සිහි­න­යක මත­කය

    0
    5

    ‘සිහින යනු පියවි සිහියෙන් තොරව ඔබගේ මනස කරන්නා වූ නොයෙකුත් ක්‍රියාකාරකම් දැන හඳුනා ගන්නට ඇති අපූරු මාවතකි.’

    සිග්මන් ෆ්‍රොයිඩ් සිහින පිළිබඳව එලෙස පවසා ඇත.

    බොහෝ කලකට ඉහත මා ඉතා මිහිරි සිහින දුටුවා මතක ය. අමුතු ගහ කොළ, සතා සිවුපාවුන් මහට මුණගැස්වූ ඒ සිහින අද දරුවන් දකින වර්ණවත් කාටූන් චිත්‍රපට හා සමාන නොවේදැයි මට සිතේ. එසේ වෙතත් සොඳුරු දිය ඇළි, කඳු බෑවුම්, තැනිතලා, මිටියාවත් මෙන් ම මහා වනාන්තරවලට ඉහළින් නිදහසේ පියාඹා ගිය ඒ සිහින නිතර නිමාවූයේ මා ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටීමෙන් බව ද මතක ය.

    ඇතැම් සිහින අප අවදිවන විට අමතක ය. එහෙත් ඒ සියලු සිහින අතරේ වසර හතළිස් හයක් ගතවීත් මට අමතක නොවන එක් අමිහිරි නමුත් සුවිශේෂී සිහිනයක් තිබේ. එකී සිහිනය මා දුටුවේ 1974 වර්ෂයේ දෙසැම්බරයේදී ය.

    එය සීතල රාත්‍රියක් විය. ඉහළ අහසේ මතු වූ ආගන්තුක හඬක් අසා මම රෑ කලුවරේ වුව මිදුලට බටුයෙමි. ගුවන් යානාවක හඬට ආසන්න එහෙත් කිසියම් අසාමාන්‍ය හඬකි ඉන් නිකුත් වූයේ.

    සාමාන්‍ය ගුවන් යානාවකට වෙනස් ආකාරයකින් ගමන් කරමින් තිබූ යානයෙහි සමබරතාව බිඳී ඇති බවක් පෙනෙන්නට තිබුණි. අනතුරුව මා දුටුවේ ඉන් ගිනි දළු පිටවන සෙයකි. ඊළඟ මොහොතේදී ගිනි ජාලාවකින් වෙළී ගිය යානය පෙරළෙමින්, කරකැවෙමින් පහතට ඇදී එනු දක්නට ලැබුණි. එය ඇද වැටෙමින් තිබුණේ අප නිවෙසට ඉදිරිපසින් වූ බල්ලැහැලගල කන්ද දිසාවට ය. බල්ලැහැලගල කන්ද පිහිටා තිබුණේ අපේ ගමට මායිම්ව වූ කැලණි ගඟට එපිටිනි. අවසන යානය කඳු මුදුනට කඩා වැටුණේ ගිනි ගුළියක් හැටියටය. මම හඬ නගා කෑ ගසමින් ගෙතුළට දිව ආවෙමි.

    අවදි වු මගේ සියොළඟම දහඩියෙන් නැහැවී තිබුණි. මම සිහිනය තේරුම් ගැනීමට උත්සාහ ගනිමින් සිටියෙමි.

    ‘මෙය අපගේ ගමට හෝ නිවෙසට උදාවිය හැකි බරපතල අනතුරක පෙරනිමිත්තක් ද?’

    පසුවදා පාසල් නිවාඩු දිනයක් විය. එබැවින් මා උදෑසන අවදිවූයේ තරමක් පමා වි ය. රැයේදී දකින බොහෝ සිහින උදෑසන අවදිවන විට මතකයෙන් ලිහී තිබුණද ඒ රැයේ ඒ සිහිනය එලෙස අමතක නොවන්නක් විය.

