අඩු මිලට සහල් දෙන අභියෝගයට සූදානම් – කෘෂිකර්ම ඇමැති

0
41

සියලු අභියෝග පරදවමින් මුළු රටටම ආහාර සැපයීමට සූදානම් බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (12දා) අක්කරෙයිපත්තුවේදී පැවසීය. යල කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ආරම්භ කරමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්ඩලය හා රාජ්‍ය ආයතන 9ක් ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර සම්බා වී කිලෝවක් රුපියල් 52කට හා නාඩු වී කිලෝවක් රු. 50ක සහතික මිලකට ආණ්ඩුව මිලට ගනී.

ඒ අනුව හෙක්ටයාරයකට වඩා වගා කොට ඇති, පොහොර සහනාධාරය ලබන සියලු ගොවීන්ගේ වී මිලට ගැනීමට සැලසුම් කර ඇත. ඒ අනුව හෙක්ටයාරයකින් වී කිලෝ 1000ක් වී අලෙවි මණ්ඩලයට දිය යුතුය.

මේ වන විට අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති අතර ඉදිරි මාසය තුළ දිවයින පුරා වී අස්වනු නෙළීම සිදුවෙයි. ඒ සඳහා දිවයිනම ආවරණය වන වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇත.

වී මිලදී ගැනීමේ ජාතික වැඩපිළිවෙළ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන් හා වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුවන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

මේ යටතේ තෙත වී මිලට ගැනීමටද කටයුතු කරන අතර මේ සඳහා ඇසුරුම් රජය මඟින් ගොවීන්ට දීමට පියවර ගෙන තිබේ. වී මිලට ගැනීමේ ජාතික වැඩසටහන ආරම්භ කරමින් අදහස් දැක්වූ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ කියා සිටියේය.

කොවිඩ් නිසා අක්කරෙයිපත්තුවට යන්න එපා කියලා අපට කිව්වා. ඒත් ගොවියා උනන්දු කිරීමට ඒ අභියෝග පසෙක දාලා අද අක්කරෙයිපත්තුවට ආවා. මේ ජාතික වැඩපිළිවෙළට දායක වන ලෙස සමස්ත ගොවීන්ගෙන් අප ඉල්ලනවා. වියළි වී විතරක් නෙවෙයි, තෙත වී ගන්නත් පියවර ගෙන තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලේ රු.32ට වත් ගොවියාට වී විකුණා ගන්න බැරිවුණා.

වියළි සම්බා රු.52ටත් නාඩු වියළි වී කිලෝවක් රු.50ටත් මිලට ගන්න සහතික මිලක් දී තියෙනවා. රජය සතු වී සංචිතයක් තුළින් සහල් මාෆියාවට පිළිතුරු දීම අපේ අරමුණයි. රජයක් විදිහට ගොවියා වගේම පාරිභෝගිකයා ආරක්ෂා කිරීම අපේ වගකීමයි. අප ඉටුකරන්නේ ඒ වගකීම.

අධික ලාභ ලබන මුදලාලි තුන් හතරදෙනකුට අවශ්‍ය පරිදි හාල් මිල පාලනයට ඉඩ දෙන්න බෑ. මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් නෙවෙයි ගබඩා මදිවන තරමට අපට ගොවියා වී දෙයි කියලා මම විශ්වාස කරනවා. කොවිඩ් හෝ ඉදිරියේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දිලා ජනතාවට කන්න දෙන්න අපේ රජය සූදානම්. ඒ සඳහායි මේ සංචිතය අප පවත්වාගෙන යන්නේ යැයි පැවසීය.

මේ සඳහා රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, අම්පාර දිස්ත්‍රික් ලේකම්, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සමාරම්භක අවස්ථාවට එක් වුහ.

නදී මාණික්කගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here