්වෙච්ඡාවෙන් ඔහුට අවශ්‍ය නවාතැන ලබාදෙන්නටද මහ ඇමති සූදානම්ය. හෙලිකොප්ටරයක් ද ඔහුට ලබා දෙන්නේ ඉක්මනින් ගෙදර යන්නටය. මේ කොහොමත් ඉන්දියාවේ සුපිරි නළුවකුට ලැබෙන තත්ත්වයයි. සාමාන්‍ය රසිකයන්ට ඔහු දෙවියෙකි. මේ දෙවියන්ගෙන් සියලු දේ ලබා ගන්නට හැකි බව ඉන්දියානු දේශපාලකයෝ දනිති.

    පියාගේ අභාවය දැන ගමට යන ඉන්ද්‍රජිත් හෙලිකොප්ටරයෙන් ගමට බසිනු දැක ගැමියෝ සතුටු වෙති. ඔවුන්ගේ සිහින තාරකාව දැන් දෑස් අබියස ජීවමානය. සියල්ලන්ගෙන් බේරී ආරක්ෂක නිලධාරීන් සමග ඔහු මහ ගෙදරට පැමිණෙන්නේ තවත් සැතපුම් ගණනාවක් ගෙවාගෙනය. ඔහු සමග තනියට පෞද්ගලික ලේකම්වරිය ද තවත් සහයකු ද පරිවාරකයන් කිහිප දෙනෙක්ද සිටිති.

    ඔහු ගමට එන්නේ ද දස වසරකට පසුවය. ඔහු මෙන් රට පුරා ප්‍රසිද්ධ නොවුණ ද ඔහු ගේ පියා මේ ගමේ හිටපු විදුහල්පතිවරයාය. හොඳ වාමාංශිකයෙක් පමණක් නොව පැරණි ධනවතෙකි. ඔහු මේ ගමේ පාසලෙහි නිර්මාතෘවරයා ද විය.

    තාත්තා ඉහළම ගණයේ සාහිත්‍යධරයෙක් ද විය. උරුම වූ දැවැන්ත මහගෙදර ජීවත් වන්නේ බාල සොහොයුරා පර්තෝ ය. ඔහු නාට්‍ය කරුවකු වීමට වෙර දරන පුද්ගලයෙකි. ඔහුගේ භාර්යාව දරු ප්‍රසූතියක් අපේක්ෂාවෙන් සිටියි. මේ නිවෙස දකින අපට කලකට ඉහත ඔවුන්ගේ යස ඉසුරු කවරේ දැයි වටහා ගත හැකිය.

    නිවෙසේ එක් කාමරයක පවුලේ එකම සොහොයුරිය ඉලා, කවර හෝ අතීතයක් වසන් කරන්නට මෙන් සිහි විකල්ව ජීවත් වෙයි. ඇය උපන්නේ මේ සොහොයුරන් දෙදෙනාට මැදිව ය. සියලු දේවල් රැකගෙන අතීතය ද වර්තමානය ද ගොඩනගා ගෙන සිටින්නේ නිවෙසේ සිටින මහලු සේවකයාය.

    පැරැණි දැවැන්ත නිවෙස කෙතරම් ඉඩකඩ තිබුණද ඉන්ද්‍රජිත්ගේ ජනප්‍රියත්වය ද සුපිරි භාවය ද එහි රාත්‍රිය ගත කරන්නට ඔහුට අවස්ථාව අහිමි කරයි. ඒ වෙනුවට ඔහුට මහ ඇමතිතුමන් ගේ ප්‍රාදේශීය නිල නිවෙසේ ඉඩ ලැබෙයි.

    මේ චිත්‍රපටය Jyeshthoputro ය. නැතහොත් ලොකු පුතාය. (ජ්‍යේෂ්ඨ පුත්‍ර) භාෂාව බෙංගාලි හෙවත් වංග භාෂාවයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලද්දේ Kaushik Ganguly විසින්ය.