    එය වැසි නොමැති පැහැබර උදෑසනක් වූ හෙයින් අක්කා සිටියේ මිදුල අමදිමිනි. අම්මා දොරකඩ කරාබු ගසක් යට රාත්‍රියේදී ගිලිහී වැටුණු කරාබු නැටි එක්කාසු කරමින් සිටියාය. තාත්තා සිටියේ ඇයට සහය වෙමිනි.

    සිහිනයක් උදෑසනින් ම කාට හෝ හෙළි කළ විට එහි අනිටු ප්‍රතිඵල ක්ෂීන වී යතැයි එකල අපි විශ්වාස කළෙමු.

    එමෙන්ම, රෑ සිහිනයෙන් දතක් ගිලිහෙනු දුටුවේනම් පසුවදා ළඟ ම ඥාතියෙකුගේ වියොවක් අසන්නට වෙතැයි අප බියපත්ව සිටියෙමු.

    මිදුලට ගිය වහා මම ඈත බල්ලැහැලගල දෙස බැලුවෙමි. යාන්තමට මිහිදුමෙන් වැසී තිබුණ ද එය සුපුරුදු සිංහ සෙයියාවෙන් ළා හිරු කිරණවල උණුසුම විඳගනිමින් සිටියේය.

    “අම්මෙ, මම ඊයෙ රෑ නරක හීනයක් දැක්කා.”

    මා සිහිනය හෙළි කළේ තාත්තාටත්, අක්කාටත් ඇසෙන්නට ය. ඒ නපුරු සිහිනය හෙළි කිරීමෙන් මසිතට දැනුණේ සහනයකි.

    අක්කා ඉදලට බරදීගෙන ඉදිරිපස කන්ද දෙසට එබී බැලුවාය.

    “කෝ එහෙම එකක්නම් පේන්නෙ නෑ. කන්ද අර අපූරුවට තියෙන්නෙ.”

    ඇය විහිළුවක් කළාය.

    “ඊයෙ රෑ කියවපු පොතක පතක එහෙම මොකක් හරි තියෙන්නැති.”

    අම්මා කීවාය.

    අනතුරුව ගෙවී ගියේ මිනිත්තු දෙක තුනක් පමණකි . මහා මාර්ගයේ එක දිගට නිහඬව ඇදෙන රිය පෙළ පැවසුවේ අසුබදායක යමක් සිදුව් ඇති බවකි.

    “සිරීපාදෙ පටන් ගත්තෙත් නැති එකේ මේ තරම් වාහන පෝලිමක්?”

    තාත්තා පඩිපෙළ බැස පහළ කඩමණ්ඩියට ගියේ තොරතුරක් දැනගන්නට ය.

    ඔහු ආපසු ආවේ අමිහිරි ආරංචියක් අරගෙන ය.

    “ලක්ෂපාන පැත්තෙ කන්දක හැපිල අහස් යාත්‍රාවක් කඩන් වැටිලලු.”

    “ඒ කියන්නෙ ඔයාගෙ යටි හිත ඊයෙ රෑ ඔයාටත් හොරෙන්ම ඇවිදින්ඩ ගියාවත්ද?”

    අක්කා තවත් විහිළුවක් කළාය.

    එලෙස අනතුරට ලක්ව තිබුණේ ඉන්දුනීසියාවේ සුරාබයා ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කොට, සවුදි අරාබියේ අබ්දුල් අසීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කරා පියාසරමින් සිටි මාටිනෙයාර් 138 ගුවන් යානාවයි. දිනය 1974 දෙසැම්බර් 04 විය. ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගොඩ බසින්නට ආසන්නව තිබියදී එය මස්කෙළිය ප්‍රදේශයේ සප්තකන්‍යා නොහොත් අංජිමලේ කඳුවැටියේ හැපී අනතුරට ලක්ව තිබුණේය.මක්කම වන්දනාකරුවන් වූ මගීන් ඇතුළු කාර්‍ය මණ්ඩලයේ සියලුම දෙනා සමගින් යානයෙහි ගමන් ගත් 191 දෙනාම සිය ජීවිතයේ උත්කෘෂ්ටතම බලාපොරොත්තුව වූ හජ්ජි වන්දනාව ඉටු කර ගත නොහී ම මරුමුවට පත් වූහ. සප්තකන්‍යා කඳු පිහිටියේ අපේ ගමට සැතපුම් විසි හතක් පමණ එපිටිනි.

    ඊළඟ වසරේදී මට අලුත් පාසලකට ඇතුළත් වන්නට සිදු විය. පාසල පිහිටා තිබුණේ සප්තකන්‍යා කඳුවැටියට තරමක් ආසන්න වු ගිනිගත්හේන නගරයේ ය. ගමන් දුෂ්කරතා හේතුවෙන් පාසල් නේවාසිකාගාරය මගේ ද නවාතැන විය. දිගු ශාලා දෙකකින් යුක්ත වූ එහි එක් ශාලාවක සිසුවියෝ විස්සක් පමණ නවාතැන් ගෙන සිටියහ.

    ඒ වසර ආරම්භය වූ බැවින් බොහෝ සිසුවියෝ පාසලට ද ආගන්තුකයෝ වූහ. ඒ අතර දසවන ශ්‍රේණියේ සිසුවියක වු ශාන්තිනී පැමිණ සිටියේ ලක්ෂපාන ප්‍රදේශයෙනි. ශාන්තිනීගේ රාත්‍රි ඇඳුම සුදෝ සුදු ලෝගුවක් විය. ඇය නේවාසිකාගාරයේ සිටි උසම සිසුවිය ද වූවාය. එකී හේතු නිසාම අපි ඇය තුළින් කිසියම් සුවිශේෂී බවක් දුටුවෙමු. ඒ නේවාසික අපගේ දෙවන රාත්‍රියේ මැදියම් රැයයි. කඳුකරයේ නිරන්තර වැහි බීරිම සියලු සත්වයනට සුවසේ ම නිදන්නට ඉඩ සලසා දෙන යාමයයි.

    යාබද ඇඳෙහි නිදා සිටි යෙහෙළිය අඩිරූලකින් පිටට තට්ටුවක් දමනු දැනී මම වහා අවදි වූයෙමි.

    “ෂ්…ෂ්…අර ශාන්තිනී ඇවිදින්නෙ හීනෙන් නේද?”

    ඇය ඇසුවේ පොරවනයෙන් මුහුණ අඩක් වසාගෙනය. මා ද ඒ අයුරින්ම පොරවනය තුළින් යාන්තමට එබී බලමින් විමසිල්ලෙන් සිටියෙමි.

    අඩි පහමාරක් පමණ උස් වූ කෙසඟ සිසුවිය එම සුදු ලෝගුවට තවත් උස්ව පෙනුණි.

    මන්දාලෝකය හේතුවෙන් අපට ඇය හොර රහසේ නිරීක්ෂණය කළ හැකි විය. අප දෙදෙනා සේ ම තවත් දෙතුන් දෙනකුම පොරවනයට යටින් දෑස් දල්වාගෙන සිටිනු ද අපි දුටුවෙමු.

    දෙතුන් වතාවක් දිගු කාමරයේ එහාටත් මෙහාටත් නිසොල්මනේ ම ඇවිද ගිය ඇය නැවත ඇඳ වෙත පැමිණියාය. මිනිත්තු කිහිපයකට පසුව කලබලයකින් තොරව ම නැවත ඇයගේ ඇඳෙහි වැතිරුණාය.

    අප රාත්‍රිය ගෙවා දැමුවේ නින්දත් නොනින්දත් අතර ය. පළමු සතියේ සිකුරාදා වන විට එවැනි ම රාත්‍රි යාමයන් තුනක් ගෙවී ගොසිනි.

    “සති අන්තයෙදි ශාන්තිනීගෙ මව්පියො ආවම අපි මේ ගැන දැනුවත් කරමු . එයා හීනෙන් ඇවිද්දට කවදාවත්, කාටවත් හානියක් නැති ලු. අපි මේ ගැටළුව ඉක්මනින් ම විසඳාගනිමු.”

    නේවාසිකාගාර පාලිකාව අප දැනුවත් කළේ එසේ ය.