    Kaushik Ganguly විසින් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට අතර මගේ අතිශය ආදරයට ලක් වන තවත් චිත්‍රපටයක් වනුයේ, Apur Panchali චිත්‍රපටය යි. එයට පාදක වනුයේ සත්‍යජිත් රායිගෙ ශ්‍රේෂ්ඨතම සිනමා කෘතිය වූ Pather Panchali චිත්‍රපටයේ Apu ලෙස රඟපෑ Subir Banerjee ගේ ඛේදවාචකයයි. එහෙත් පසු කලෙක සුබිර් බැනර්ජි පිළිබඳ කිසිදු හෝ සටහනක් අසන්නට ලැබුණේ නැත. සුබිර් හමු වූ පුවත්පත් කලාවේදියකු ට හෝ කිසිවකුට ‘ඕපු’ ලෙස රඟපෑවේ තමා යැයි කියන්නට පවා ඔහු බිය විය. එක්තරා අවස්ථාවක ලොව ජනප්‍රියම ළමා සිනමා චරිතය පිළිබඳ කළ විමර්ශනයකදී පළමු තැනට ආවේ ‘ඕපු’ ගේ චරිතය යි. මේ අනුව ඕපු ලෙස රඟපෑ සුබිර්ට ජර්මනි යට යාමට අවස්ථාව උදා වෙයි. මේ පුවත ගෙන යන්නට කල්කටා සිනමා සමාජයේ තරුණයකු ඔහු සුබිර් සොයා ගියේය. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ තමා කිසි විටෙකත් ඕපු ලෙස රඟපෑවේ නැති වග හඟවමිනි. එහෙත් මේ සිනමා කෘතිය අනාවරණය කරනුයේ ඕපු ගේ චරිතයට අදාළ වූ සියලු දුක්ඛ දෝමනස්සයන් සුබිර් බැනර්ජි ගේ ජීවන චරිතයට දෛවෝපගත පරිදි ආරෝපණය වී ඇති අන්දම සමඟය. එබැවින් ඕපු යනු තමා ලත් ශාපයක් ලෙස සැලකූ සුබිර් ඒ පිළිබඳ හෙළි කරන්නේ නැත.

    ඔහුගේ තවත් චිත්‍රපටයක් වූ ‘සිනමාවාලා’ පසුබිම් වූයේ වර්තමාන ඉන්දියාවේ කේවල සිනමා ශාලා හිමියකුට සිදුවන ඉරණමය. ලොවපුරා ඩිජිටල් සිනමා ආරෝපණයක් සමග තනි සිනමා ශාලා ක්‍රමය දිනෙන් දින අභාවයට පත්වේ. ඒ ශ්‍රී ලංකාවට ද පොදු ය. ඒ්වෙනුවට ගොඩ නැඟෙනුයේ සුපිරි වෙළෙද ශාලා ඇතුළත ඇති සිනමා සංකීර්ණයන්ය. කවුෂික් ගංගුලි සිනමාවාලා චිත්‍රපටයෙන් ගොඩනැඟුවේ එබඳු ඛේදවාචකයකි. මෙවර ඔහු අතගසන්නේ විශිෂ්ට සහ ජනප්‍රිය නළුවකුගේ ජීවිත අභ්‍යන්තරය වෙත ය. එහෙත් මේ සැබෑ තිරනාටකය අභාවප්‍රාප්ත බෙංගාලි මහා සිනමාකරුවකුව සිටි Rituparno Ghosh ගේ එකකි. Rituparno Ghosh ගේ හදිසි මරණයෙන් පසු එම තිර නාටකය රැගෙන කෞෂික් ගංගුලි මේ අලුත් සිනමා කෘතිය නිර්මාණය කරන ලද්දේය. සිනමාපටයේදී චිත්‍රපටයේ කතා තේමාව හැටියට Rituparno Ghosh ට ගෞරවය ලබාදීමට කෞෂික් ගංගුලි මැලි වෙන්නේ නැත. පියාගේ මරණයට නිවසට එන ඉන්ද්‍රජිත් ලෙස රඟපානුයේ කලක් ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය තරුවක් වූ Bishvajith ගේ පුත්‍රයා වූ Prosenjit Chatterjee ය. ඔහු වර්තමාන බෙංගාලි සිනමාවේ තාරකාවයි.