    සිකුරාදා රාත්‍රි ආහාර ගැනීමෙන් අනතුරුව ලද විවේකය අපට අප තවදුරටත් හඳුනා ගැනීමට ඉඩ සලසා දුන්නේය.

    අපගේ සතුටු සාමීචියේ වැඩි ඉඩක් වෙන්වූයේ ශාන්තිනී වෙනුවෙනි.

    “ශාන්තිනී, මට නම් ඔයා කොච්චර හීනෙන් ඇවිද්දත් කමක් නෑ. අර අමුතු දිග සුදු ලෝගුව නැතුව වෙන ඇඳුමක් ඇඳගෙන”

    එක් යෙහෙළියක් කීවාය.

    “මම රෑට අඳින්ඩ ගෙනාවෙ ඒ ජාතියෙම ඇඳුම් දෙකක් විතරයිනෙ.”

    අනතුරුව ඇය අපට හෙළි කළේ ඇයට ඒ ඇඳුම් ලැබුණු ආකාරයයි.

    “අපේ ගේ තියෙන්නෙ සප්ත කන්‍යා කඳුවැටිය පාමුල. අර අහස් යාත්‍රාව කඩන් වැටුණු දා ට පහුවදා උදේ අපේ ගේ පිටිපස්සෙ ලොකු බෑග් එකක් තිබුණා. මේ ඇඳුම් දෙකත් ඒකෙ තිබුණේ. අපරාදෙනෙ වීසි කරන්නෙ. ඉතින් අපි ලොන්ඩ්‍රියට දාල ගත්තා”.

    ඒ කතාව අසා අප අතර සිටි දෙතුන් දෙනෙකුම බියෙන් හැකිලෙනවා පෙනුණි.

    “අනේ! අම්මේ……!”

    එදින මැදියම් රැයෙහි අප සියල්ලන් අවදිවූයේ මහා විලාපයක් ඇසීමෙනි. ඒ නම් ශාන්තිනී ම විය යුතුය. කවුරුත් සිතුවේ එලෙසිනි.

    එහෙත් අප අවදි වන විට ශාන්තිනී ද සිටියේ මර හඬ දී කෑ ගැසූ සුලෝචනාගේ ඇඳ අසල ය. ඇය සිටියේ අවදියෙනි. ඉතා හොඳ සිහියෙනි. එහෙත් සුලෝචනා අසිහියෙනි.

    නොයෙකුත් සුළු ප්‍රතිකාර ක්‍රමවලින් අඩ හෝරාවකට පමණ පසු සුලෝචනා යථා සිහියට එළැඹ සිටියාය.

    එදින මැදියම් රැය ද ශාන්තිනී සිට ඇත්තේ සිහින පුරවරයක ය. ඇය සුපුරුදු සුදු ලෝගුවෙන් නේවාසිකාගාරයේ ඇවිදිමින් සිට ඇත. සුලෝචනා සිහිසුන්ව ඇත්තේ ඇගේ ඇඳ අසලින් ඇය ඇවිද යද්දී ය.

    තම පොරවනයෙන් මුහුණු මුවා කොටගෙන රහසින් බලා සිටියවුන් පැවසු පරිදි සිදුව තිබුණේ එවැන්නකි.

    පසුවදා උදෑසන වන විට සුලෝචනාට හොඳටම උණ ගැනී තිබුණි.

    ඒ සති අන්තයේ දරුවන් බලන්නට පැමිණි මව්පියන් සමග ශාන්තිනීත් සුලෝචනාත් දෙදෙනාම නිවෙස් බලා පිටත්ව ගියහ. සුලෝචනා ගියේ උණට ප්‍රතිකාර ගන්නට ය. ශාන්තිනී ගියේ සිහිනයෙන් ඇවිදිනවාට පිළියමක් කරගන්නට ය.

    ඊළඟ සඳුදා ශාන්තිනී නේවාසිකාගාරයට ආපසු පැමිණියාය. එහෙත් සුලෝචනා ඉන්පසු කිසි දාක නේවාසිකාගාරයට තබා පාසලට හෝ නොපැමිණියාය.

    සුනිලා විජේසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here