    හින්දු චාරිත්‍රවලට අනුව පියාගේ අවමංගල්‍ය සිදුකළ යුත්තේ ලොකු පුතා අතිනි. දස වසරකට පසු ඉන්ද්‍රජිත් යළි ගමට පැමිණෙන්නේ ද එබැවින් ය. නිවාස අඩස්සියේ සිටින සොහොයුරියට නම් මේ ලොකු අයියා තාමත් මහා වීරයෙකි. බාල සොහොයුරා නම් සිටින්නේ දැවැන්ත මන්දිරය නඩත්තු කරගත නොහැකිවය. ඔහුගේ කල්පනාව මේ පාරම්පරික නිවස කිසිවකුට ඉහළම මිලකට විකුණා දමා නගරයට යාමටය. නගරයට ගියහොත් ඔහු ගේ නාට්‍ය ලෝකය තවත් දියුණු කරගත හැකිය. එහෙත් අයියා ට නම් මේ මහගෙදර තම ජීවිතයේ ඉතිරි වැ තිබෙණ විශාලතම සිහිවටනයයි. මේ නිවස විකුණන්නට නම් ලොකු අයියාගේ කැමැත්ත තිබිය යුතුය.

    පියාගේ අවමගුල නිවසේ තිබියදී මහ ඇමති නිල නිවසේ සිට දෙසොහොයුරෝ ඉහළ පෙළේ මත්පැන් බෝතලයක් බෙදා ගනිති. මේ මත්පැන් බෝතලය හමාර වන විට සිත් ඇතුලේ ඇති දුක්ඛ දෝමනස්ස එළියට එන්නේ එකිනෙකාගේ සිත් වේදනා නමැති තුවාල පාරමින්ය. ඉන්ද්‍රජිත් නගරයේ ඉසුරුමත් දිවියක් ගත කරද්දී ගම්මානයෙ සියල්ලට මුහුණ දී ඇත්තේ පර්තෝ ය. චිත්‍රපටයේ පර්තෝ ලෙස රඟපාන Ritwick Chakraborty මෙන්ම නැගණිය ඉලා ගේ චරිතය රඟපාන Sudipta Chakraborty ගේ රංගනය මවිත කරවන සුළු එකකි. මුළු සිනමා කෘතිය පුරාම නළු නිළියන් විසින් ඉස්මතු කරන්නට සැරසෙන රංගනය අතිශය විශිෂ්ට ය. ඉන්ද්‍රජිත්ගේ පැරණි පෙම්වතිය මෙන්ම තාත්තා ගේ හොඳම ශිෂ්‍යයාව වූ සුදීප්තා , තාත්තා විසින් ගොඩනැගුණු පාසල දිගටම පවත්වාගෙන යන විදුහල්පතිවරියයි. සුදෙශ්නා අවිවාහකය. ඉන්ද්‍රජිත්ගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථය ඇය කියවා ඇත. ඇය කියන්නේ එහි ඇති බොහෝ කරුණු අසත්‍ය බව ය. එහෙත් ඇයට ගැටලුව වන්නේ අසත්‍ය කරුණු ගැන නොවේ. මුළු පොත පුරාම ව්‍යාකරණ දෝෂ තිබීමය. ඇයට අවශ්‍ය වන්නේ එහි ව්‍යාකරණ නිවැරදි කරන්නට ය. ඉන්ද්‍රජිත්ගේ පියා වෙනුවෙන්; පාසලේ නිර්මාතෘවරයා වෙනුවෙන් අවමංගල්‍ය අතරතුර සැමරුම් උත්සවයක් පාසැලෙහි පැවැත්වේ. සුදීප්තා ට නම් අවශ්‍ය ඒ මහා විදුහල්පතිවරයාට මහා ගුරුදේවයාට ගෞරව කරන්නට ය. එහෙත් එතැන සිටින බොහෝ දෙනාට අවශ්‍ය එය නොවේ. එහි පැමිණි සමග තම සුපිරි නළුවා සමඟ සෙල්ෆියක් ලබාගැනීමටය. එය සමාජ ජාලවල දමා ලයික් වැඩිකර ගැනීමටය. සුදීප්තා පාසලේදී ගයන ලද ගායනය අතරමග ඇයට එහි පද අමතක වෙයි. ඇයට එක් වන්නේ ඉන්ද්‍රජිත් ය. තම ජීවිතයේ බොහෝ මුල් ඔහු සතුව පවතී. එහෙත් ඒ එකක්වත් ඔහුට පවත්වාගෙන යන්නට නොහැකි වන්නේ ඔහු විසින්ම ගොඩ නගන ලද විශාල ප්‍රතිරූපය හේතුවෙනි.

    පාසලේ ආදි සිසුන් මෙන්ම සියලු දෙනාට මේ ශ්‍රේෂ්ඨ පියාට ගරු බුහුමන් ලබාදෙන්නට තවදුරටත් අවශ්‍ය නැත. ඊට වඩා වැඩි අවශ්‍ය වන්නේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාලාවල like වැඩිකර ගැනීමටය. දුර සිට එන නෑයින්ට ද අවශ්‍ය සිය ඥාතියාට ගෞරව කරනවාට වඩා පැමිණ සිටින සුපිරි තරුව සමග ඡායාරූප ලබා ගැනීමටය. බාල සොහොයුරාට මෙය කෝපයට හේතු වෙයි. එහෙත් ඉන්ද්‍රජිත් ගේ ජනප්‍රියත්වය හා මාධ්‍ය අවධානය හැම විටම ඔහු හතර වටේ ඇති නිසා ඒ සියල්ල ඉවසන්නට ඉන්ද්‍රජිත්ට සිදුවේ. පර්තෝ ට නම් අවශ්‍ය කරදරයකින් තොරව තාත්තාගේ අවසන් කටයුතු කරන්නටය. ජනප්‍රිය සොහොයුරා මේ සියල්ලටම බාධාවකි.

    අපට දැනෙන්නේ සියල්ලම දිනූ මිනිසකු චරිත අභ්‍යන්තරයෙන් බිඳවැටී අවසාන වගය. මේ දර්ශන පෙළ Prasanjith ගේ විශිෂ්ට රංගනය මෙන්ම ආලෝකය හා අඳුර මුසු කරමින් ඉතා ව්‍යක්ත අන්දමින් රූපගත කරන්නට සිනමාකරු සමත් වෙයි. කැමරා අධ්‍යක්ෂක එයට අනගි සහායක් දක්වයි. පර්තෝ, ඉන්ද්‍රජිත් ගෙන් අවසානයේ ඉල්ලා සිටින්නේ එක් දෙයකි. පියාගේ අවසන් කටයුතු තමා විසින් සිදු කරන බවත්, ඒ මොහොතට ඔහුට සහභාගී නොවන ලෙස කරන දරුණු අනුකම්පා විරහිත ඉල්ලීමයි.

    මේ එන්නේ මහා රාත්‍රිය යි. ඉන්ද්‍රජිත්ගේ මුළු ආත්මයම බිඳ වැටෙන්නේ එතැනිනි. ඔහු හීන් සීරුවේ ලියුමක් ලියා තබා එය සුදීප්තා ට ලබා දී කාටත් හොරෙන් ගමෙන් පිටව යයි. එහි තිබෙන්නේ මහගෙදර විකුණා දමන්නට සොයුරාට දුන් අවසරයි.

    ගම අවදිකරමින් දූවිලි අවුස්සමින් ගමට එන ඉන්ද්‍රජිත් උදේ හිරුටත් හොරෙන් ගමෙන් පිටව යන්නේ කාටත් නොකියාය. ගංගුලිගේ වෙනත් සිනමා කෘතිවලට වඩා Jyeshthoputro අවධානය යොමු කරනුයේ මිනිසුන් පිළිබඳ විවරණයක යෙදෙන්නට ය. මිනිසකුගේ අභ්‍යන්තරයට කිඳා බසිමින් එහි වූ අඳුරු අහු අහුමුලු එළියට ගන්ටය. මේ නිසාම පැය දෙකක් හා මිනිත්තු 5ක් ගෙවුණු වග අපට නොදැනෙයි. එයට සාපේක්ෂව අප ඇස ගොඩනැගෙන්නේ කඳුලකි. ඒ කඳුළ ජීවිතයේ හිමිවන දේට වඩා අහිමි වන බොහෝ දේ පිළිබඳ සිතන්නට අපට ඉඩ සලස්වයි.

     

    අරුණ ගුණරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here